الدُّرُوسُ المُهِمَّةُ لِعَامَّةِ الأُمَّةِ
මුස්ලිම් ප්‍රජාව දැනගත යුතු වැදගත් පාඩම්
لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ
عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ
رَحِمَهُ اللهُ
ගරු අෂ්-ෂෙයික් අල්-අල්ලාමා
අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස් -(අල්ලාහ් ඔහුට ආශිර්වාද කරත්වා)
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
මුස්ලිම් ප්‍රජාව දැනගත යුතු වැදගත් පාඩම්
ගරු අෂ්-ෂෙයික් අල්-අල්ලාමා
අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස් -(අල්ලාහ් ඔහුට ආශිර්වාද කරත්වා)
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි
කර්තෘගේ පෙරවදන
සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති අල්ලාහ් සතු ය. තව ද අපගේ නබිනායක මුහම්මද්තුමාණන් කෙරෙහිත්, එතුමාණන්ගේ පවුලේ උදවිය හා එතුමාණන්ගේ මිතුරන් යන සියලු දෙනා කෙරෙහිත් අල්ලාහ් දෙවිඳාණන්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා!
ඒ සියල්ලෙන් පසු
මෙය ඉස්ලාම් දහම පිළිබඳ පොදු ජනයා දැන ගත යුතු ඇතැම් කරුණු පිළිබඳ සාරාංශගත වදන් කිහිපයකි. මෙයට "අද්-දුරූස් අල්-මුහිම්මා ලි ආම්මතිල් උම්මා" (පොදු ජනතාවට වැදගත්වන පාඩම්) යනුවෙන් මම නම් තැබුවෙමි.
මෙම කෘතිය මුස්ලිම්වරුන්ට ප්රයෝජනවත් කෘතියක් ලෙස පත් කරන මෙන් හා මාගේ මෙම කර්තව්‍ය පිළිගන්නා මෙන් අල්ලාහ් දෙවිඳාණන්ගෙන් මම ප්රාර්ථනා කරමි. සැබැවින් ම ඔහු ත්‍යාගශීලී හා මහා පරිත්‍යාගශීලී ය.
අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස් පොදු ජනතාව හට වැදගත් වන පාඩම් මාලාව1
පළමු පාඩම සූරා අල්-ෆාතිහා සහ කෙටි සූරාවන්
සූරා අල්-ෆාතිහා සහ සූරා අzස්zසල්zලා සිට සූරා අන්නාස් දක්වා තිබෙන කෙටි සූරා කිහිපයක් මනා ලෙස කියවීම මෙන් ම අවබෝධ කරගත යුතු අනිවාර්ය කරුණු විස්තරාත්මක ව දැනගැනීම හා කටපාඩම් කරගැනීම.
දෙවන පාඩම ඉස්ලාමයේ මූලිකාංග
ඉස්ලාමයේ මූලිකාංග පහ පිළිබඳ විස්තරයක්, ඒ අතරින් වඩාත් ප්‍රමුඛ හා වඩාත් වැදගත් වන්නේ: 'ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහ්' නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැති බව සහ මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දැරීම හා එහි අර්ථය විස්තරාත්මකව වටහා ගෙන ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන පදයේ කොන්දේසි පැහැදිලිව අවබෝධ කර ගැනීම ය. එහි අර්ථය: 'ලා ඉලාහ'-අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දෑ අහෝසි ය, ශුන්‍ය ය. 'ඉල්ලල්ලාහ්' - අල්ලාහ්ට පමණක් නැමදුම සහතික කිරීමෙන් ය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නැත. 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යන ප්‍රකාශයේ කොන්දේසි වනාහි: අඥානබව අහෝසි කරන දැනුම, සැකය අහෝසි කරන නිශ්චිතභාවය, බහුදේවවාදය අහෝසි කරන අවංකභාවය, අසත්‍යය අහෝසි කරන සත්‍යවාදී බව, වෛරය අහෝසි කරන ආදරය, මඟ හැරීම අහෝසි කරන අවනතභාවය, ප්‍රතික්ෂේපය අහෝසි කරන පිළිගැනීම සහ අල්ලාහ් හැර නැමදුමට ලක් වන දේ ප්‍රතික්ෂේප කිරීම යනාදිය වේ. ඒවා කවි පද පෙළ දෙකක මෙසේ සඳහන් වී ඇත.
දැනුම, ස්ථාවරත්වය, අවංකත්වය සහ ඔබේ සත්‍යවන්තකම
ඒ සමගම ආදරය, අවනත භාවය හා පිළිගැනීම, අට වැන්න ඔබෙන් වන ප්‍රතික්ෂේපයයි.
එය දෙවියන් හැර සමීප අනෙකුත් සියල්ල ප්‍රතික්ෂේප කිරීමෙනි.
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දැරීම: එනම් එතුමාණන් කවර කරුණක් දන්වා සිටියේ ද ඒ ගැන එතුමාණන්ව සහතික කිරීම. එතුමාණන් කවර කරුණක් නියෝග කළේ ද එහි එතුමාණන්ව පිළිපැදීම, කවර කරුණකින් වැළැක්වූයේ ද, හෙළා දුටුවේ ද එයින් වැළකී සිටීම, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර කරුණක් ආගමානගත කර ඇත්තේ ද ඒ අනුවම මිස වෙනත් කිසිදු අයුරකින් අල්ලාහ්ට නැමදුම් ඉටු නොකිරීම. පසුව සිසුවාට ඉස්ලාමයේ ඉතිරි මූලිකාංග පහ පැහැදිලි කර දෙනු ලැබේ. එනම්: සලාතය, සකාත්, රමළාන් උපවාසය හා පහසුකම් ඇති උදවිය ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවසෙහි හජ් ඉටු කිරීම යනාදී මූලිකාංගය.
තුන්වන පාඩම: ඊමාන්හි මූලිකාංග
ඒවා හයකි: එනම්, අල්ලාහ්, ඔහුගේ සුරදූතයන්, ඔහුගේ පුස්තක, ඔහුගේ දූතවරු හා අවසාන දිනය ඔබ විශ්වාස කිරීම හා යහපත අයහපත සියල්ල අල්ලාහ්ගෙන් ම සිදු වන බව ඔබ විශ්වාස කිරීම ය.
සිව්වැනි පාඩම: තව්හීද් හි කොටස් හා ෂිර්ක්හි කොටස්
තව්හීද්හි කොටස් පැහැදිලි කිරීම. තව්හීද්හි කොටස් තුනකි. තව්හීද් අර් රුබූබියියාහ්, තව්හීද් අල් උලූයියාහ්, තව්හීද් අල් අස්මා වස්සිෆාත්.
1- තව්හීදුර් රුබූබිය්යා: සෑම දෙයකම මැවුම්කරු සුවිශුද්ධ අල්ලාහ් බවත් ඒ සියල්ල පාලනය කරන්නා ඔහු බවත් එහි දී ඔහුට කිසිදු හවුල්කරුවකු නැති බවත් විශ්වාස කිරීම.
තව්හීද් අල් උලූහිය්යා යනු, "නැමදුමට සුදුස්සා අල්ලාහ් බව සහ එහි දී ඔහුට කිසිදු සහකරුවෙකු නොමැති බව තරයේ විශ්වාස කිරීම" ය. "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" යන පදයෙහි අර්ථය එයයි. තවදුරටත් එහි අර්ථය නම්, "නැමඳීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොමැත. එමෙන් ම සලාතය, සව්මය ඇතුළුව සෙසු සියලු නැමඳුම් කටයුතු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා පමණක් සිදු කළ යුතු අතර, ඒවායින් කිසිවක් වෙනත් කෙනෙකු හෝ දෙයක් උදෙසා සිදු නොකළ යුතු ය" යන්නය.
තව්හීද් අල් අස්මා වස්සිෆාත් යනු, "ශුද්ධ වූ අල් කුර්ආනයේ හා සම්මත හදීස්වල සඳහන් අල්ලාහ්ගේ අලංකාර නාම හා ගුණාංග පිළිබඳ තරයේ විශ්වාස කිරීම මෙන් ම, ඒවා විකෘති කිරීම, ප්‍රතික්ෂේප කිරීම, ක්‍රමය විස්තර කිරීම හා උපමා කිරීම යනාදියෙන් තොර ව, ඒවා අල්ලාහ්ට ම සරිලන අයුරින් ඔහුට ම හිමි බවට තහවුරු කිරීම" වේ. එය ක්‍රියාවට නංවන ශුද්ධ වූ අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය:
﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ 1 ٱللَّهُ ٱلصَّمَدُ 2 لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ 3 وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ٤﴾
(නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය. (1)
අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්‍යතාවයක් නොමැත්තාය.) (2)
ඔහු ජනිත නො කළේය. තවද ජනිත කරනු නොලැබුවේ ය. (3)
තවද ඔහුට සමාන කිසිවෙකු නොමැත. (4) (අල් ඉක්ලාස්: 1-4) තවදුරටත් ඒ ගැන සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේ ය:
﴿...لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ﴾
"ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්ව ශ්‍රාවකය, සර්ව දෘෂ්ටිය." (අෂ් ෂූරා : 11) ඇතැම් ඉස්ලාමීය වියතුන් මෙම තව්හීදය කොටස් දෙකකට බෙදා දක්වා ඇත. එය තව්හීද් අල් අස්මා වස්සිෆාත් යන සංකල්පය තව්හීද් අර් රුබූබියියා තුළ අන්තර්ගත කිරීම මගිනි. නමුත් එම කොටස් දෙකෙන් ම තව්හීද්හි විස්තර පැහැදිලි වන හෙයින් කිසිදු ගැටලුවක් නොමැත.
ෂිර්ක්හි කොටස් තුනකි. ඒවා නම්, ෂිර්කුල් අක්බර් (මහා ෂිර්ක්), ෂිර්කුල් අස්ගර් (සුළු ෂිර්ක්) හා ෂිර්කුල් කෆී (සැඟවුණු ෂිර්ක්) වේ.
