مِنْ أَحْكَامِ الصِّيَامِ
උපවාසයේ නීතිරීතිවලින් බිඳක්
اللَّجْنَةُ العِلْمِيَّةُ
بِرِئَاسَةِ الشُّؤُونِ الدِّينِيَّةِ بِالمَسْجِدِ الحَرَامِ وَالمَسْجِدِ النَّبَوِيِّ
අධ්‍යයන කමිටුව - මස්ජිද් හරාම් හා මස්ජිද් නබවී ආශ්‍රිත ආගමික කටයුතු මූලස්ථානය
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
උපවාසයේ නීතිරීතිවලින් බිඳක්
පළමු මාතෘකාව
උපවාසයේ අර්ථය, සහ රමළාන්හි උපවාසය රැකීමේ අනිවාර්යතාවය
පළමුව: උපවාසයේ අර්ථය:
උපවාසය යනු: අල්ලාහ්ට වන්දනාමාන කිරීමක් ලෙස අලුයම උදාවේ සිට හිරු අවරට යන තෙක් උපවාසය කඩ කරන දේවලින් වැළකී සිටීමය.
දෙවැන්න: රමළාන් උපවාසය අනිවාර්ය වීම:
රමළාන් උපවාස ශීලය ඉස්ලාමයේ කුළුණු අතරින් එකක් වන අතර, ඉන් තොරව ඉස්ලාම් දහම පැවතෙන්නේ නැත. උපවාසයේ ක්‍රමය හා කාලය වෙනස් වුව ද එය සෑම ප්‍රජාවකට අනිවාර්ය වී තිබුණි. උත්තරීතරයාණන් මෙසේ පවසයි:
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ 183﴾
"අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබී ය." (අල් බකරා: 183) කුතිබ යන අරාබි වචනයේ අර්ථය නියම කරන ලද යන්නයි.
එහි අනිවාර්යතාවය පිළිබඳව අල්ලාහ්ගේ ග්‍රන්ථය, සුන්නාහ්ව සහ (ඉමාම්වරුන්ගේ) සම්මුතිය පෙන්වා දෙයි.
අල්ලාහ්ගේ ග්‍රන්ථය වන අල්කුර්ආනය: එහි උත්තරීතරයාණන්ගේ ප්‍රකාශය මෙසේය:
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ 183 أَيَّامٗا مَّعۡدُودَٰتٖ...﴾
"අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබී ය."
(එය) නියමිත දින ගණනකි. (අල් බකරා: 183-184)
දේව දූත සම්ප්‍රදාය වන සූන්නාව: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයක් මෙසේය:
«بُنِيَ الإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلَـهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَصَوْمِ رَمَضَانَ، وَحَجِّ الْبَيْتِ».
“ඉස්ලාමය කරුණු පහක් මත ගොඩනැගී ඇත. එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම හා දේව නිවස වෙත හජ් වන්දනාව දියත් කිරීම.”1.
ඉජ්මාඃ හෙවත් ඉමාම්වරුන්ගේ සම්මුතිය: එහි දී උපවාසය අනිවාර්ය බවට මුස්ලිම්වරුන් ඒකමතිකව එකඟ වී ඇති අතර, උපවාසය අනිවාර්ය බව ප්‍රතික්ෂේප කරන්නා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු වේ.
දෙවන මාතෘකාව
රමළාන් මාසයේ මහිම
මෙම උසස් මාසය වෙනත් මාස වලින් වෙන්කරන ඉමහත් විශේෂාංග හා ගුණාංගවලින් සමන්විතය. ඒවා නම්:
1) අල් කුර්ආනය පහළ වීම, උත්තරීතරයාණන් මෙසේ පවසයි:
﴿شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ...﴾
"රමළාන් මාසය වනාහි එහි අල්-කුර්ආනය පහළ කරනු ලැබී ය." (අල් බකරා: 185)
2) එහි දී ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලබයි; මක්නිසාදයත් එහි දී දැහැමි ක්‍රියාවන් බහුලව ඉටු කරනු ලබන නිසා ය.
3- මෙම මාසයේදී අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ; එය පාපකම් සිදු කිරීමේ ප්‍රවනතාව අඩු වීම නිසාය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයක ඒ ගැන මෙසේ සඳහන් වේ.
«إِذَا جَاءَ رَمَضَانُ، فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ، وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ، وَصُفِّدَتِ الشَّيَاطِينُ».
"රමළානය පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබ, නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂයිතානුන්ට විලංගු දමනු ලැබේ."2
4) එහි මහිමයන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය.
