كَيْفِيَّةُ صَلَاةِ النَّبِيِّ
නබිතුමාණන් සලාත් ඉටු කළ ක්‍රමය
لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ رَحِمَهُ اللهُ
ගරු අෂ් ෂෙයික්
අබ්දුල් අzසීස් ඉබ්නු අබ්දුල්ලාහ් බින් බාzස්
පෙරවදන
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්...
සියලු ප්‍රශංසා ඒකීය වූ අල්ලාහ් සතු ය. ශාන්තිය හා සමාදානය උතුමාණන්ගේ ගැති, උතුමාණන්ගේ දූත, අපගේ නබි මුහම්මද්තුමාණන් කෙරෙහි ද ඔහුගේ පවුලේ ඥාතීන් හා හිතමිතුරන් කෙරෙහි ද අත් වේවා! මෙම ප්‍රකාශයෙන් පසු:
මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, සලාත් ඉටු කළ ක්‍රමය පිළිබඳ විස්තර කරන කෙටි ලිපියකි. මේ ගැන සොයන සෑම කෙනෙකු ම එතුමාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට වෙර දරනු පිණිස, එය සෑම මුස්ලිම් පුරුෂයෙකුට ම සහ කාන්තාවකට ම ඉදිරිපත් කිරීමට මම අපේක්ෂා කළෙමි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පහත සඳහන් ප්‍රකාශය පදනම් කර ගනිමිනි.
ﵟصَلُّوا كما رَأَيْتُمُونِي أُصَلِّيﵞ
“මා සලාතය ඉටු කරනු ඔබලා දුටු සේ ඔබලා ද සලාතය ඉටු කරන්න”1
පාඨකයාට ඒ ගැන පැහැදිලි කිරීම
1- වුළූ ධෝවනය සම්පූර්ණ කිරීම, එනම් අල්ලාහ් නියම කළ පරිදි උත්තරීතර සුවිශුද්ධ ඔහුගේ ප්‍රකාශය ක්‍රියාවට නංවමින් වුළූ ගැනීම ය.
ﵟ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا قُمۡتُمۡ إِلَى ٱلصَّلَوٰةِ فَٱغۡسِلُواْ وُجُوهَكُمۡ وَأَيۡدِيَكُمۡ إِلَى ٱلۡمَرَافِقِ وَٱمۡسَحُواْ بِرُءُوسِكُمۡ وَأَرۡجُلَكُمۡ إِلَى ٱلۡكَعۡبَيۡنِۚ... ﵞ [المائدة:6]
“අහෝ විශ්වාස කළවුනි, නුඹලා සලාතයට සූදානම් වූ විට නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් වැළමිට දක්වා ද සෝදා ගනු. තව ද නුඹලාගේ හිස් (ජලයෙන්) පිරිමදිනු. තව ද නුඹලාගේ පාද ද වළලුකර දක්වා සෝදා ගනු.”2
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර ඇත්තාහ.
ﵟلا تُقْبَلُ صَلاةٌ بغيرِ طُهُورٍﵞ
“පිරිසිදුකමින් තොර ව ඉටු කරන සලාතය පිළිගනු නොලැබේ.”3
තම සලාතය නිවැරදි ව ඉටු නොකළ අය හට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර ඇත්තාහ.
ﵟإِذَا قُمْتَ إِلَى الصَّلَاةِ فَأَسْبِغِ الْوُضُوءَﵞ
“ඔබ සලාතය සඳහා නැගී සිටි විට වුළූ ධෝවනය සම්පූර්ණ කරන්න.”4
2- සලාත් ඉටු කරන්නා කිබ්ලා දෙසට මුහුණ ලා සිටියි. එය කඃබාව වේ. ඔහු කොතැනක සිටියත් සිය අනිවාර්යය හෝ සුන්නා සලාතය චේතනා කරමින් ඒ දෙසට හැරෙයි. එහි දී චේතනාව මුවින් පැවසිය යුතු නැත. මුවින් එය පැවසීම ආගමානුකූල කරන ලද්දක් ද නොවේ. මක් නිසා ද යත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හෝ එතුමාණන්ගේ සහාබාවරුන් හෝ එසේ චේතනාව මුවින් පවසා නැති බැවිනි. එමෙන් ම සලාතය මෙහෙයවන ඉමාම් හෝ වේවා තනි ව ඉටු කරන්නෙක් හෝ වේවා ඔහුට ඉදිරියෙන් බාධකයක් තබා ගනී. සලාතයේ දී කිබ්ලා දෙසට හැරීම එක් කොන්දේසියකි. එහෙත් විද්වතුන්ගේ පොත්පත්වල විග්‍රහ කර ඇති ව්‍යතිරේක කරුණුවල හැර.