ෂිර්කුල් අක්බර් යනු "(කවරෙකු එම ක්රියාවේ යෙදෙන්නේ ද ඔහුගේ) යහ ක්‍රියා සියල්ල ප්‍රතික්ෂේප වීම හා (අල්ලාහ්ගෙන් පාපක්ෂමාවෙහි (තව්බාවෙහි) නොයෙදී) එම ක්‍රියාවෙහි ම නියැලෙමින් සිටින තත්ත්වයෙන් මරණයට පත් වූ පුද්ගලයා අපායේ සදාතනික ව සිටීම අනිවාර්ය කරන්නකි. අල්ලාහ් දෙවිඳාණෝ මෙලෙස ප්‍රකාශ කරයි.
﴿...وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ﴾
"ඔවුන් අල්ලාහ් කෙරෙහි ආදේශ තබන්නේ නම් ඔවුන් කරමින් සිටි සියලු ම
ක්‍රියා නිශ්ඵල වී යන්නේ ම ය." (සූරා අල්අන්ආම්: 88) තව ද අල්ලාහ් මෙසේ ද පවසා සිටියි:
﴿مَا كَانَ لِلۡمُشۡرِكِينَ أَن يَعۡمُرُواْ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلۡكُفۡرِۚ أُوْلَٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ وَفِي ٱلنَّارِ هُمۡ خَٰلِدُونَ 17﴾
"ආදේශ තබන්නන්, (තමන්ගේ) දේව ප්රතික්ෂේපය ගැන තමන්ට එරෙහි ව සාක්ෂි දරන්නන් ලෙස සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවීය. තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද නිරා ගින්නේ ඔවුහු සදාතනිකයෝ වෙති." (සූරා අත්තව්බා: 17) කවරෙකු එම ක්‍රියාවෙහි නියැලී ඒ සඳහා පව් ක්ෂමාව ඉල්ලා නොසිටි තත්ත්වයේ මරණයට පත් වන්නේ ද ඔහුට ස්වර්ගය තහනම් වේ. සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි:.
﴿إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ...﴾
"සැබැවින්ම අල්ලාහ්, ඔහු ආදේශ කරනු ලැබීම සම්බන්ධයෙන් සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ඔහු අභිමත කළ අයට සමාව දෙයි." (සූරා අන්නිසා: 48) තව ද අල්ලාහ් මෙසේ ද පවසා සිටියි:
﴿...إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ 72﴾
"... සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කර ඇත. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත." (සූරා අල්මාඉදා: 72)
මෙහි වර්ග මෙසේ ය. මරණයට පත් වූවන්ගෙන් හා පිළිමවලින් ප්‍රාර්ථනා කිරීම, උදව් පැතීම, ඔවුනට බාර වීම හා ඔවුන්ගේ නාමයෙන් සත්වයින් ඝාතනය කිරීම යනාදී දේවල් ය.
ෂිර්කුල් අස්ගර් යනු: ෂිර්ක් යැයි නම් කරමින් උතුම් අල් කුර්ආනයේ හෝ සුන්නාවෙහි සඳහන්ව ඇති දෑ ය. එහෙත් එය ෂිර්කුල් අක්බර් වන්නේ නැත. මෙයට නිදසුන් ලෙස මුහුණිච්චාවට කරන සමහර ක්‍රියා, අල්ලාහ් හැර වෙනත් දෑ මත දිව්රීම මෙන් ම "අල්ලාහ්ගේ සහ යම් කෙනෙකුගේ අභිමතය පරිදි" යන ප්‍රකාශය යනාදිය සඳහන් කළ හැක. දේව දූත මුහම්මද් තුමාණෝ මෙසේ පැවසූහ.
"أَخْوَفُ مَا أَخَافُ عَلَيْكُمُ الشِّرْكُ الْأَصْغَرُ". فَسُئِلَ عَنْهُ، فَقَالَ: "الرِّيَاءُ"
"නුඹලා වෙත මා බියවන වඩාත් බියකරු කරුණ වනුයේ: කුඩා ආදේශයයි." ඒ ගැන විමසනු ලැබූ විට එතුමාණෝ: ‘මුහුණිච්චාව (ප්‍රදර්ශනය) යැයි පවසා සිටියහ.2 ඉමාම් අහ්මද්, තබරානි හා අල්බයිහකී යන විද්වත්හු මෙම හදීසයේ නිවැරදි නාමාවලියක් යටතේ තම ග්රන්ථවල සඳහන් කොට ඇත්තෝය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය මෙසේය.
"مَنْ حَلَفَ بِشَيْءٍ دُونَ اللَّهِ فَقَدْ أَشْرَكَ"
"කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත දිවුරන්නේ ද ඔහු අල්ලාහ්ට ආදේශ තැබූවේය."3 මෙය ඉමාම් අහ්මද් විසින් සහීහ් වාර්තා දාමයකින් වාර්තා කර ඇත. මෙය උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද්දකි. අබූ දාවූද් තුමා හා තිර්මිදි තුමා සහීහ් වාර්තා දාමයකින් යුතුව මෙය වාර්තා කර ඇත. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයකි. එතුමාණෝ මෙසේ පැවසූහ:
"مَن حَلَفَ بِغَيْرِ اللهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ"
"කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් ඔහුට ආදේශ තැබුවේය."4 නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය මෙසේය.
"لا تَقُولُوا: ما شَاءَ اللهُ وَشَاءَ فُلانٌ، وَلَكِنْ قُولُوا: ما شَاءَ اللهُ ثُمَّ شَاءَ فُلانٌ."
"අල්ලාහ්ගේ අභිමතය පරිදිත්, මේ පුද්ගලයාගේ අභිමතය පරිදිත් විය" යැයි නොපවසන්න. එනමුත් (පළමුව) ‘අල්ලාහ්ගේ අභිමතය පරිදි හා පසු ව මේ පුද්ගලයාගේ අභිමතය පරිදි විය’ යනුවෙන් පවසන්න.”5 මෙය අබූ දාවුද්තුමා හුදෙයිෆා බින් අල්යමානිතුමාගේ මාර්ගයෙන් නිවැරදි හදීසයක් ලෙස තම ග්‍රන්ථයේ සඳහන් කර ඇත.
මෙම වර්ගය දහමෙන් බැහැර කරවන හා සදාතනික ව අපා ගත වීමේ තත්ත්වයක් ඇති නොකරයි. නමුත් එය අනිවාර්යෙන් ම විශ්වාස කළ යුතු ඒක දේවත්වයේ පූර්ණත්වයට පටහැනි වේ.
තුන්වන වර්ගය: 'අෂ්-ෂිර්කුල් හඃෆී' ඒ සඳහා වන සාධකය නම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයයි.
"أَلَا أُخْبِرُكُمْ بِمَا هُوَ أَخْوَفُ عَلَيْكُمْ عِندِي مِنَ الْمَسِيحِ الدَّجَّالِ؟" قَالُوا: بَلَى يَا رَسُولَ الله، قَالَ: "الشِّرْكُ الخَفِيُّ، يَقُومُ الرَّجُلُ فَيُصَلِّي، فَيُزَيِّنُ صَلَاتَهُ لِمَا يَرَى مِنْ نَظَرِ الرَّجُلِ إِلَيْهِ"
"මසීහුද් දජ්ජාල් ට වඩා නුඹලා ගැන මා තුළ ඇති වඩාත් භීතිමත් කරුණ කුමක් දැ?යි මා නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද?" එවිට සහාබාවරු ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘ෂිර්කුල් හඃෆී’ (දේවත්වයට කරන ගුප්ත ආදේශය) වේ. එනම් මිනිසා නැගිට සලාතය ඉටු කරයි. තවත් මිනිසෙකු (තමන් දෙස) බලා සිටින බව සිතා ඔහු තම සලාතය අලංකාරවත් කරයි.6 අබූ සඊද් අල් හුද්රියි සහාබිවරයා මාර්ගයෙන් ඉමාම් අහ්මද් තුමා තම මුස්නද් යන ග්‍රන්ථයෙහි වාර්තා කරයි.
පොදුවේ ෂිර්කය වර්ග දෙකකට පමණක් වර්ග කරනු ලැබීම අනුමත වේ.
සැඟවුණු ෂිර්ක් වනාහි එය විශාල හා කුඩා ෂිර්ක් යන දෙකම ආවරණය කරනු ඇත. එය ෂිර්කුල් අක්බර් (මහා ෂිර්ක්) හි අන්තර්ගත වීමට නිදසුනක් නම්, කුහකයින් තුළ පවතින ෂිර්කය වැනිය. මන් ද යත් ඔවුන් තම ජීවිතය කෙරෙහි ඇති බිය නිසාවෙන්, තම මිත්‍යා විශ්වාසයන් සඟවා ගෙන අන් අයට පෙනෙන්නට මුස්ලිම්වරුන් ලෙස ජීවත් වන බැවිනි.
එමෙන් ම එය ෂිර්කුල් අස්ගර් (සුළු ෂිර්ක්) හි ද අන්තර්ගත වීමට නිදසුන් ලෙස මූහුණිච්චාව දැක්විය හැක. ඒ බව පෙර සඳහන් කරන ලද මහ්මූද් බින් ලුබයිද් අල් අන්සාරි හා අබූ සඊද් යන සහාබිවරුන් දෙදෙනා වාර්තා කරන හදීස්වල සඳහන් වේ.
පස්වන පාඩම: අල්-ඉහ්සාන්
ඉහ්සාන්හි මූලික ම කරුණ වන්නේ "ඔබ අල්ලාහ් දෙවිඳාණන් ව දකින්නා සේ හෝ ඔබ ඔහු ව නොදැක්කත් ඔහු ඔබ දෙස බලා සිටින්නේය යන හැඟීමෙන් යුතු ව ඔබ ඔහු ව නැමඳීම" වේ.
හයවන පාඩම: සලාතයේ කොන්දේසි
සලාතයේ කොන්දේසි නවයකි.
ඉස්ලාමය, විචාර බුද්ධිය, පරිණත බව, කිල්ලෙන් ඉවත් වීම, අපිරිසිදු දෑ ඉවත් කිරීම (තම ගත, වස්ත්‍රය හා නැමඳුම් කරන ස්ථානය යනාදියෙහි), අව්රතය වසා ගැනීම, නැමඳුම සඳහා නියමිත වේලාව, කිබ්ලාවට මුහුණ ලා සිටීම හා නියියතය (චේතනාව).
හත්වන පාඩම: සලාතයේ මූලිකාංග
සලාතයේ මූලිකාංග දහහතරකි.