«مَا مِنْ حَسَنَةٍ يَعْمَلُهَا ابْنُ آدَمَ إِلَّا كُتِبَ لَهُ عَشْرُ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ، قَالَ اللَّهُ: إِلَّا الصِّيَامَ، فَإِنَّهُ لِي وَأَنَا أَجْزِي بِهِ، يَدَعُ شَهْوَتَهُ وَطَعَامَهُ مِنْ أَجْلِي، الصِّيَامُ جُنَّةٌ، وَلِلصَّائِمِ فَرْحَتَانِ: فَرْحَةٌ عِنْدَ فِطْرِهِ، وَفَرْحَةٌ عِنْدَ لِقَاءِ رَبِّهِ، وَلَخُلُوفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللَّهِ مِنْ رِيحِ الْمِسْكِ» .
"ආදම්ගේ පුත්‍රයා කරන කවර හෝ යහපතක් වේවා ඒ සඳහා ඔහුට කුසල් දහයේ සිට හත්සීය දක්වා ගුණ කරනු ලැබේ. අල්ලාහ් මෙසේ පවසයි: නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන් වන්නකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. ඔහු මා වෙනුවෙන් ඔහුගේ ආශාව හා ඔහුගේ ආහාරය අතහැර දමයි. උපවාසය පළිහකි. උපවාසකරුට සතුටුදායක අවස්ථා දෙකක් ඇත: උපවාසයෙන් මිදෙන අවස්ථාවේ ඇතිවන සතුට හා ඔහුගේ පරමාධිපතිව හමුවන අවස්ථාවේ ඇතිවන සතුට. උපවාසකරුගේ මුවින් හමන දුර්ගන්ධය අල්ලාහ් අබියස කස්තූරි සුවඳට වඩා සුවඳැතිය." (3)3 උපවාසයේ කුසල් ගුණ වීම නියමිත සංඛ්‍යාවකට පමණක් සීමා නොවේ.
5) උපවාසය තුළ පවතින චිත්ත පාරිශුද්ධිය වෙනත් කටයුතුවලදී පවතින චිත්ත පාරිශුද්ධියට වඩා වැඩි ය. එය නබි තුමාණන්ගේ ප්‍රකාශය සාධක කර ගනිමිනි.
«تَرَكَ شَهْوَتَهُ وَطَعَامَهُ وَشَرَابَهُ مِنْ أَجْلِي».
"ඔහු මා වෙනුවෙන් ඔහුගේ ආශාව හා ඔහුගේ ආහාරය අතහැර දමයි."4
6) උපවාසයේ නිරත වූවන් සඳහා ස්වර්ගයේ දොරටුවක් අල්ලාහ් විශේෂිත කර ඇත. එය රය්යාන් නම් වන අතර, ඔවුන් හැර වෙනත් කිසිවකු එම දොරටුවෙන් පිවිසෙන්නේ නැත.
7) උපවාසකරුගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නකි; එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුවය:
«لِلصَّائِمِ عِنْدَ فِطْرِهِ دَعْوَةٌ لَا تُرَدُّ».
උපවාසකරු උපවාසයෙන් මිදෙන විට, ඔහු සතුව ප්‍රතික්ෂේප කරනු නොලබන ප්‍රාර්ථනාවක් ඇත. (5) 5
8) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කළ තවත් ප්‍රකාශයක් මෙසේය.
«مَنْ صَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».
"කවරෙකු රමළාන් මාසයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ."6
එබැවින් මුස්ලිම්වරයා විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත විය යුතුය. එවිට ඔහු ඒ සඳහා වන ප්‍රතිඵල සහ පාප සමාව හිමි කර ගනු ඇත.
තුන්වන මාතෘකාව
රමළාන් මාසය එළඹ ඇති බවට සහතික කරන දෑ
රමළාන් මාසය ආරම්භ වීම සහතික කරනුයේ කරුණු දෙකින් එකක් මගිනි:
1) එහි නව සඳ දැකීම; නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා සිටියහ:
«إِذَا رَأَيْتُمُ الْهِلَالَ فَصُومُوا، وَإِذَا رَأَيْتُمُوهُ فَأَفْطِرُوا، فَإِنْ غُمَّ عَلَيْكُمْ فَاقْدُرُوا لَهُ».
“නුඹලා හිලාලය (මුල් සඳ) දුටු විට උපවාසයේ නිරත වන්න. එමෙන්ම නුඹලා එය දුටු විට උපවාසයෙන් මිදෙන්න. නමුත් එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම් ඒ සඳහා දින ගණන් බලන්න.”7 එතුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:
«لَا تَصُومُوا حَتَّى تَرَوُا الْهِلَالَ، وَلَا تُفْطِرُوا حَتَّى تَرَوْهُ».
“නුඹලා මුල් සඳ දකින තෙක් උපවාසයේ නිරත නොවන්න, එමෙන්ම නුඹලා එය දකින තෙක් උපවාසයෙන් නො මිදෙන්න.”8.