3- තමන් සුජූද් කරන ස්ථානය වෙත බැල්ම යොමු කරමින් “අල්ලාහු අක්බර්” (අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය) යැයි පැවසීම.
4- තක්බීර් පවසන අවස්ථාවේ තමන්ගේ උරහිස් දෙකට සමාන්තර ව හෝ තම කන් පෙති දෙකට සමාන්තර ව හෝ අත් දෙක එසවීම.
5- තම පපුව මත අත් දෙක තැබීම. එවිට තම දකුණු අත, වම් අතේ පිට අල්ල මත හෝ මැණික් කටුව මත හෝ පෙර බාහුව (අතේ ඉදිරිපස කොටස) මත තැබිය යුතු ය. මන්ද, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එසේ සිදු කළ බවට තහවුරු වූ සාධක පවතින බැවිනි.
6-“දුආඋල් ඉස්තිෆ්තාහ්” හෙවත් ප්‍රාරම්භක ප්‍රාර්ථනාව උසුරීම සුන්නාවකි. එනම්:
ﵟاللَّهُمَّ بَاعِدْ بَيْنِي وبيْنَ خَطَايَايَ كما بَاعَدْتَ بيْنَ المَشرِقِ والمَغْرِبِ اللَّهُمَّ نَقِّنِي مِنَ الخَطَايَا كما يُنَقَّى الثَّوْبُ الأبْيَضُ مِنَ الدَّنَسِ اللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بالمَاءِ والثَّلْجِ والبَرَدِﵞ
“අල්ලාහුම්ම බාඉද් බයිනී ව බයින කතායාය කමා බාඅද්ත බයිනල් මශ්රිකි වල් මග්රිබ්. අල්ලාහුම්ම නක්කිනී මිනල් කතායා කමා යුනක්කස් සව්බුල් අබ්යලු මිනද් දනස්, අල්ලාහුම්මග්සිල් නී මින් කතායාය බිස්සල්ජි වල්මාඉ වල්බරද් ”
තේරුම: (අහෝ දෙවිඳුනි, නැගෙනහිර බටහිරින් ඔබ වෙන් කළාක් මෙන්, මාගේ පාපයන්ගෙන් මා වෙන් කරනු මැනව! අහෝ දෙවිඳුනි, සුදු වස්ත්‍රයක් කිලිටිබවින් පිරිසිදු වන්නාක් මෙන් මාගේ පාපයන්ගෙන් මා පිරිසිදු කරනු මැනව! අහෝ දෙවිඳුනි, ජලයෙන්, හිමෙන් සහ හිම කැටෙන් මාගේ පාපයන් සෝදා හරිනු මැනව!)5
ඔහු කැමති නම් ඒ වෙනුවට මෙය ද පැවසිය හැක:
ﵟسُبْحَانَكَ اللَّهُمَّ وبِحَمْدِكَ وَتَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ ولَا إلَهَ غَيْرُكَﵞ
“සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලාඉලාහ ගයිරුක.”6
තේරුම:(අහෝ දෙවිඳුනි, ඔබට උපහාර දක්වන අතර ම සුවිශුද්ධ ද කරමි. ඔබේ නාමය සමෘධිමත් ය. ඔබේ කීර්තිය උත්තරීතර ය. නැමදුම් ලැබීමට සුදුස්සා ඔබ හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත.)