හැකියාව ඇති උදවිය නැගිට සිටීම, පළමු තක්බීරය, සූරා අල් ෆාතිහා පාරායනය, රුකූ, රුකූ වලින් පසු ව ඉඃතිදාල් ඉරියව්වට පැමිණීම, අදාළ හත් අඟ පසඟ පිහිටුවා සුජූද් කිරීම, එයින් නැගිටීම, සජදා දෙක මත හිඳ ගැනීම, සෑම ඉරියව්වක දී ම තැන්පත් වීම, මෙම මූලිකාංග අතර අනුපිළිවෙළින් ඉටු කිරීම, අවසන් තෂහ්හුදය, ඒ සඳහා හිඳ ගැනීම, දේව දූත මුහම්මද්තුමාණන්ට සලවාත් පැවසීම හා සලාම් දෙකක් ඉටු කිරීම.
අටවන පාඩම: සලාතයේ අනිවාර්ය ක්‍රියා
සලාතයේ අනිවාර්ය කරුණු අටකි.
පළමු තක්බීරය හැර අනෙකුත් සියලු ම තක්බීර්, සාමූහික සලාතයේ (නැමඳුමේ) දී ඉමාම්වරයා සහ තනි ව ඉටු කරන සලාතයේ දී එම පුද්ගලයා සමිඅල්ලාහු ලිමන් හමිදහ් (අල්ලාහ් දෙවිඳාණෝ ඔහුට ප්රශංසා කළ පුද්ගලයාට සවන් දුන්නෝය) යැයි ප්‍රකාශ කිරීම, ඉමාම් හා තනි ව සලාතය ඉටු කරන්නා යන දෙදෙනා ම රුකූ ඉරියව්වෙහි දී සුබ්හාන රබ්බියල් අලීම් (අති ශ්‍රේෂ්ඨ මාගේ පරමාධිපති සුවි ශුද්ධ ය) යැයි ප්‍රකාශ කිරීම, ඔවුන් දෙදෙනා ම සූජූද්හි දී සුබ්හාන රබ්බියල් අ:ලා (අති උසස් මාගේ පරමාධිපති සුවි ශුද්ධ ය) යැයි ප්‍රකාශ කිරීම, සජදා දෙක අතර මැද හිඳුමේ දී රබ්බි:ෆිර්ලී (මාගේ පරමාධිපතියාණෙනි, මට සමාව දෙනු මැනව) යැයි ප්‍රකාශ කිරීම, අවසන් තෂහ්හුදය හා ඒ සඳහා හිඳ ගැනීම.
නවවන පාඩම: තෂහ්හුද් (සාක්ෂියේ ප්‍රකාශ දෙක) පැහැදිලි කිරීම
මෙහි පළමු කොටස
"අත්තහියියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලෛක අයියුහන් නබියියු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලෛනා වඅලා ඉබාදිල්ලාහිස්සාලිහීන්, අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" (සුබ පැතුම්, නැමඳුම් හා යහපත් දෑ සියල්ල අල්ලාහ්ට ම හිමි ය, නබිතුමාණනි! ඔබට අල්ලාහ්ගේ ශාන්තිය, දයාව හා අභිවෘද්ධිය අත් වේවා! අපටත්, අල්ලාහ්ගේ යහ ගැත්තන්ටත් ශාන්තිය අත් වේවා! අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව මම සාක්ෂි දරමි. මුහම්මද් තුමාණෝ ඔහුගේ ගැත්තා සහ දූතයා ලෙස ද මම සාක්ෂි දරමි.) යන්න ය.
දෙවන කොටස දේව දූත මුහම්මද් තුමාණන්ට සලවාත් පැවසීම හා අභිවෘද්ධිය පැතීම වේ. එය මෙසේ ය. "අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත් අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්, වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්" (අල්ලාහ් දෙවිඳාණෙනි! ඔබ ඉබ්රාහීම් හා එතුමාගේ පවුලේ උදවිය ප්‍රශංසාවට පාත්‍ර කළා සේ මුහම්මද් හා එතුමාගේ පවුලේ උදවිය ප්‍රශංසාවට පාත්‍ර කරනු මැන! සැබැවින් ම ඔබ ප්‍රශංසනීය හා කීර්තිමත් ය. තව ද ඔබ ඉබ්රාහීම්ට හා එතුමාගේ පවුලේ උදවියට යහපතෙහි අභිවෘද්ධිය ඇති කළා සේ මුහම්මද්ට හා එතුමාගේ පවුලේ උදවියට යහපතෙහි අභිවෘද්ධිය ඇති කරනු මැන! සැබිවින් ම ඔබ ප්‍රශංසනීය හා කීර්තිමත් ය.)
පසු ව අවසන් තෂහ්හුද්හි අපායේ හා කබ්ර්හි (මිනීවලෙහි) වේදනාවෙන් මිදීමට සහ ජීවත් ව සිටින්නන්ගේ මෙන් ම මරණයට පත් වූවන්ගේ උවදුරුවලින් හා දජ්ජාල්ගේ උවදුරෙන් මිදීම පිණිස අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීම. පසු ව තමන්ට අභිමත පරිදි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. විශේෂයෙන් ම මුහම්මද්තුමාණන් ප්‍රර්ථනා කළා වූ ප්‍රර්ථනා මගින් අල්ලාහ්ගෙන් අයැද සිටීම වැදගත් ය. ඒවායින් කිහිපයක් පහත දක්වමු.
"අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික වෂුක්රික වහුස්නි ඉබාදතික්, අල්ලාහුම්ම ඉන්නී ළලම්තු නෆ්සියි ළුල්මන් කසීරා, වලා ය:ෆිරුද්දුනූබ ඉල්ලා අන්ත, ෆ:ෆිර්ලියි ම:ෆිරතන් මින් ඉන්දික්, වර්හම්නියි ඉන්නක අන්තල් ගෆුරුර් රහීම්" (අල්ලාහ් දෙවිඳාණෙනි, ඔබ සිහිපත් කිරීමටත් ඔබට ස්තූති පුද කිරීමටත් ඔබ නිවැරදි අයුරින් නැමඳීමටත් මා හට පිහිට වනු මැනව! අල්ලාහ් දෙවිඳාණෙනි, මම මා හට ම බොහෝ අපරාධ කරගතිමි. පාපක්ෂමාව ලබා දීමට ඔබ හැර වෙනත් කිසිවෙකුත් නොමැත. එබැවින් ඔබ මාගේ පාපයන් කමා කරනු මැනව! මා හට කරුණාව දක්වනු මැනව! සැබිවින් ම ඔබ මහා කාරුණික හා පාපක්ෂමාව ලබා දෙන්නා වේ.)
ලුහර්, අසර්, ම:රිබ් හා ඉෂා සලාත්වල පළමු තෂහ්හුද්හි ෂහාදා දෙක පැවසීමෙන් පසු තෙවන රකාතයට නැගී සිටීම. එමෙන් ම, කෙනෙකු පළමු තෂහ්හුද්හි ෂහාදා දෙක පැවසීමෙන් අනතුරු ව, දේව දූත මුහම්මද්තුමාණන්ට සලවාත් පවසා, තෙවන රකාතයට නැගී සිටියේ නම්, එය වඩා උතුම් ය.
දහවන පාඩම: සලාතයේ සුන්නත් (නබි පිළිවෙත්)
ඒ අතරින්:
අල් ඉස්තිෆ්තාහ් (ප්‍රාරම්භක ප්‍රාර්ථනාව)
2- රුකූ ඉරියව්වට පෙර සහ පසු සිටගෙන සිටින අවස්ථාවේ දී දකුණු අතේ මැණික් කටුව වම් අතේ මැණික් කටුව මත තබා දෑත් බැඳ පපු ප්‍රදේශය මත තබා ගැනීම.
3- පළමු තක්බීර් අවස්ථාවේ දී දෑතෙහි ඇඟිලි එකට එක් කොට, උරහිස හෝ කණෙහි මට්ටමට දිගුකිරීම. මේ ආකාරයට රුකූ ඉරියව්වට යන විට හා එයින් නැගිටින විට පළමු තෂහ්හුදයෙන් පසු තෙවන රකාතය සඳහා සිටගන්නා විට මෙය පිළිපැදිය යුතු ය.
4- රුකූ හා සුජූද්හි තස්බීහ් පවසන අවස්ථාවේ දී එක් වතාවකට වඩා වැඩි වතාවක් තස්බීහ් පැවසීම.
5- රුකූ ඉරියව්වෙන් පසු ව සිටගෙන සිටින අවස්ථාවේ දී "රබ්බනා වලකල් හම්ද්" (අපගේ පරමාධිපතියාණෙනි! සියලු ප්‍රශංසා ඔබට ම හිමි ය.) යන ප්‍රකාශයට අමතර දෑ පැවසීම හා සජදා දෙක අතර, මැද හිඳුමේ දී පාපක්ෂමාව සඳහා වන ප්‍රාර්ථනාවෙහි එක් වතාවකට වඩා අමතරව පැවසීම.
6- රුකූ අවස්ථාවේ දී (කොන්ද ඉදිරියට නමා) හිස ඉණට සමාන උසට තබා ගැනීම.
7- සුජූද් අවස්ථාවේ දී තම බාහු දෙක ඇලපැති දෙකින් දුරස්ව ද තම උදරය කලව දෙකින් දුරස්ව ද තම කලවා දෙක කෙණ්ඩයෙන් දුරස් ව ද තබා ගැනීම.
8- සුජූද් අවස්ථාවේ දී වැලමිට හා අත පොළවට ස්පර්ශ නොවන අයුරින් ඔසවා තබා ගැනීම.
9- පළමු තෂහ්හුද් හා සජදා දෙක අතර මැද හිඳුමෙහි සිටින අවස්ථාවේ දී තම වම් කකුළෙහි පාදය දකුණත පැත්තට හරවා ඒ මත වාඩි වී, තම දකුණු කකුල ඇඟිලි තුඩුවලින් සිටුවා තබා ගැනීම.
10- රකාඅත් තුනේ හා හතරේ සලාතයන්හි අවසන් තෂහ්හුද්හි තවර්රුක් ක්‍රමයක හිඳ ගැනීම. එනම්, තම දකුණු කකුළෙහි පාදය (එහි ඇඟිලි තුඩුවලින්) සිටුවා ඊට යටින් තම වම් පාදය දමා, තට්ටම බිම තබා හිඳ ගැනීම වේ.