2) ඔවුන් නව සඳ නුදුටුවේ නම්, ෂඃබාන් මාසයේ දින ගණන තිහක් ලෙස සම්පූර්ණ කරති. එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ප්‍රකාශයක් සාධක කර ගනිමිනි. එනම්:
«الشَّهْرُ تِسْعٌ وَعِشْرُونَ لَيْلَةً، فَلَا تَصُومُوا حَتَّى تَرَوْهُ، فَإِنْ غُمَّ عَلَيْكُمْ فَأَكْمِلُوا الْعِدَّةَ ثَلَاثِينَ».
"මාසය රාත්‍රී විසි නවයකින් සමන්විත ය. එය ඔබ දකින තෙක් උපවාසයේ නිරත නොවන්න. එය වළාකුළු හේතුවෙන් වැසී ඇත්නම් දින තිහක් ලෙස ගණන් බලා සම්පූර්ණ කරන්න.9
හතරවන මාතෘකාව
උපවාසය තුළ තබන චේතනාව
සෑම ක්‍රියාවක්ම වලංගු වීම සඳහා චේතනාව අත්‍යවශ්‍ය කොන්දේසියකි. එමෙන්ම රමළාන් උපවාසය සඳහා ද රාත්යේරි දී චේතනා කර ගත යුතුය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය පාදක කර ගනිමිනි.
«مَنْ لَمْ يُبَيِّتِ الصِّيَامَ قَبْلَ الْفَجْرِ، فَلَا صِيَامَ لَهُ».
"කවරෙකු අලුයමට පෙර උපවාසයේ නිරතවන්නට අධිෂ්ඨාන නොකළේ ද ඔහුට උපවාසය වලංගු නොවේ."10
ෂයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියාහ් තුමා මෙසේ පවසා ඇත. “හෙට රමළාන් මාසයේ දිනයක් බව දැන ගෙන එහි උපවාසයේ නියැලීමට අපේක්ෂා කරන සෑම කෙනෙකුම උපවාසය සඳහා නිය්යත් හෙවත් චේතනා කර ගනියි. එය වචනයෙන් ප්‍රකාශ කළ ද එසේ නොකළ ද එක සමානය. මෙය සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ ක්‍රියාවකි. ඔවුන් සියලු දෙනා උපවාසය සඳහා නිය්යත් තබා ගනියි.”11
පස්වන මාතෘකාව
උපවාසය අනිවාර්යය වනුයේ කාටද?
මුස්ලිම්, වැඩිහිටි, බුද්ධිමත් සෑම පුද්ගලයෙකුටම උපවාසය අනිවාර්ය වේ.
එසේම ඔහු නිරෝගී පදිංචි කරුවෙක් නම්, එය ඉටු කිරීම ඔහුට අනිවාර්ය වන අතර ඔහු රෝගියෙකු නම්, එය පසුව ඉටු කිරීම ඔහුට අනිවාර්ය වේ.
ඔහු නිරෝගීව ගමනක නිරතවන අයෙකු නම්, උපවාසය රැකීම හෝ ඉන් මිදීම අතර තෝරා ගැනීමේ අවසරය ඔහුට හිමි වේ. නමුත් ඉන් මිදීම වඩාත් යෝග්‍යය.
දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරයකුට උපවාසය අනිවාර්ය නොවේ, ඔහුගෙන් එය පිළිගනු නොලැබේ. එහෙත් ඔහු එම මාසය අතරතුරේදී පශ්චාත්තාප වී ඉතිරි දිනවල උපවාසයේ නිරත වූයේ නම්, ප්‍රතික්ෂේපයෙකු ලෙස සිටි කාලය තුළ ඔහුට මඟ හැරුනු උපවාසය නැවත ඉටු කිරීම ඔහුට අනිවාර්ය වන්නේ නැත.
එමෙන්ම කුඩා ළමුන් සඳහා උපවාසය අනිවාර්ය නොවේ. නමුත් නිසි වයසට පැමිණි දරුවන්ගෙන් එය පිළිගනු ලබන අතර, ඔහුට එය අමතර ක්‍රියාවක් වනු ඇත.
උපවාසය උන්මත්තකයකුට අනිවාර්යය වන්නේ ද නැත. ඔහුගේ උන්මත්තකම අතරතුර ඔහු උපවාසයේ නිරත වුව ද, ඔහු ඒ ගැන චේතනා කර නොමැති බැවින් එය වලංගු වන්නේ නැත.
සයවන මාතෘකාව
උපවාසය අත්හැරීම සඳහා නිදහසට කරුණු ඇති උදවිය කවුද?
රමළාන් මාසයේදී උපවාසය අත්හැරීම සඳහා නිදහසට කරුණු කිහිපයක් ඇත:
1) උපවාසය රැකීමට දුෂ්කර රෝගියා, ඔහු උපවාසයෙන් මිදීම සතුටුදායකය.