මෙම ප්‍රාර්ථනාවන් දෙක හැර ප්‍රාරම්භක ප්‍රාර්ථනාවට අදාළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව තහවුරු කරන ලද අනෙකුත් ප්‍රාර්ථනාවන් තිබේ නම් ඒවා පාරායනය කිරීම වරදක් නැත. වඩාත් උතුම් වන්නේ විටෙක එකක් ද තවත් විටෙක තවත් ප්‍රාර්ථනාවක් ද උසුරීම ය. ඊට හේතුව එය නබි පිළිවෙත පිළිපැදීමේ දී වඩාත් පූර්ණවත් ක්‍රියාවක් වන බැවිනි. පසු ව:
ﵟ أعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ، بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمﵞ
යැයි පවසා සූරතුල් ෆාතිහාව පාරායනය කළ යුතු යි. ඒ ගැන එතුමාණෝ මෙසේ පවසා සිටියහ:
ﵟلَا صَلَاةَ لِمَن لَمْ يَقْرَأْ بفَاتِحَةِ الكِتَابِﵞ
“කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”7
ඉන් පසු ව ආමීන් යැයි පවසයි. උස් හඬින් පාරායනය කළ යුතු සලාතයේ උස් හඬින් ද, නිහඬ ව පාරායනය කළ යුතු සලාතයේ පහත් හඬින් ද එය පැවසිය යුතු ය. පසු ව අල් කුර්ආනයෙන් පහසු පාඨ කිහිපයක් පාරායනය කරයි. වඩාත් උතුම් වන්නේ ළුහර් අසර් හා ඉෂා යන සලාතයන්හි සූරා අල් ෆාතිහාවට පසු කෙටි ව හා මධ්‍යස්ථ ව පාරායනය කිරීම, ෆජ්ර් සලාතයේ දීර්ඝ ව පාරායනය කිරීම හා මග්රිබ්හි විටෙක දීර්ඝ ව හා තවත් විටෙක කෙටියෙන් පාරායනය කිරීම ය. එය ඒ සම්බන්ධ ව සඳහන් ව ඇති හදීස් ක්‍රියාවට නංවමිනි.
7- 'අල්ලාහු අක්බර්' යැයි තක්බීර් පවසා දෑත් තම උරහිස් දෙකට හෝ කන් දෙකට සමාන්තර ව ඔසවා, ඔහුගේ කොන්දට සමාන්තර ව තිරස් ව හිස ද තබා, ඔහුගේ අත් දෙක ඔහුගේ දණහිස් දෙක මත ඇඟිලි වෙන්කරමින් තබා ගනියි. ඔහුගේ රුකූහි ඔහු සන්සුන් ව සිටිමින් එහි දී;
ﵟسُبْحَانَ رَبِّيَ العَظِيمﵞ
'සුබ්හාන රබ්බියල් අළීම්' යැයි පවසයි: වඩාත් උතුම් වන්නේ එය තුන් වරක් හෝ ඊට වැඩි වාරයක් පවසා සිටීම ය. ඒ සමග පහත සඳහන් දෑ පාරායනය කිරීම ද සතුටුදායක ය.
ﵟ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِيﵞ
“සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික, අල්ලාහුම්මග් ෆිර්ලී”
තේරුම:“අහෝ දෙවිඳුනි, ඔබේ ප්‍රශංසාවෙන් ඔබ සුවිශුද්ධ ය. අහෝ දෙවිඳුනි, මට සමාව දෙනු මැනව!”8
8- රුකූ ඉරියව්වේ සිට තම අත් දෙක තම උරහිස් දෙකට හෝ තම කන් දෙකට සමාන්තර ව ඔසවා ගනිමින් පහත සඳහන් පරිදි පවසයි.
ﵟسَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُﵞ
‘සමිඅල්ලාහු ලිමන් හමිදා’ (අල්ලාහ් තමන් ව පැසසූ අයට සවන් දුනි.) ඔහු ඉමාම් ලෙස හෝ තනි ව සලාත් ඉටු කරන්නෙක් නම්, ඔහු නැගිටින අවස්ථාවේ මෙසේ පවසයි:
ﵟرَبَّنَا ولَكَ الحَمْدُ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ مِلْءَ السَّمَواتِ ومِلْءَ الأرضِ ومِلْءَ ما شِئتَ مِن شيءٍ بَعدُﵞ
“රබ්බනා වලකල් හම්ද්, හම්දන් කසීරන් තය්යිබන් මුබාරකන් ෆීහ්, මිල්අස්සමාවාති වමිල්අල් අර්ළි, වමිල්අ මා ෂිඃත මින් ෂයිඉන් බඃද්” 9
තේරුම: අහෝ අපගේ පරමාධිපතියාණනි, අහස් පිරෙන තරමට, පොළොව පිරෙන තරමට, ඉන් පසු ඇති දැයින් ඔබ කැමති දෑ පිරෙන තරමට සමෘද්ධියෙන් පිරුණු යහපත් ප්‍රශංසාවන් බහුල ලෙස ඔබ සතු ය.