11- පළමු හා දෙවන තෂහ්හුද් සඳහා හිඳ ගත් මොහොතේ සිට අවසානය තෙක් දබර ඇඟිල්ල දික් කර තබා ගැනීම හා ප්‍රාර්ථනාව පවසන මොහොතේ එය සෙලවීම.
12- පළමු තෂහ්හුද්හි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ උදවියටත් සහ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාටත් එතුමාගේ පවුලේ උදවියටත් සලවාත් පැවසීම හා සමෘද්ධිය උදෙසා ප්‍රාර්ථනා කිරීම.
13- අවසන් තෂහ්හුද්හි ප්‍රාර්ථනා කිරීම.
14- ෆජ්ර්, ජුම්ආ, අවුරුදු හා වර්ෂාව පතා ඉටු කරනු ලබන සලාත්වල දී ද මග්රිබ් හා ඉෂා සලාත්වල පළමු රකාත් දෙකේ ද සූරා අල් ෆාතිහාව සහ ඊට අමතර ව කියවනු ලබන සූරාවන් ශබ්ද නගා කියවීම.
15- ලුහර්, අසර් සලාත්වල දී ද මග්රිබ් සලාතයේ අවසන් රකාතයේ දී ද ඉෂා සලාතයේ අවසන් රකාත් දෙකේ දී ද සූරා අල් ෆාතිහාව සහ ඊට අමතර ව කියවනු ලබන සූරාවන් ශබ්ද නැගීමකින් තොර ව නිහඬව කියවීම.
16- සූරා අල්-ෆාතිහාවට පසු ව තවත් සූරාවක් කියවීම. අප සඳහන් කළ කරුණුවලට අමතර තවත් සුන්නතයන් ඇත. ඒවා අතරින්: රුකූ ඉරියව්වෙන් පසු සිටගෙන සිටිය දී "රබ්බනා වලකල් හම්ද්" යන ප්‍රකාශයට අමතරව සඳහන්ව ඇති ප්‍රාර්ථාවන් පැවසීම ඉමාම්වරයා, ඉමාම්වරයා අනුගමනය කරමින් සලාතයේ යෙදෙන උදවිය සහ තනි ව සලාතය ඉටු කරන උදවිය සඳහා සුන්නත් වූ කරුණකි. එමෙන්ම රුකූ අවස්ථාවේ දී දෑතෙහි ඇඟිලි එකට එකතු නොකොට ඒවා අතර හිඩැසක් හිටින සේ ඇඟිලි මඳක් ඈත් කොට දණහිස් මත තබා ගැනීම ද එම සුන්නත් වූ කරුණු වලින් එකකි.
එකොළොස්වන පාඩම: සලාතය නිෂ්ඵල කරන ක්‍රියා.
සලාතය නිෂ්ඵල කරන ක්‍රියා අටකි.
1- දැන දැන උවමනාවෙන් ම කතා කිරීම. නමුත් නොදැනුවත්කමකින් හා අමතක වීමකින් එසේ වුවහොත් සලාතය අවලංගු නොවේ.
2- සිනාසීම.
3- ආහාර අනුභව කිරීම.
4- පානය කිරීම.
5- අව්රතය (කෙනෙකු සලාතයේ දී අනිවාර්යයෙන් ම වැසිය යුතු ශරීර අවයව) නිරාවරණය වීම.
6- කිබ්ලා දිශාවෙන් වෙනත් දිශාවකට වැඩිපුර හැරීම.
7- සලාතයේ දී එක දිගට අධික ලෙස අනවශ්‍ය ක්‍රියාවල නියැලීම.
8- පිරිසිදු භාවය නොමැති වීම.
දොළොස්වන පාඩම්: වුළූ (අර්ධ දෝවනයෙ)හි කොන්දේසි
වුළූහි කොන්දේසි 10කි.
ඉස්ලාමය, විචාර බුද්ධිය, පරිණත භාවය, චේතනාව, වුළුෑ අවසන් වන තුරු ම එම චේතනාවෙන් ම පසු වීම (වුළූ අවසන් වීමට පෙර තමන් වුළූ කිරීමෙන් මිදෙනවා යනුවෙන් නොසිතීම.), වුළූ අනිවාර්ය වන කරුණුවලින් මිදී සිටීම, එසේ සිදු වූ අවස්ථාවක ඉස්තින්ජා (මළපහ හෝ මුත්රා ජලයෙන් පිරිසිදු) කිරීම හා ඉස්තිජ්මාර් (මළපහ හෝ මුත්රා ගල්, කඩදාසි හා ශාක පත්රවලින් පිරිසිදු) කිරීම.ඉන් පසු වුළූ කිරීම. වුළූ සඳහා භාවිතා කරන ජලය පිරිසිදු හා අනුමත වීම, ජලය සමට වැදීම වලක්වන දෑ ඉවත් කිරීම හා නිතර නිතර වුළූ කඩවන පුද්ගලයා සලාතයේ වේලාව උදා වූ පසු වුළූ කිරීම ආරම්භ කිරීම.
දහතුන්වන පාඩම: වුළූහි අනිවාර්යය ක්‍රියා
වුළූ හි අනිවාර්යය ක්‍රියා හයකි.
මුහුණ සේදීම, කට සේදීම හා නාසය පිරිසිදු කර ගැනීම ද එහි එක් අංගයකි. අත් දෙක වැළමිට ඇතුළුව සෝදා හැරීම. තෙත් අතින් හිස මුළුමණින් පිරිමැදීම, කන් සේදීම ද ඉන් එක් අංගයකි. දෙපා වළලු කර ඇතුළුව සෝදා හැරීම, පිළිවෙලට ඉටු කිරීම, නොකඩවා අඛණ්ඩව සිදු කිරීම. මුහුණ, අත් දෙක, පාද දෙක නැවත නැවතත් තුන් වරක් සේදීම සතුටුදායකය. එමෙන්ම කට පිරිසිදු කර ගැනීම හා නාසය පිරිසිදු කර ගැනීම ද එලෙසමය. ඒවා අනිවාර්යය වනුයේ එක් වරක් පමණි. හිස මස්හ් කිරීමෙහි දී නැවත නැවතත් පිරිමැදීම සතුටු දායක නොවේ. ඒ සම්බන්ධයෙන් සම්මත හදීස් පෙන්වා දී ඇත්තේ මෙසේය.
දහ හතරවන පාඩම: වුළූ අවලංගු කරන කරුණු
ඒවා හයකි.
ඉදිරිපස හා පසුපස විවරවලින් යමක් පිටවීම, පිළිකුල් සහගත අපිරිසිදු යමක් ශරීරයෙන් පිටවීම, නින්ද හෝ වෙනත් කරුණක් හේතුවෙන් සිහිබුද්ධිය නැති වීම, කිසිදු තිරයකින් තොර ව තම අතින් රහසඟ ස්පර්ශ කිරීම, ඔටු මස් අනුභව කිරීම හා ඉස්ලාමයෙන් බැහැර වීම. (අල්ලාහ් අප හා සෙසු මුස්ලිම්වරුන් සියලු දෙනා එයින් ආරක්ෂා කරත්වා!).
සටහන: මෘත දේහයක් ස්නානය කරවීම යන කරුණෙහි නිවැරදි ම මතය වන්නේ එය වුළූ අවලංගු වන කරුණක් නොවේ යන්න ය. මේ සඳහා සෘජු හදීසයක් නොමැති හෙයින් බොහෝ වියතුන්ගේ මතය එය වේ. නමුත් මෘත දේහය ස්නානය කරවන මොහොතේ දී ස්නානය කරවන්නාගේ අත කිසිදු තිරයක් නොමැති ව මෘත දේහයේ රහසඟෙහි ස්පර්ශ වූයේ නම් ඔහුට වුළූ කිරීම අනිවාර්ය වේ.
මෙහි දී තිරයක් නොමැති ව මෘත දේහයේ රහසඟ ස්පර්ශ කිරීමෙන් වැලකී සිටීම ඔහුට අනිවාර්ය වේ. තව ද ආගමික වියතුන්ගේ මත අතුරින් නිවැරදි ම මතය වන්නේ, කිසියම් පුද්ගලයෙකු ආශාවකින් හෝ ආශාවකින් තොර ව, කාන්තාවක ස්පර්ශ කිරීම හේතුවෙන් ඔහුගේ ශරීරයෙන් කිසිවක් පිට නොවන තාක්කල් ඔහුගේ වුළූ අවලංගු නොවේ යන්න ය. මන් ද යත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, එතුමාණන්ගේ සමහර භාර්යාවන් සිපගෙන, පසු ව වුළූ නොකර සලාත් ඉටු කර ඇති හෙයිනි.
අල්ලාහ් දෙවිඳාණෝ සූරා අන් නිසා හා සූරා මාඉදාහි මෙසේ දේශනා කරයි.
﴿...أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ...﴾
"එසේ නැතහොත් නුඹලා කාන්තාවන් ස්පර්ශ කළේ නම්" {සූරා නිසා:43} {සූරා මාඉදා: 06} මෙහි අදහස සංසර්ගය යන්න ආගමික වියතුන්ගේ මත අතුරින් නිවැරදි මතය වේ. ඉබ්නු අබ්බාස්තුමාගේ මෙන් ම සලෆ් හා කඃලෆ්වරුන් අතුරින් එක් කණ්ඩායමක මතය ද මෙය යි. සැබැවින් ම අල්ලාහ් සාර්ථකත්වයේ හිමිකරු ය.
පහළොස් වැනි පාඩම: සෑම මුස්ලිම්වරයෙකුටම අනුමත සදාචාරාත්මක කරුණු පිළිපැදීම
ඒවා නම් සද්භාවය, අවංකකම, සිල්වත්භාවය, විළිබිය ඇත්තෙකු වීම, ක්‍රියාශීලිත්වය, පොරොන්දු ඉටු කිරීම, අල්ලාහ් තහනම් කළ සියලු ම කරුණුවලින් ඉවත් ව සිටීම, යහපත් අසල්වැසියෙකු ව සිටීම, දුප්පත් උදවියට පිහිට වීම හා උතුම් අල් කුර්ආනයේ හා හදීස්හි සඳහන් අනෙකුත් යහ ගුණාංග වලින් වර්ණවත් වීම.
දහසය වැනි පාඩම: ඉස්ලාමීය ආචාර විධිවලට අනුකූල වීම.