2) රමළාන් මාසයේ ගමනක නිතර වන මගියා. ඔහු ගමනේ සිටිය දී හෝ මාසය අතරතුර ගමන ආරම්භ කළ තත්ත්වයේ, එම ගමනේ දුර ප්‍රමාණය කිලෝමීටර් අසූවක් හෝ ඊට වැඩි නම්.
3) ඔසප් කාන්තාව හා දරු ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය වන කාන්තාවන්ට ඔසප් සහ පශ්චාත් ප්‍රසව කාලය තුළ උපවාසයේ නිරත වීම තහනම් වේ. මේ සම්බන්ධයෙන් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය කළ ප්‍රකාශය මෙසේය: "අපට එය (ඔසප් තත්වය) හටගෙන තිබුණි. අත්හැරුණු උපවාසය පූර්ණ කිරීම සදහා අපට අණ කරනු ලැබීය. නමුත් මඟහැරුණු සලාතයන් නැවත ඉටුකිරීම සඳහා එසේ අප අණ කරනු ලැබුවේ නැත. 12
(4) සුව නොවන නිදන්ගත රෝගයකින් පෙළෙන, දිගටම උපවාසයේ නිරත විය නොහැකි අය: ඔහු උපවාසයෙන් මිදී ඒ සෑම දිනක් වෙනුවෙන්ම දුඟියෙකුට තිරිඟු හෝ එවැනි වෙනත් දෙයකින් සාඃ අඩක ප්‍රමාණයක් ආහාර සැපයිය යුතුය. ඔහු උපවාසය නැවත ඉටු කළ යුතු නැත.
5) උපවාසයේ නිරත විය නොහැකි මහලු වැඩිහිටියා: ඔහු උපවාසයෙන් මිදී, සෑම දිනක් වෙනුවෙන්ම දුඟියකුට ආහාර සපයයි. ඔහු උපවාසය නැවත ඉටු කළ යුතු නැත.
6) ගර්භණී මව හා මව්කිරි දෙන මව: ඔවුන්ගේ ජීවිතවලට හෝ ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතවලට උපවාසය නිසා හානියක් ඇතිවේ යැයි බියක් හට ගැණුනු විට, ඔවුන් උපවාසයෙන් මිදී පසුව ඒවා නැවත ඉටු කරති. ඔවුන්ගේ උපවාසය අත්හැරීමේ බිය දරුවාට පමණක් බලපාන්නේ නම්, ඔවුන් අතපසුවූ උපවාසය නැවත ඉටු කළ යුතු අතර, සෑම දිනක් සඳහාම දුඟියකුට ආහාර සැපයිය යුතුය.
හත්වන මාතෘකාව
උපවාස ශීලය අවලංගු කරන කරුණු
1- ‘අල් ජිමාඃ' හෙවත් අඹු සැමියන් ලිංගිකව හැසිරීම
රමළාන් මාසයේ දහවල් කාලයේ එසේ අඹු සැමියන් ලිංගිකව හැසිරුණේ නම්, ඔහුගේ උපවාසය අවලංගු වේ. නමුත් ඔහු එම දවසේ ඉතිරි කාලය උපවාසයේ නිරත විය යුතු අතර, ඔහු ඒ ගැන පශ්චාත්තාප වී, පාපක්ෂමාව ඉල්ලා සිටිය යුතු ය. එමෙන්ම ඔහු ලිංගිකව හැසුරුණු එම දවසේ උපවාසය නැවත ඉටු කළ යුතු අතර, ඒ සඳහා ප්‍රතිකර්මයක් ද ඉටු කළ යුතු ය. එනම්, වහල් කාන්තාවක් නිදහස් කිරීම ය. එය නොහැකි නම්, මාස දෙකක් අඛණ්ඩව උපවාසයේ නිරත විය යුතු ය. එය ද නොහැකි නම්, දිළිඳුන් 60 දෙනෙකුට ආහාර සැපයිය යුතුය. එක් දිළිඳු පුද්ගලයෙකුට තිරිඟු හෝ එවැනි දේශීය ප්‍රධාන ආහාරයෙන් සාඃ අඩක ප්‍රමාණයක් ආහාර ලෙස ලබා දිය යුතු ය.