ඔහු මඃමූම්වරයෙක් නම්, ඔහු නැගිට ඉහළට පැමිණෙන අවස්ථාවේ රබ්බනා වලකල් හම්දු යනුවෙන් ආරම්භ කර ඉහත සඳහන් පරිදි එහි අවසානය දක්වා පවසයි. ඔවුන් සෑම කෙනෙක් ම -එනම් ඉමාම් මඃමූම් හා තනි ව ඉටු කරන්නා- පහත සඳහන් පරිදි අමතර ව යමක් ගෙන ආවේ නම්,
ﵟأهْلَ الثَّنَاءِ والْمجْدِ أحَقُّ ما قالَ العَبْدُ وكُلُّنَا لكَ عَبْدٌ: اللَّهُمَّ لا مَانِعَ لِما أعْطَيْتَ ولَا مُعْطِيَ لِما مَنَعْتَ ولَا يَنْفَعُ ذَا الجَدِّ مِنْكَ الجَدُّﵞ
“අහ්ලස් සනාඉ වල්මජ්දි අහක්කු මා කාලල් අබ්ද්, වකුල්ලුනා ලක අබ්ද්, අල්ලාහුම්ම ලාමානිඅ ලිමා අඃතයිත වලා මුඃතිය ලිමා මනඃත වලා යන්ෆඋ දල්ජද්දි මින්කල් ජද්” 10
තේරුම: (අහෝ කීර්තිය හා ප්‍රශංසාවට හිමිකම් ඇති ඔබ, (ඔබේ) ගැත්තන් (වන අප සියලු දෙනා) පැවසීමට සුදුසු දේ මෙය යි. අප සියලු දෙනා ඔබට ගැත්තෝ වන්නෙමු. අහෝ දෙවිඳුනි, ඔබ දුන් දෙයක් වැළැක්වීමට කිසිවෙකුටත් නොහැක. ඔබ (නොදී) වැළකූ දෙයක් ලබා දීමට කිසිවෙකුටත් නොහැක. (ඔබේ දඬුවමින් මිදීමට) ධනය හෝ මහිමය කිසිවෙකුටත් ප්‍රයෝජනවත් වන්නේ නැත.)
මේ ගැන තවහුරු වී ඇති බැවින් එසේ ප්‍රාර්ථනා කිරීම යහපත් වේ.
ඉමාම්, මඃමූම් හා තනි ව සලාතය ඉටු කරන්නා යන සෑම කෙනෙකු ම රුකූ ඉරියව්වට පැමිණීමට පෙර “කියාම්” ඉරියව්වේ දී ඔහු කලින් කටයුතු කළ ආකාරයට ඔහුගේ අත් දෙක ඔහුගේ පපුව මත තබා ගැනීම සතුටුදායක වේ. මක් නිසා ද යත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එසේ සිදු කර ඇති බවට වාඉල් ඉබ්නු හුජ්ර් සහ සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කළ හදීසයක් සඳහන් ව ඇති බැවිනි.
9- 'අල්ලාහු අක්බර්' යැයි තක්බීර් පවසමින් පහසු නම්, තම දණහිස් දෙක තම අත් දෙකට පෙර පොළව මත තබා සුජූද් කරයි. ඔහුට එය අපහසු නම් දණහිස් දෙකට පෙර තම අත් දෙක පොළව මත තබා සුජූද් කරයි. එහි දී තම පාද හා අත් ඇඟිලි කිබ්ලා දෙසට දිගු කර එහි ඇඟිළි ළං කර තබා ගනියි. සුජූදය අවයව හතක් මත සිදු කළ යුතු ය. එනම් නාසය සමග නළල, අත් දෙක, පාද දෙක, පාද ඇඟිලිවල යටි පැත්ත ය. එහි ඔහු:
ﵟ سُبْحَانَ رَبِّيَ الأَعْلَى ﵞ
“සුබ්හාන රබ්බියල් අඃලා” (උත්තරීතර මාගේ පරමාධිපති සුවිශුද්ධ ය) යැයි පවසයි. එය තුන් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් පැවසීම සුන්නාහ් වේ. ඒ සමග පහත සඳහන් පරිදි පැවසීම ද සතුටුදායක ය.