ඒ අතරින් සලාම් පැවසීම, නිතර ම සිනහමුසු මුහුණින් සිටීම, දකුණතින් ආහාර පාන ගැනීම, ඕනෑ ම කටයුත්තක් ආරම්භ කරන මොහොතේ "බිස්මිල්ලාහ්" (අල්ලාහ්ගේ නාමයෙන් කරමි) යැයි පැවසීම, ඕනෑ ම කටයුත්තක් අවසන් වූ පසු "අල්හම්දු ලිල්ලාහ්" (පැසසුම් සියල්ල අල්ලාහ්ට ම හිමි ය) යැයි පැවසීම, කිවිසුම් යෑමෙන් පසු "අල්හම්දු ලිල්ලාහ්" යැයි පැවසීම, එසේ පැවසීම කවරෙකුට කණ වැකෙන්නේ ද ඔහු "යර්හමුකල්ලාහ්" (අල්ලාහ් ඔබට කරුණාව දක්වත්වා!) යැයි පැවසීම, රෝගියාගේ සුවදුක් විමසීම, අවමඟුල් අවස්ථාවක දී දේහය පිටුපසින් යෑම මෙන් ම ජනාසා (දේහය උදෙසා කරන) සලාතයට හා දේහය වැළලීමේ කටයුතුවලට සහභාගී වීම, මස්ජිදයකට හෝ නිවසකට පිවිසීමේ දී ද එයින් බැහැර වීමේ දී ද ගමනක් යන අවස්ථාවේ දී ද ඉස්ලාමීය පිළිවෙත අනුගමනය කිරීම, දෙමව්පියන්, නෑදෑ හිතවතුන්, අසල්වැසියන්, වැඩිහිටි උදවිය හා කුඩා දරුවන් සමඟ යහපත් අයුරින් හැසිරීම, දරු උපතක දී සුබ පැතීම, විවාහ උත්සවයක දී අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම, කරදරයක පැටලී සිටින උදවිය වෙත ගොස් ඔවුන්ගේ සිත් සැනසීම සහ මේ හැර ඇඳුම් පැළඳුම්, සෙරෙප්පු පළඳින විට හා ගලවන විට යනා දී කරුණුවල දී ඉස්ලාමීය සිරිත් විරිත් අනුගමනය කිරිම.
දහහත්වන පාඩම: ෂිර්කයෙන් වැළකී සිටීම හා පාපකම්වල වර්ග
ඒවායින් විනාශකාරී මහා සත් අකුසල් හෙවත් අස්සබ්උල් මූව්බිකාත් ප්‍රධාන වේ. එනම්, අල්ලාහ් කෙරෙහි ආදේශ තැබීම, හූනියම, කිසිදු සාධාරණ හේතුවකින් තොර ව මිනිස් ජීවිතයක් ඝාතනය කිරීම, පොලිය, අනාථ දරුවන්ගේ මුදල් හා දේපළ අවභාවිතය, ජිහාද්හි යුදමය තත්ත්වයක දී පැන දිවීම, සැදැහැවත් විශ්වාස කළ ස්ත්‍රීන්ට අවලාද නැගීම යනු වේ.
තව ද දෙමව්පියන්ට හිරිහැර කිරීම හා වේදනාවට පත් කිරීම, නෑදෑ සබඳතා බිඳීම, බොරු සාක්ෂි දීම, අසත්‍ය දිවුරුම් දීම්, අසල්වැසයන්ට හිරිහැර කිරීම, අන් අයගේ ජීවිතය, දේපළ හා ගෞරවය යන කරුණුවල අසාධාරණ ලෙස කටයුතු කිරීම, මත් ද්‍රව්‍ය භාවිතය, සූදුව, තමන් ඉදිරියේ නොමැති කෙනෙකුගේ අඩුපාඩු කීම, කේලම් කීම හා දේව දූත මුහම්මද්තුමාණන් තහනම් කළ අනෙකුත් කරුණු කාරණා ද මීට අන්තර්ගත ය.
දහ අටවන පාඩම: මිය ගිය දේහය සූදානම් කිරීම ඒ කෙරෙහි සලාත් ඉටු කිරීම හා එය වල දැමීම
උක්ත කරුණු මෙලෙස පැහැදිලි කළ හැක.
පළමුවැන්න: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුව මරනාසන්න පුද්ගලයෙකුට "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" යන ප්‍රකාශය සිහි කර දීම ආගමානුකූල කරුණකි.
"لَقِّنُوا مَوْتَاكُمْ: لَا إِلَهَ إِلَّا اللَّهُ."
එතුමාණෝ මෙසේ ප්‍රකාශ කර ඇත්තාහ. "ඔබලා අතුරින් මරණාසන්න පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යන ප්‍රකාශය සිහි කර දෙන්න."7 මුස්ලිම් සිය සහීහ් ග්රන්ථයේ වාර්තා කර ඇත ඉහත හදීසයේ "මව්තා" යන වචනයෙන් අදහස් කරන්නේ "මරණාසන්න උදවිය" යන්න යි.
දෙවැන්න: ඔහු මිය ගිය බවට ස්ථීර වූ විටෙක, ඔහුගේ ඇස් දෙක වසා දමා ඔහුගේ යටි රැවුල ගැට ගැසිය යුතුය. ඒ පිළිබඳ නබි වදන්හි මෙසේ වාර්තා වී ඇත.
තුන්වැන්න: මිය ගිය මුස්ලිම් දේහයක් නෑවීම අනිවාර්යය වේ. නමුත් යුද පිටියේ දිවි පිදූවෙකු වී නම් හැර. ඔහුව නාවන්නේ හෝ ඔහු කෙරෙහි සලාත් ඉටු කරන්නේ හෝ නැත. එම ඇඳුමෙහිම ඔහුව වළ දමනු ලැබේ. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උහද් යුද්ධයේ දී මියගිය ඇත්තන් නාවා නැති අතර ඔවුන් කෙරෙහි සලාත් ඉටු කර ද නැති බැවිනි.
සිව්වැන්න: දේහය නෑවීමේ ක්‍රමය
සැබැවින්ම ඔහුගේ රහස්‍ය පෙදෙස ආවරණය වී තිබිය යුතුයි. පසුව මදක් ඔසවා ඔහුගේ උදරය සැහැල්ලුවෙන් මිරිකයි. පසුව නාවන්නා තම අතෙහි රෙදි කඩක් හෝ එවැනි වෙනත් දෙයක් ඔතා එමගින් එය පිරිසිදු කරයි. පසුව සලාතය සඳහා වුළූ ගන්නාක් මෙන් වුළූ කරවා පසුව ඔහුගේ හිස හා යටි රැවුල ජලය, මසන් කොළ හෝ එවැනි වෙනත් දෑ භාවිතා කරමින් සෝදා හරියි. පළමුව ඔහුගේ දකුණු පැත්ත සෝදා හරියි. පසුව වම් පැත්ත සෝදා හරියි. මෙලෙස දෙතුන් වතාවක් සිදු කරයි. ඒ සෑම අවස්ථාවකම තම අත ඔහුගේ උදරය මත ගමන් කරවයි. ඒ හේතුවෙන් යමක් පිට වූයේ නම්, එය ද සෝදා හරියි. එම ස්ථානය කපු හෝ එවැනි යමක් භාවිත කරමින් වසාලයි. එසේ නො රැඳෙන්නේ නම්, වෙළුම් පටි හෝ ප්ලාස්තර වැනි නවීන වෛද්‍ය මාධ්‍යයන් ඒ සඳහා උපයෝගී කර ගනී.
නැවතත් වුළු කරවයි. තුන් වරකින් පිරිසිදු නොවූයේ නම්, පස් වතාවක් දක්වා හෝ හත් වතාවක් දක්වා හෝ සොදා හැරීම වැඩි කරයි. පසුව රෙඳි කඩකින් එය පිස දමයි. සුජූද් කළ අවයව මත සුවඳ විළවුන් ගල්වයි. සියල්ල එසේ සුවඳවත් කරන්නේ නම් හොඳ ය. ඔතනු ලබන රෙදිවලට සුවඳ දුම් අල්ලයි. ඔහුගේ උඩු රැවුල හෝ නියපොතු දිගුවට වැවී ඇත්නම් ඒවා ඉවත් කරයි. එසේ නො කර අත්හැරිය ද එහි වරදක් නැත. හිසකෙස් පීරිය යුතු නැත. එමෙන්ම ඔහුගේ කිහිලි රෝම හෝ රහස්‍ය පෙදෙස්වල රෝම බෑමට අවශ්‍ය වන්නේ ද නැත. මක්නිසාදයත ඒ සඳහා සාධක නොමැති බැවිනි. නමුත් කාන්තාවක් නම් ඇගේ හිසකෙස් කොටස් තුනකට ගොතා ඇගේ පසු එය පිටුපස එල්ලා තැබිය යුතුය.
පස්වැන්න: දේහය (සුදු රෙද්දෙන්) එතීම
පුරුෂයෙකු නම් කමිසයක් හා ජටාවක් නොමැති සුදු පැහැති රෙදි කඩ තුනකින් කෆන් කිරීම වඩා යෝග්‍්‍ය වේ. මන් ද යත් දේව දූත මුහම්මද්තුමාණන්ගේ දේහය කෆන් කළේ ද ඒ අයුරිනි. එනමුත් කමිසයක්, සරමක් හා එක් රෙදි කඩක් මඟින් කෆන් කළ ද වරදක් නොමැත.
කාන්තාවක නම් හැට්ටයක්, හිස් ආවරණයක්, සරමක් හා රෙදි කඩ දෙකක් යන දෑ මගින් කෆන් කරනු ලැබිය යුතු ය. කුඩා දරුවෙකු නම් එක් රෙදි කඩකින් හෝ දෙකකින් හෝ තුනකින් හෝ කෆන් කළ හැකි ය. කුඩා දැරියක නම් හැට්ටයක් හා රෙදි කඩ දෙකක් මගින් කෆන් කළ හැකි ය.