2- සිප ගැනීම, වැළඳ ගැනීම, ස්වයං වින්දනය හෝ නැවත නැවතත් බැලීම හේතුවෙන් ශුක්‍රාණු පිටවීම:
උපවාසයේ නිරත වන්නෙකුට මෙම හේතුන් නිසා ශුක්‍රාණු ස්‍රාවය පිට වූයේ නම් ඔහුගේ උපවාසය අවලංගු වී යයි. එවිට ඔහු උපවාසය අත්හැරිය යුතු අතර එම දවසේ උපවාසය නැවත ඉටු කළ යුතු ය. නමුත් ඒ සඳහා ප්‍රතිකර්මයක් දිය යුතු නැත. එහෙත් ඔහු අල්ලාහ් වෙත පාප ක්ෂමාවේ නිරත වී, පසුතැවිලි වී, සමාව ඉල්ලා, කාමය උත්තේජනය වන දැයින් වැළකී සිටිය යුතු ය. මක් නිසා ද ඔහු නිරත වී සිටින්නේ ඉතා වැදගත් නැමදුමක වන බැවිනි.
3- හිතාමතාම ආහාර පාන ගැනීම.
4- හිජාමා හෙවත් කපින් චිකිත්සාව හෝ රුධිර පරීක්ෂණ හෝ රුධිර දන් දීම වැනි හේතුවක් මත උපවාසය රකින්නාගෙන් රුධිරය පිටතට ලබා ගැනීම.
මෙයට පදනම වන්නේ හිජාමා හෙවත් කපින් චිකිත්සාව සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකි.
«أَفْطَرَ الْحَاجِمُ وَالْمَحْجُومُ».
හිජාමා කරන්නා හා හිජාමා කරනු ලබන්නා උපවාසය කඩ කළේය."13.
ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියාහ් තුමා මෙසේ පවසා ඇත. හිජාමත් හෙවත් (කපින් චිකිත්සාව) විත් ඇදීම උපවාසය බිඳිමට හේතුවක් බව ඉදිරිපත් කෙරෙන මතය, අහ්මද් බින් හන්බල්, ඉස්හාක් බින් රාහවෙයිහ්, ඉබ්නු හුසයිමා, ඉබ්නු අල්-මුන්දීර් සහ තවත් විද්වතුන්ගේ මතයයි14.
නමුත් උපවාසකරුට චේතනාවකින් තොරව ඉබේ හටගන්නා රුධිර වහනය, එනම් නාසයෙන් ලේ ගැලීම, තුවාලයකින් ලේ පිටවීම, විදුරුමස් අතරින් ලේ ගැලීම වැනි රුධිර වහනයක දී උපවාසය ඔහුට බලපෑමක් ඇති කරන්නේ නැත.
5- වමනය:
උදරය තුළ ඇති ආහාර හෝ පානය කටින් හිතාමතාම පිටතට ගෙන ඒමයි. නමුත් ඔහුට වමනය ඇති වී එය ඔහුගේ කැමැත්තකින් තොරව පිටතට පැමිණියේ නම්, එය ඔහුගේ උපවාසය මත බලපෑමක් ඇති නොකරයි; එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයක් අනුවය.
«مَنْ ذَرَعَهُ الْقَيْءُ فَلَيْسَ عَلَيْهِ قَضَاءٌ، وَمَنْ اسْتَقَاءَ فَلْيَقْضِ».
"කවරෙකුට වමනය ඇති වූයේ ද නැවත ඉටු කිරීමක් ඔහුට නොමැත. කවරෙකු (උවමනාවෙන්ම) වමාරන්නේ ද ඔහු නැවත ඉටු කළ යුතුය."15. ذرعه යන්නෙහි තේරුම: ඔහු ඉක්මවා යෑමය.
අටවන මාතෘකාව
උපවාසයේ සතුටුදායක කරුණු
1) සහර්; අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ:
«تَسَحَّرُوا، فَإِنَّ فِي السُّحُورِ بَرَكَةً».
"ඔබලා සහර් කරනු. හේතුව සැබැවින්ම සහර් කිරීම තුළ අභිවෘද්ධිය ඇත."16.
2) ෆජ්ර් (අළුයම) උදාවන තුරු සහර් වේලාව ප්‍රමාද කිරීම.
3) හිරු බැස යාම තහවුරු වූ සැණින් උපවාසයෙන් මිදීම ඉක්මන් කිරීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:
«لَا تَـزَالُ أُمَّتِي بِخَيْرٍ، مَا أَخَّرُوا السُّحُورَ، وَعَجَّلُوا الْفِطْرَ».
“මාගේ ප්‍රජාව සහර් කල් දමන කල්තාක් සහ උවාසයෙන් මිදීම ඉක්මන් කරන කල්තාක් යහපත මතම සිටියි.”17
4) රුත්බ් (පැසුනු ඉඳි, වියළී ඉඳි බවට පත්වීමට පෙර) වලින් උපවාසයෙන් මිදීම වඩාත් සුදුසුය. එය නොලැබුනු විටෙක සාමාන්‍ය ඉඳි වලින් ද, එයත් නොමැති විටෙක ජලය පානය කිරීමෙන් උපවාසයෙන් මිදෙයි. එය අනස් (රළියල්ලාහු අන්හු) තුමාගේ ප්‍රකාශය අනුවය:
«كَانَ رَسُولُ اللَّهِ ﷺ يُفْطِرُ عَلَى رُطَبَاتٍ قَبْلَ أَنْ يُصَلِّيَ، فَإِنْ لَمْ تَكُنْ رُطَبَاتٌ، فَعَلَى تَمَرَاتٍ، فَإِنْ لَمْ تَكُنْ، حَسَا حَسَوَاتٍ مِنْ مَاءٍ».