ඕනෑ ම කෙනෙකුගේ දේහයක් අවම වශයෙන් දේහය සම්පූර්ණයෙන් ම වැසෙන එක් රෙදි කඩකින් කෆන් කිරීම අනිවාර්ය වේ. දේව දූත මුහම්මද්තුමාණන්ගේ දේශනාවලට අනුව ඉහ්රාම් ඇඳුමෙන් සිටින කෙනෙකු නම් ඔහු ජලයෙන් හා සිද්ර් පත්රවලින් ස්නානය කරනු ලැබ එම ඉහ්රාම් ඇඳුමෙන් ම හෝ වෙනත් යමකින් කෆන් කරනු ලැබිය යුතු ය. ඔහුගේ හිස හා මුහුණ වැසිය නොයුතු අතර ම ඔහුට සුවඳ විලවුන් ද නොගැල්විය යුතු ය. මන් ද යත් ඔහු අවසන් දිනයේ දී තල්බියා යන අල්ලාහ් මෙනෙහි කරනු ලබන ප්‍රකාශය තම මුවින් පවසමින් සිටින කෙනෙකු ලෙස නැගිටුවනු ලැබේ. ඉහ්රාම් ඇඳුමෙන් සිටන්නා කාන්තාවක් නම් ඇය සාමාන්ය කාන්තාවක කෆන් කරනු ලබන්නා සේ කෆන් කරනු ලැබිය යුතු අතර සුවඳ විලවුන් නොගැල්විය යුතු මෙන් ම නිකාබ් නමැති මුහුණු වැස්මකින් ඇගේ මුහුණ ද දෑත් වැස්මකින් ඇගේ දෑත ද වැසිය නොයුතු ය. මුහුණ හා දෑත කෆන් කරනු ලබන රෙදි කඩින් ම වැසිය යුතු ය.
හයවැනන්න: දේහය නෑවීමට, ඒ සඳහා සලාතය ඉටු කිරීමට හා එය වල දැමීමට ඉතා සුදුසු ම උදවිය:
පිරිමි දේහයකදී ඔහු මිය යෑමට පෙර ඒ සඳහා අන්තිම කැමැත්ත ප්‍රකාශ කර සිටි අය ඒ සඳහා ප්‍රමුඛත්වය ගනු ඇත. පසුව පියා, පසුව සීයා, පසුව සමීප ඥාතීන් පසුව පිරිමියාගේ අයිතිය තුළ පරම්පරාවෙන් පැවත එන ඥාතීන් .
කාන්තා දේහයක් නම් එම කාන්තාව මිය යෑමට පෙර කවරෙකුට එම කටයුතු කිරීමට පැවරුවේ ද එම පුද්ගලයා මුල්තැන් ගනී. ඔහු නොමැති විට මිය ගිය කාන්තාවගේ මව ද අනතුරු ව ආච්චි ද ඉන් අනතුරු ව දුව ද යනුවෙන් ඥාතීත්වයේ සමීප භාවය අනුව සුදුසු ම පුද්ගලයා තීරණය වේ. ස්වාමි පුරුෂයාට තම භාර්යාව ද භාර්යාවට තම ස්වාමි පුරුෂයා ද ස්නානය කරවිය හැක. මන් ද යත් අබූ බක්ර්තුමාගේ දේහය එතුමාගේ භාර්යාව ද ෆාතිමා තුමියගේ දේහය එතුමියගේ සැමියා වන අලි තුමා ද ස්නානය කරවා ඇති බැවිනි.
සත්වැන්න: දේහයකට සලාත් ඉටු කරන ක්‍රමය
මෙම සලාතය තක්බීර් (අල්ලාහු අක්බර් යන ප්රකාශය) හතරකින් සමන්විත වේ. පළමු තක්බීරයෙන් පසු සූරා අල්ෆාතිහා කියවනු ලැබේ. ඒ සමඟ තවත් කෙටි සූරාවක් හෝ වැකියක් හෝ වැකි කිහිපයක් හෝ කියවනු ලැබුවේ නම් එය වඩාත් ප්‍රියජනක ය. පසු ව දෙවන තක්බීරය පවසා, සලාතයේ තෂහ්හුද්හි දේව දූත මුහම්මද්තුමාණන් උදෙසා පවසන සලවාතය පැවසිය යුතු ය. තුන්වන තක්බීරය පැවසීමෙන් අනතුරු ව පහත ප්‍රාර්ථනාව පැවසිය යුතු ය. "අල්ලාහුම්මග්ෆිර් ලිහයියිනා වමයියිතිනා වෂාහිදිනා වගාඉබිනා වසගීරනා වකබීරනා වදකරිනා වඋන්සානා, අල්ලාහුම්ම මන් අහ්යයිතනා මින්නා ෆඅහ්යිහි අලල් ඉස්ලාමි, වමන් තවෆ්ෆයිතහු මින්නා ෆතවෆ්ෆහු අලල් ඊමාන්, අල්ලාහුම්මග්ෆිර්ලහු වර්හම්හු වආෆිහි වඃෆු අන්හු ව අක්රිම් නුzසුලහු වවස්සිඃ මුද්කඃලහු වග්සිල්හු බිල් මාඉ වස්සල්ජි වල්බරද්, වනක්කිහි මිනල් කතායා කමා නක්කයිතස්සව්බල් අබ්යල මිනද් දනස්, ව අබ්දිල්හු දාරන් කයිරන් මින් දාරිහි ව අහ්ලන් කඃයිරන් මින් අහ්ලිහි ව අද්කිඃල්හුල් ජන්නත, ව අඉද්හු මින් අදාබිල් කබ්රි ව අදාබින් නාර්, වෆ්සහ් ලහු ෆී කබ්රිහි වනව්විර් ලහු ෆීහි, අල්ලාහුම්ම ලා තහ්රිම්නා අජ්රහු වලා තුළිල්නා බඃදහ්" තේරුම:- (ඕ අල්ලාහ්, අප අතුරින් ජීවත් ව සිටින උදවියට ද මරණයට පත් උදවියට ද අප ඉදිරියේ සිටින උදවියට ද අප ඉදිරියේ නොසිටින උදවියට ද කුඩා උදවියට ද වැඩිහිටි උදවියට ද පිරිමින්ට ද ස්රීන්ට ද ඔබ පාපක්ෂමාව ලබා දෙනු මැන! ඕ අල්ලාහ්, ඔබ ඔහු (මිය ගිය පුද්ගලයා) හට පාපක්ෂමාව ලබා දෙනු මැන! ඔහුට කරුණාව දක්වනු මැන! ඔහුට සුවය ලබා දී සමාව ලබා දෙනු මැන! ඔහුගේ නිවහන අගනා ස්ථානයක් කරනු මැන! ඔහු පිවිසෙන ස්ථානය එනම් මිනී වළ පුළුල් කරනු මැන! ජලය, පිනි හා අයිස් මගින් ඔහු සෝදා හරිනු මැන! කිළිටි වූ සුදු පැහැති වස්ත්රයක් කෙසේ පිරිසිදු කරනු ලබන්නේ ද එලෙස ම ඔහුගෙන් අකුසල්වලින් ඔහු ව පිරිසිදු කරනු මැන! (මෙලොවෙහි) ඔහුට තිබූ නිවහනට වඩා යහපත් නිවහනක් ද ඔහුගේ පවුලට වඩා යහපත් පවුලක් ද ඔබ ඔහුට ලබා දෙනු මැන! කබ්රයේ (මිනී වළ) වේදනාවෙන් හා අපායේ වේදනාවෙන් ඔහු මුදවා ගෙන, ස්වර්ගස්ථ කරනු මැන! තව ද කබ්රය ඔහුට විස්තීර්ණ කර, කබ්රයේ දී ඔහුට ආලෝකය ලබා දෙනු මැන! ඕ අල්ලාහ්, ඔහුගේ අවමඟුල් කටයුතුවලට දායක වීමෙන් අපට හිමි කුසල් අපට ලබා දීමෙන් නොවළක්වනු මැන! ඔහුගේ මරණයෙන් පසු අප නොමග යන තත්ත්වයට පත් නොකරනු මැන!) පසු ව සිව්වන තක්බීරය පවසා, තම දකුණත පැත්තට එක් සලාමයක් දිය යුතු ය.
සෑම තක්බීරයක් සමගම අත් දෙක එසවීම සතුටුදායකය. කාන්තාවකගේ දේහයක් නම් එහි දී 'අල්ලාහුම්මග්ෆිර් ලහා...' යනුවෙන් ද දෙදෙනෙකුගේ දේහ වී නම් 'අල්ලාහුම්මග්ෆිර් ලහුමා...' යනුවෙන් ද ඊට වඩා අධික ප්‍රමාණයක් දේහ වී නම්, එහි දී 'අල්ලාහුම්මග්ෆිර් ලහුම්.." යනුවෙන් ද පැවසිය යුතු ය. එය දරුවකුගේ දේහයක් වී නම් ඔහුට සමාව අයදිමින් ප්‍රාර්ථනා කිරීම වෙනුවට මෙසේ පවසනු ලැබේ: "අල්ලාහුම්මජ්අල්හු ෆරතන් ව සුහ්රන් ලිවාලිදයිහි, වෂෆීඅන් මුජාබා, අල්ලාහුම්ම සක්කිල් බිහි මවාසියිනහුමා, ව අඃලිම් බිහි උජුව්රහුමා, ව අල්හික්හු බිසාලිහි සලෆිල් මුඃමිනීන්, වජ්අල්හු ෆී කෆාලති ඉබ්රාහීම් අලයිහස්සලාතු වස්සලාම්, වකිහි බිරහ්මතික අදාබල් ජහීම්." (ඕ අල්ලාහ්, ඔබ එම දරුවා ඔහුගේ දෙමව්පියන්ට ඉතිරි කොට තබන ලද කුසලක් වශයෙන් ද (තමන්ගේ ඉල්ලීම අල්ලාහ් විසින්) පිළිගනු ලැබූ මැදිහත්කරුවෙකු ලෙසත් පත් කරනු මැන. ඕ අල්ලාහ්, ඔහුගේ මරණය හේතුවෙන් ඔහුගේ දෙමව්පියන්ගේ (කුසල් අකුසල් කිරනු ලබන) තුලාවේ කුසල් පැත්තෙහි බර වැඩි කර, ඔවුන්ගේ කුසල් දෙගුණ තෙගුණ කරනු මැන! සැදැහැවත් විශ්වාස කරන්නන් සමඟ ඔහු එකතු කරනු මැන! දේව දූත ඉබ්රාහීම්තුමාගේ භාරයේ ඔහු පත් කරනු මැන! ඔබගේ කරුණාව මගින් අපායේ වේදනාවෙන් ඔහු මුදවා ගනු මැන!)
පිරිමි දේහයක හිසට සමාන්තරව හා ගැහැණු දේහයක මැද කොටසට සමාන්තරව ඉමාම් සිට ගැනීම සුන්නාවකි. දේහ කිහිපයක් එකට එකතු වූ විටෙක ඉමාම්වරයාගේ ඉදිරිපස පිරිමි දේහය තැබිය යුතු අතර කාන්තා දේහය කිබ්ලාව දෙසට වන්නට තැබිය යුතුය. ඔවුන් සමග පිරිමි දරුවකුගේ දේහය වී නම්, කාන්තා දේහයට පෙර එම පිරිමි දරුවාගේ දේහය ඉදිරියෙන් ද, පසුව කාන්තා දේහය ද ඉන් පසු ගැහැණු දරුවාගේ දේහය ද තැබිය යුතුය. එමෙන්ම පිරිමි දරුවාගේ දේහයේ හිස පිරිමි දේහයේ හිසට සමාන්තරව තැබිය යුතු අතර කාන්තා දේහයේ මැද කොටස පිරිමි දේහයේ හිසට සමාන්තරව තැබිය යුතුය. මෙලෙස ගැහැණු දේහයේ හිසට සමාන්තරව ගැහැණු දරුවාගේ හිස තැබිය යුතුය. ඇගේ මැද කොටස පිරිමි දේහයේ හිසට සමාන්තරව පවතී. සියලුම සලාත් ඉටු කරන්නන් ඉමාම්ට පසුපසින් සිටිති. නමුත් ඉමාම්ට පිිටුපස කිසියම් කෙනෙකු සලාත් ඉටු කරන්නට තැනක් නොලැබුවේ නම්, ඔහු ඉමාම්ට දකුණු පසින් සිට ගනී.
අටවැන්න: දේහය වල දැමීමේ ක්‍රමය
මිනිසකුගේ උසින් අඩක ප්‍රමාණයක් ගැඹුරට වල හෑරීම ආගමානුගත කර ඇත. එහි දී ඇතුළට නෙරා ගිය (ලාච්චු හැඩයේ) කොටස කිබ්ලා දිසාවට සකස් කළ යුතුය. එම වල තුළ දේහය තැන්පත් කළ යුත්තේ දේහයේ දකුණු පැත්තෙනි. පසුව කෆන් ඇඳුමේ ගැට ලිහා දමනු ලබන අතර එම රෙදි පටි ඉවත් නොකර තිබෙන පරිදිම තිබෙන්නට හරී. පිරිමි දේහයක් හෝ වේවා කාන්තා දේහයක් හෝ වේවා ඔහුගේ මුහුණ නිරාවරණය නො කළ යුතුය. ඉන්පසු ඒ මත පස් නොවැටෙන සේ ගඩොල් අතුරා ඒ මත මැටි ආලේප කර ආවරණය කරයි. ගඩොල් සඳහා පහසුකමක් නොලැබුණු විටෙක පස් වැටීමෙන් ආරක්ෂා වන පරිදි එවැනි ලෑලි හෝ ගල් හෝ කොට තබයි. පසුව ඒ මත පස් හළයි. ඒ අවස්ථාවේ "බිස්මිල්ලාහි වඅලා මිල්ලති රසූලිල්ලාහ්" යැයි පැවසීම සතුටුදායකය. වියතක තරම් ප්‍රමාණයක් මිණී වල ඔසවා තබනු ලැබේ. පහසුකමක් ඇත්නම් ඒ මත බොරළු ගලක් තබා පසුව ජලය ඉසයි.
ජනාසාවට සහභාගී වූ අය කබ්රය අසළ සිටගෙන මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම ආගමානුකූල කර්තව්යයකි. දේව දූත මුහම්මද්තුමාණෝ දේහය වැළලීමෙන් අනතුරු ව ඒ අසළට වී, මෙසේ පැවසුහ.
"اسْتَغْفِرُوا لِأَخِيكُمْ، وَاسْأَلُوا لَهُ التَّثْبِيتَ، فَإِنَّهُ الْآنَ يُسْأَلُ."
"ඔබලාගේ සහෝදරයා වෙනුවෙන් පාපක්ෂමාව අයදින්න. (කබ්රයේ ප්‍රශ්න කිරීම්වල දී) ස්ථීර ව සිටීමට ප්‍රාර්ථනා කරන්න. ඔහු මේ අවස්ථාවේ දී ප්‍රශ්න කරනු ලබමින් සිටී."8
නව වැන්න: ජනාසා සලාතය ඉටු කිරීමට නොහැකි වූ උදවිය දේහය වැළලීමෙන් අනතුරු ව සලාත් ඉටු කිරීම සඳහා ඉස්ලාමය අනුමත කර තිබීම
මන් ද යත් දේව දූත මුහම්මද්තුමාණෝ එසේ කර ඇත්තෝය. නමුත් එසේ කිරීම දේහය වළලා මසක් ගතවන තුරු පමණක් වලංගු වේ. ඊට වඩා වැඩි කාලයක් ගත වූයේ නම් එසේ සලාතය කිරීම නොකළ යුතු ය. මන් ද යත් දේව දූත මුහම්මද්තුමාණන් දේහය වැළලීමෙන් මසකට පසු එසේ සලාතය කළ බවට කිසිදු සඳහනක් නොමැති නිසා ය.
දස වැන්න: මිනිසුන් වෙනුවෙන් ආහාර පිසීම මිය ගිය අයගේ නිවැසියන්ට යුතු කාර්යයක් නොවේ.
ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් අල්බජලියි නමැති සහාබිවරයා (දේව දූත මුහම්මද්තුමාණන්ගේ සහගාමියා) මෙසේ පවසයි.
"كُنَّا نَعُدُّ الاِجْتِمَاعَ إِلَى أَهْلِ الْمَيِّتِ، وَصَنْعَةَ الطَّعَامِ بَعْدَ الدَّفْنِ مِنَ النِّيَاحَةِ."
"දේහය වැළලීමෙන් පසු මිය ගිය පුද්ගලයාගේ නිවසට ගොස් එහි රැස්වීම හා ආහාර අනුභව කිරීම, 'අන්නියාහා' (මහා හඬින් විලාප දෙමින් හඬා වැටීම) යන නීතියට අන්තර්ගත වන්නක් බව අපි සැළකුවෙමු."9 ඉමාම් අහ්මද්තුමා මෙම හදීසය හසන් (පිළිගත හැකි) ගණයට අයත් හදීසයක් ලෙස තම මුස්නද් අහ්මද් ග්‍රන්ථයේ සඳහන් කරයි. අන්නියාහා යනු ඉස්ලාමයේ තහනම් කරන ලද කරුණකි. මිය ගිය පුද්ගලයාගේ නිවසේ උදවිය හා අමුත්තන් වෙනුවෙන් ආහාර පිළියෙළ කිරීම මිය ගිය පුද්ගලයාගේ ඥාතීන්ටත් අසල්වැසියන්ටත් ආගමානුකූල කරුණක් වේ. මන් ද දේව දූත මුහම්මද්තුමාණන්ට ෂාම් දේශයේ මරණයට පත් ජඃෆර් බින් අබී තාලිබ්තුමාගේ මරණය පිළිබඳ පුවත ආරංචි වූ අවස්ථාවේ දී දේව දූත මුහම්මද්තුමාණෝ ජඃෆර්තුමාගේ පවුලේ උදවිය වෙනුවෙන් ආහාර පිළියෙළ කරන මෙන් තම පවුලට අණ කළහ. තව ද එතුමාණෝ මෙසේ ද ප්‍රකාශ කළහ.
" إِنَّهُ أَتَاهُمْ مَا يَشْغَلُهُمْ ".
"ඔවුන් වෙත ඔවුන් කාර්යබහුල කරවන කරුණක් සිදු ව ඇත."10
මිය ගිය පුද්ගලයාගේ නිවසේ උදවිය තමන්ට දානයක් ලෙස ලැබුණු ආහාර තමන්ගේ අසල්වැසියන් හා ඥාතීන් සමඟ බෙදා හදා ගනිමින් අනුභව කිරීමෙහි කිසිදු වරදක් නොමැත. නමුත් ඒ සඳහා වෙන් වූ නිශ්චිත කාලවේලාවක් පිළිබඳ ඉස්ලාමයේ සඳහන් නොවේ.
එකොළොස් වැන්න: කාන්තාවක් ඇගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් හෝ ඇය ගර්භණී තත්ත්වයක සිටියේ නම් හැර මිය ගිය කෙනෙක් වෙනුවෙන් දින තුනකට වඩා අධික කාලයක් වැලපීමට ඇයට අවසර නැත.
සැබැවින්ම ඇයට අනිවාර්යය වනුයේ මාස හතරක් සහ තවත් දින දහයක් පොරොත්තු වී, එසේ තම ශෝඛය ඵල කර සිටීමය. නමුත් ඇය ගර්භණී කාන්තාවක් නම් ඇය ප්‍රසූත කිරීමත් සමග එය අවසන් වනු ඇත. ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශ සහතික කර ඇති බැවිනි.
පිරිමියෙකු නම් කිසිදු කෙනෙකුගේ මරණයක් වෙනුවෙන් එලෙස සිටීම අනුමත නොවේ.
දොළොස්වැන්න: පිරිමින් එම වේලාවේ කබ්ර් ස්ථානයට යාම, අවසානයේ මිය ගිය උදවිය වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම, අල්ලාහ්ගේ කරුණාව ඔවුන් වෙනුවෙන් පැතීම, මරණය හා ඉන් පසු මුහුණ දීමට සිදු වන දෑ ගැන සිහි කැඳවීම යනාදී කරුණු ආගමානුගත කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ගැන මෙසේ සඳහන් කර ඇත.
"زُورُوا الْقُبُورَ، فَإِنَّهَا تُذَكِّرُكُمُ الْآخِرَةَ"
"නුඹලා කබ්ර් එනම් මිනී වළවල් වෙත යන්න. සැබැවින් ම නුඹලාට එය පරලොව පිළිබඳ සිහිපත් කර දෙනු ඇත."11 මුස්ලිම් තුමා සිය සහීහ් ග්‍රන්ථයේ මෙය වාර්තා කර ඇත. දේව දූත මුහම්මද්තුමාණෝ තම සහගාමීන්ට, කබ්ර් වෙත ගියේ නම් මෙලෙස පවසන මෙන් ඉගැන්වූහ.
"السَّلَامُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ، وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لَاحِقُونَ، نَسْأَلُ اللَّهَ لَنَا وَلَكُمُ الْعَافِيَةَ، يَرْحَمُ اللَّهُ الْمُتَقَدِّمِينَ مِنَّا وَالْمُسْتَأْخِرِينَ"
"අස්සලාමු අලෛකුම් අහ්ලද්දියාරි මිනල් මුඃමිනීන වල්මුස්ලිමීන, වඉන්නා ඉන්ෂා අල්ලාහ් බිකුම් ලාහිකූන්, නස්අලුල්ලාහ ලනා වලකුම් අල් ආෆියාහ්, යර්හමුල්ලාහුල් මුතකද්දිමීන මින්නා වල්මුස්තඃහිරීන්." (විශ්වාසවන්තයින්ගෙන් හා මුස්ලිම්වරුන්ගෙන් යුත් නිවැසියනි! ඔබලාට ශාන්තිය හිමි වේවා! අපි ද ඉන්ෂා අල්ලාහ් ඔබත් සමඟ එක්වන්නෙමු. අපටත් ඔබලාටත් අල්ලාහ්ගෙන් සුවය පතන්නෙමු. අප අතුරින් මෙහි පෙර පැමිණි අයටත් පසු ව පැමිණෙන අයටත් අල්ලාහ් කරුණා කරත්වා!)12 කාන්තාවන් වනාහි, ඔවුන් කබ්ර් ස්ථාන වෙත යෑම සුදුසු වන්නේ නැත. මක්නිසාදයත් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කබ්ර් බැහැ දකින්නට යන කාන්තාවන්ට දොස් නගා ඇති බැවිනි. ඊට හේතුව ඔවුන් එසේ කබ්ර් වෙත යෑමේ දී අර්බුධ ඇති වීමේ හා ඔවුන් තුළ ඇති අඩු ඉවසීමේ බිය නිසාවෙනි. එමෙන්ම කබ්ර් ස්ථානය දක්වා දේහය පසුපසින් යෑම ද ඔවුනට අනුමත නැත. හේතුව අල්ලාහ්ගේ දූතයාණන් ඒ ගැන ඔවුනට තහනම් කර ඇති බැවිනි. මස්ජිදයේ හෝ සලාත් ඉටු කරන වෙනත් ස්ථානයක හෝ ජනාසා සලාතය ඉටු කිරීම පිරිමි හා කාන්තා දෙපාර්ශවයට ද ආගමානුගත කරන ලද්දකි.
මෙය මා හට එකතු කරගැනීමට හැකි වූ කරුණු කිහිපයකි. අපගේ දේව දූත මුහම්මද්තුමාණන්ටත් එතුමාගේ පවුලේ උදවියටත් එතුමාගේ සහගාමීන්ටත් අල්ලාහ්ගේ ශාන්තිය පහළ කරත්වා!
***
පටුන
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි. 2
කර්තෘගේ පෙරවදන 2
පළමු පාඩම සූරා අල්-ෆාතිහා සහ කෙටි සූරාවන් 3
දෙවන පාඩම ඉස්ලාමයේ මූලිකාංග 3
තුන්වන පාඩම: ඊමාන්හි මූලිකාංග 5
සිව්වැනි පාඩම: තව්හීද් හි කොටස් හා ෂිර්ක්හි කොටස් 5
පස්වන පාඩම: අල්-ඉහ්සාන් 13
හයවන පාඩම: සලාතයේ කොන්දේසි 13
හත්වන පාඩම: සලාතයේ මූලිකාංග 14
අටවන පාඩම: සලාතයේ අනිවාර්ය ක්‍රියා 14
නවවන පාඩම: තෂහ්හුද් (සාක්ෂියේ ප්‍රකාශ දෙක) පැහැදිලි කිරීම 15
දහවන පාඩම: සලාතයේ සුන්නත් (නබි පිළිවෙත්) 17
එකොළොස්වන පාඩම: සලාතය නිෂ්ඵල කරන ක්‍රියා. 20
දොළොස්වන පාඩම්: වුළූ (අර්ධ දෝවනයෙ)හි කොන්දේසි 21
දහතුන්වන පාඩම: වුළූහි අනිවාර්යය ක්‍රියා 22
දහ හතරවන පාඩම: වුළූ අවලංගු කරන කරුණු 22
පහළොස් වැනි පාඩම: සෑම මුස්ලිම්වරයෙකුටම අනුමත සදාචාරාත්මක කරුණු පිළිපැදීම 24
දහසය වැනි පාඩම: ඉස්ලාමීය ආචාර විධිවලට අනුකූල වීම. 24
දහහත්වන පාඩම: ෂිර්කයෙන් වැළකී සිටීම හා පාපකම්වල වර්ග 26
දහ අටවන පාඩම: මිය ගිය දේහය සූදානම් කිරීම ඒ කෙරෙහි සලාත් ඉටු කිරීම හා එය වල දැමීම 26
දෙවැන්න: ඔහු මිය ගිය බවට ස්ථීර වූ විටෙක, ඔහුගේ ඇස් දෙක වසා දමා ඔහුගේ යටි රැවුල ගැට ගැසිය යුතුය. ඒ පිළිබඳ නබි වදන්හි මෙසේ වාර්තා වී ඇත. 27
තුන්වැන්න: මිය ගිය මුස්ලිම් දේහයක් නෑවීම අනිවාර්යය වේ. නමුත් යුද පිටියේ දිවි පිදූවෙකු වී නම් හැර. ඔහුව නාවන්නේ හෝ ඔහු කෙරෙහි සලාත් ඉටු කරන්නේ හෝ නැත. එම ඇඳුමෙහිම ඔහුව වළ දමනු ලැබේ. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උහද් යුද්ධයේ දී මියගිය ඇත්තන් නාවා නැති අතර ඔවුන් කෙරෙහි සලාත් ඉටු කර ද නැති බැවිනි. 27
සිව්වැන්න: දේහය නෑවීමේ ක්‍රමය 28
පස්වැන්න: දේහය (සුදු රෙද්දෙන්) එතීම 29
හයවැනන්න: දේහය නෑවීමට, ඒ සඳහා සලාතය ඉටු කිරීමට හා එය වල දැමීමට ඉතා සුදුසු ම උදවිය: 31
සත්වැන්න: දේහයකට සලාත් ඉටු කරන ක්‍රමය 31
අටවැන්න: දේහය වල දැමීමේ ක්‍රමය 35
නව වැන්න: ජනාසා සලාතය ඉටු කිරීමට නොහැකි වූ උදවිය දේහය වැළලීමෙන් අනතුරු ව සලාත් ඉටු කිරීම සඳහා ඉස්ලාමය අනුමත කර තිබීම 37
දස වැන්න: මිනිසුන් වෙනුවෙන් ආහාර පිසීම මිය ගිය අයගේ නිවැසියන්ට යුතු කාර්යයක් නොවේ. 37
එකොළොස් වැන්න: කාන්තාවක් ඇගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් හෝ ඇය ගර්භණී තත්ත්වයක සිටියේ නම් හැර මිය ගිය කෙනෙක් වෙනුවෙන් දින තුනකට වඩා අධික කාලයක් වැලපීමට ඇයට අවසර නැත. 39
දොළොස්වැන්න: පිරිමින් එම වේලාවේ කබ්ර් ස්ථානයට යාම, අවසානයේ මිය ගිය උදවිය වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම, අල්ලාහ්ගේ කරුණාව ඔවුන් වෙනුවෙන් පැතීම, මරණය හා ඉන් පසු මුහුණ දීමට සිදු වන දෑ ගැන සිහි කැඳවීම යනාදී කරුණු ආගමානුගත කර ඇත. 39
***
ඉමාම් අහ්මද් විසින් වාර්තා කර ඇත. (5/428), අල්-කබීර්හි ඉමාම් තබරානී විසින් (4/338), අෂ්-ෂුඃබ් හි ඉමාම් බයිහකී විසින් (14/355) හා මජ්මඋස් සවාඉද් හි (1/121) ද සඳහන් කර ඇත. මෙහි වාර්තාකරුවන් සම්මත වාර්තාකරුවන් බව ඉමාම් අහ්මද් පවසා සිටියි.
මෙය ඉමාම් අහ්මද් විසින් වාර්තා කර ඇත. (1/47)
මෙය ඉමාම් අබූ දාවූද් හදීංස් අංක (3251) යටතේ හා ඉමාම් තිර්මිදි හදීස් අංක (1535) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් අබූ දාවූද් හදීංස් අංක (4980) යටතේ වාර්තා කර ඇති අතර ඉමාම් අහ්මද් ද මෙය වාර්තා කර ඇත. (5/384)
ඉමාම් ඉබ්නු මාජා හදීස් අංක (4204) යටතේ ද ඉමාම් අහ්මද් හදීස් අංක (3/30) යටතේ ද මෙය වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් තුමා හදීස් (916, 917) යන අංක යටතේ වාර්තා කර ඇත.
ඉමාම් අබූ දාවුද් විසින් හදීස් අංක (3221) යටතේ හා ඉමාම් හාකිම් විසින් හදීස් අංක (3/399) යටතේ මෙය වාර්තා කර ඇත.
ඉමාම් ඉබ්නු මාජා හදීස් අංක (1612) යටතේ ද ඉමාම් අහ්මද් හදීස් අංක (2/204) යටතේ ද මෙය වාර්තා කර ඇත.
මුස්ලිම්: 'අල්-ජනාඉස්' (976), අන්-නසාඊ : 'අල්-ජනාඉස්' (2034), අබූ දාවූද්: 'අල්-ජනාඉස්' (3234), ඉබ්නු මාජා: 'මා ජාඅ ෆිල් ජනාඉස්' (1569), අහ්මද් (2/441).
මෙය ඉබ්නු මාජා හදීස් අංක (1569) යටතේ සඳහන් කර ඇති අතර ඉමාම් අල්-අල්බානී තුමා මෙය සහීහ් හදීසයක් බව සහතික කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (975) යටතේ වාර්තා කර ඇත.
මජ්මූඃ ෆතාවා වමකාලාත් මුතනව්විආ (3/288-289)