"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතය ඉටු කිරීමට පෙර පැසුනු රට ඉඳි කීපයක් ගෙන උපවාසයෙන් මිදුණහ. එවන් ඉඳි නොතිබුණහොත්, සාමාන්‍ය ඉඳි කීපයකින් උපවාසය මිදුණහ. එවන් රට ඉඳි නොතිබුණහොත්, ජල උගුරු කිහිපයකින් උපවාසය මිදුණහ."18
5) උපවාස රකින අයෙකු තම උපවාසය අවසන් කරන අවස්ථාවේ තමන් කැමති ප්‍රාර්ථනාවක නිරත වීම සතුටුදායක ය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ.
«إِنَّ لِلصَّائِمِ عِنْدَ فِطْرِهِ دَعْوَةً لَا تُرَدُّ».
උපවාසකරුට උපවාසය මිදෙන අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරනු නොලබන ප්‍රාර්ථනාවක් ඇත."19
6) විවිධ ආකාරයේ වන්දනාමානවල නිරත වීම; අල් කුර්ආනය කියවීම, අල්ලාහ් මෙනෙහි කිරීම, කියාමුල් ලෙයිල් හෙවත් රාත්‍රි යාච්ඤාව, තරාවීහ් යාච්ඤාව, අනිවාර්ය සලාතයන් සමඟ බැඳුණු සුන්නත් සලාතයන්,
සදකා හෙවත් පරිත්‍යාග, යහපත් කටයුතුවල වියදම් කිරීම යනාදිය මෙනි. මන්ද යහකම් අයහකම් පහකර දමනු ඇත.
නවවන මාතෘකාව
ඇතැම් වැදගත් කරුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් හා උපදෙස්
උපවසාය රකින්නා බොරු පැවසීම, කේළාම් කිරීම දොස් නැගීම වැනි දැයින් වැළකී සිටිය යුතු අතර කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහුට දොස් නැගුවේ නම් හෝ ඔහු ‘මම උපවාසයේ නිරතව සිටිමි’ යැයි පැවසිය යුතුය.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ.:
«الصِّيَامُ جُنَّةٌ، فَلَا يَرْفُثْ وَلَا يَجْهَلْ، وَإِنِ امْرُؤٌ قَاتَلَهُ أَوْ شَاتَمَهُ، فَلْيَقُلْ: إِنِّي صَائِمٌ، إِنِّي صَائِمٌ».
“උපවාසය පලිහකි. එබැවින් අසභ්‍ය ලෙස නොහැසිරිය යුතුය. අඥාන ලෙස කටයුතු නොකළ යුතුය. කිසිවකු ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි දෙවරක් පැවසිය යුතුයි.”20.
උපවාසයේ නිරත ව සිටින අයෙකුට වළක්වා ඇති තවත් කරුණක් නම්: කට කලත්වා පිරිසිදු කිරීම හා නාසයට ජලය ගලා යන්නට සලස්වා පිරිසිදු කිරීමය. මක්නිසාදයත් ඇතැම් විට ජලය ඔහුගේ උදරයට ගමන් කළ හැකි බැවිනි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:
«وَبَالِغْ فِي الِاسْتِنْشَاقِ إِلَّا أَنْ تَكُونَ صَائِمًا».
කට පිරිසිදු කිරීමෙහි දී හොඳින් කලත්වා සෝදා හරින්න. නමුත් ඔහු උපවාසයේ නිරත වී සිටින්නෙකු නම් හැර."21.
දත් මැදීම උපවාසයට බලපාන්නේ නැත. එය උපවාසකරුට හා අනෙකුත් අයට දහවල ආරම්භයේ වුව ද අවසානයේ වුව ද සතුටු දායකය සහ ප්‍රශංසිතය.
දහවන මාතෘකාව
අතපසු වූ රමළාන් උපවාසය නැවත ඉටු කිරීම
රමළාන් මාසයේ -උපවාසය බිඳ දැමීමට අවසර හිමි නීත්‍යනුකූල නිදහසට කරුණු වැනි- අවසර ලත් හේතුවක් නිසා හෝ ලිංගික සංසර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් තම උපවාසය අවලංගු කරන කෙනෙකු වැනි තහනම් හේතුවක් නිසා කවුරුන් හෝ උපවාසය බිඳ දැමුවහොත් ඔහුට නැවත වරක් උපවාසයේ නියැලීම අනිවාර්ය වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත;
﴿...فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَ...﴾
(වෙනත් දින ගණන් ගණනය කිිරීමෙන්) (අල්-බකරා: 184) වගකීමෙන් නිදහස් වනු පිණිස අතපසු වූ වගකීම් ඉටු කිරීම සඳහා ඔහු යුහුසුළු වීම සතුටුදායකය. එමෙන්ම එමග අතපසු වූ වගකීම එකිනෙකට පරව අඛණ්ඩව සිදු කිරීම ද සතුටුදායකය. මක් නිසා ද යත්වගකීමෙන් නිදහස් වනු පිණිස අතපසු වූ වගකීම් ඉටු කිරීම සඳහා ඔහු යුහුසුළු වීම සතුටුදායකය. එමෙන් ම අතපසු වූ වගකීම එකිනෙකට පරව අඛණ්ඩව සිදු කිරීම ද සතුටුදායකය. මක් නිසා ද යත් නැවත ඉටු කිරීම ක්ෂණිකව ඉටු කිරීමට සමාන වන බැවිනි. එහි කාලය පුළුල්ව ඇති බැවින් එය ප්‍රමාද කිරීමට ද ඔහුට හැකිය.
එසේම ඒවා වෙන් වෙන්ව ඉටු කිරීමේ අවසරය ද ඔහුට ඇත. නමුත් ෂඃබාන් මාසයෙන් ඉතිරිව ඇති කාලය ඔහුට එම වගකීම ඉටු කළ යුතු කාලයට සමාන කාලයක් නම්, කාලය සීමිත බැවින් ඒවා අඛණ්ඩව ඉටු කිරීම අනිවාර්ය වේ. හේතුවක් නොමැතිව මීළඟ රමළාන් මාසය පසු කරමින් ඒවා ප්‍රමාද කිරීමට අවසර නැත.
යමෙකු දෙවන රමළානයෙන් පසු උපවාසය නැවත ඉටු කිරීම ප්‍රමාද කළහොත්, ඔහුට තත්ත්ව දෙකක් ඇත:
ආගමික හේතුවක් මත ප්‍රමාද කිරීම. උදාහරණයක් ලෙස: රෝගීභාවය දෙවන රමළානය දක්වා දිගටම පවතින්නේ නම්, නැවත ඉටු කිරීම පමණක් ඔහුට නියම වන්නේය.
කිසිදු නිදහසට හේතුවක් නොමැතිව එය ප්‍රමාද කිරීම වනාහි: එවිට ඔහු කෙරෙහි කළා හෙවත් නැවත ඉටු කිරීමත් සමඟ සෑම දිනක් වෙනුවෙන්ම දුඟියකුට ආහාර සැපයීම නියම වන්නේය. එනම් රටේ ප්‍රධාන ආහාරයෙන් සාඃ නම් ඒකකයෙන් අඩක් ආහාර වශයෙන් නිකුත් කිරීම වේ.
අතපසු වූ උපවාසයන් ඉටු කිරීමේ වගකීම් ඇති අයගේ අතිරේක උපවාසයන් හි නීතිය: අතිරේක උපවාසවල නිරත වීමට පෙර රමළාන් මාසයේ අතපසු වූ උපවාස ගණන ඉටු කිරීම සඳහා යුහුසුළු වීම වඩාත් උතුම්ය. එහෙත්, ආෂූරා සහ අරෆා දින උපවාසය මෙන් නිශ්චිත කාලයකට අදාල අතිරේක උපවාසයක් නම්, කළා කිරීමට පෙර ඒ් අතිරේක උපවාස වල නිරත විය හැකි ය. මන් ද එහි කාලය පුළුල්ව ඇති බැවිනි. එහෙත් ආෂූරා හෝ අරෆා හි කාලය එසේ නොවේ. එය නිශ්චිත කාලයට පසු අතපසු වනු ඇත. එනමුත්, ෂව්වාල් මාසයේ දින හය උපවාසය ගත් කළ, අතපසු වූ උපවාසයන් ඉටු කිරීමෙන් පසු පමණක් කළ යුතුය.
මෙය මා හට එකතු කරගැනීමට හැකි වූ කරුණු කිහිපයකි. අපගේ නබි මුහම්මද් තුමාණන් හා එතුමාගේ පවුලේ උදවිය මෙන්ම හිතමිතුරන් හට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදාන උදා වේවා!
***
පටුන
පළමු මාතෘකාව 2
උපවාසයේ අර්ථය, සහ රමළාන්හි උපවාසය රැකීමේ අනිවාර්යතාවය. 2
දෙවන මාතෘකාව 4
රමළාන් මාසයේ මහිම 4
තුන්වන මාතෘකාව 8
රමළාන් මාසය එළඹ ඇති බවට සහතික කරන දෑ 8
හතරවන මාතෘකාව 9
උපවාසය තුළ තබන චේතනාව 9
පස්වන මාතෘකාව 10
උපවාසය අනිවාර්යය වනුයේ කාටද? 10
සයවන මාතෘකාව 12
උපවාසය අත්හැරීම සඳහා නිදහසට කරුණු ඇති උදවිය කවුද? 12
හත්වන මාතෘකාව 13
උපවාස ශීලය අවලංගු කරන කරුණු 14
අටවන මාතෘකාව 17
උපවාසයේ සතුටුදායක කරුණු 17
නවවන මාතෘකාව 19
ඇතැම් වැදගත් කරුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් හා උපදෙස් 19
දහවන මාතෘකාව 21
අතපසු වූ රමළාන් උපවාසය නැවත ඉටු කිරීම 21
***
si419v1.0 - 17/02/2026
බුහාරි හා මුස්ලිම්හි සඳහන් වාර්තාවකි. මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 1898 (3/25) යටතේ ද ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 1079 (2/758) යටතේ ද වාර්තා කර ඇත.
මෙය ඉමාම් අන්-නසාඊ තුමා විසින් 'අල්-කුබ්රා'හි හදීස් අංක 2536 (3/131) යටතේ වාර්තා කර ඇත.
පෙර මූලාශ්‍රය බලන්න.
මෙය ඉබ්නු මාජා තුමා විසින් හදීස් අංක 1753 (1/775) යටතේ වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම්හි සඳහන් වාර්තාවකි. මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 38 (1/16) යටතේ ද ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 760 (1/523) යටතේ ද වාර්තා කර ඇත.
මෙය ඉමාම් අහ්මද් විසින් ‘අල්-මුස්නද්’ හි හදීස් අංක 6323 (10/402) ද, අන්නසාඊ විසින් ‘අල්-කුබ්රා’ හි හදීස් අංක 2446 (3/102) ද වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම්හි සඳහන් වාර්තාවකි. මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 1906 (3/27) යටතේ ද ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 1080 (2/759) යටතේ ද වාර්තා කර ඇත.
ඒකාබද්ධව වාර්තා කරන ලද හදීසයකි. මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 1907 (3/27) යටතේ ද ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 1081 (2/762) යටතේ ද වාර්තා කර ඇත.
මෙය ඉමාම් නසාඊ තුමා 'අල් කුබ්රා' හි හදීස් අංක 2652 (3/170) යටතේ වාර්තා කර ඇත.
අල් ෆතාවා අල් කුබ්රා (2/469).
මෙය මුස්ලිම් තුමා සිය සහීහ් ග්‍රන්ථයේ හදීස් අංක 335 (1/265) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් බුහාරි තුමා විසින් හදීස් අංක 1937 (3/33) යටතේ ද අහ්මද් තුමා එතුමාගේ 'මුස්නද්'හි හදීස් අංක 26217 (43/278) යටතේ ද මෙය වාර්තා කර ඇත.
මජ්මූඃ අල්-ෆතාවා (25/252)
මෙය ඉමාම් අහ්මද් තුමා විසින් ‘අල් මුස්නද්’ හි හදීස් අංක 10463 (16/283) යටතේ ද, තිර්මිදි තුමා විසින් ‘අල් ජාමිඋ අල්ක-බීර්’ හි හදීස් අංක 720 (2/91) යටතේ ද වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කළ හදීසයකි. බුහාරි තුමා හදීස් අංක 1923 (3/29) යටතේ ද මුස්ලිම් තුමා හදීස් අංක 1095 (2/770) යටතේ ද මෙය වාර්තා කර ඇත.
මෙය අහ්මද් තුමාගේ 'මුස්නද්' කෘතියෙහි හදීස් අංක 12507 (35/399) යටතේ වාර්තා කර ඇත.
අබූ දාවුද් තුමා විසින් හදීස් අංක 2356 (2/306) යටතේ මෙය වාර්තා කර ඇත.
මෙය ඉමාම් ඉබ්නු මාජා විසින් හදීස් අංක 1753 (1/775) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 1894 (3/24) යටතේ වාර්තා කර ඇත.
අබූ දාවුද් හදීස් අංක 2366 (2/308) සහ තිර්මිදි 'අල්ජාමිඃ අල්කබීර්' හදීස් අංක 788 (2/147) යටතේ මෙය වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම්හි සඳහන් වාර්තාවකි. ඉමාම් බුහාරි තුමා හදීස් අංක 8 (1/11) යටතේ හා ඉමාම් මුස්ලිම් තුමා හදීස් අංක 16 (1/34) යටතේ වාර්තා කර ඇත.