ﵟ سُبْحانَكَ اللَّهُمَّ رَبَّنا وبِحَمْدِكَ اللَّهُمَّ اغْفِرْ لِي ﵞ
“සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මඝ් ෆිර්ලී”
තේරුම: (අපගේ පරමාධිපතියාණනි, ඔබේ ප්‍රශංසාව මඟින් ඔබ සුවිශුද්ධ ය. අහෝ දෙවිඳුනි, මට සමාව දෙනු මැනව!)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුව එතුමා සුජූද්හි අධික ලෙස ප්‍රාර්ථනාවන්හි නිරත වෙයි.
ﵟ أَمَّا الرُّكُوعُ فَعَظِّمُوا فِيهِ الرَّبَّ وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِي الدُّعَاءِ فَقَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ ﵞ
“රුකූ වනාහි, නුඹලා එහි කීර්තිමත් සර්ව බලධාරී පරමාධිපතියාණන් හට ගරුබුහුමන් කරනු. එමෙන් ම සුජූද් වනාහි, එහි නුඹලා ප්‍රාර්ථනාවෙහි කැපවීමෙන් නිරත වනු. (නුඹලාගේ ප්‍රාර්ථනා උදෙසා) නුඹලා පිළිතුරු ලබන්නට එය වඩාත් උචිත ය.”11
තව ද මෙලොව හා මතුලොව යහපත ඔහුගේ පරමාධිපතියාණන්ගෙන් ඉල්ලා සිටියි. සලාතය අනිවාර්යය වූවක් හෝ අතිරේක වූවක් හෝ වේවා එක සමාන ය. ඔහුගේ අත් දෙක ඔහුගේ ඇල පැති දෙකින් ද, ඔහුගේ උදරය ඔහුගේ කලවා දෙකින් ද, ඔහුගේ කලවා දෙක ඔහුගේ කෙණ්ඩයෙන් ද දුරස් ව තබා ගනී. ඔහුගේ අත් දෙක පොළොවෙන් ඔසවා තබා ගනී. එය එසේ වන්නේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුව ය.
ﵟ اعْتَدِلُوا فِي السُّجُودِ ولَا يَبْسُطْ أحَدُكُمْ ذِرَاعَيْهِ انْبِسَاطَ الكَلْبِ ﵞ
“නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම බාහු දෙක දිගු නොකළ යුතු ය.”12
10- “අල්ලාහු අක්බර්” යැයි තක්බීර් පවසමින් ඔහුගේ හිස ඔසවා ගනියි. ඔහුගේ වම් පාදය බිම නිදි කරවා ඒ මත වාඩි වෙයි. ඔහුගේ දකුණු පාදය සිටුවා තබා ගනියි. ඔහුගේ අත් දෙක කලවා මත ඔහුගේ දණහිස ප්‍රදේශයේ තබා ගනියි. පසු ව මෙසේ පවසයි:
ﵟ رَبِّ اغْفِرْ لِي وَارْحَمْنِي وَاهْدِني وَارْزُقْني وَعَافِنِي وَاجْبُرْنِي ﵞ
“රබ්බිග්ෆිර්ලී වර්හම්නී වහ්දිනී වර්zසුක්නී වආෆිනී වජ්බුර්නී”
තේරුම: (අහෝ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට යහමග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් ලබා දෙනු මැනව! මට සුවය හා සෞභාග්‍ය දෙනු මැනව! මගේ අඩුපාඩු නිවැරදි කර දෙනු මැනව!)13
ඉඳුමෙහි මද වේලාවක් තැන්පත් ව රැඳී සිටිය යුතු යි.
11- “අල්ලාහු අක්බර්” යැයි තක්බීර් පවසමින් දෙවන සුජූදය ඉටු කරයි. පළමු සුජූදයෙහි කටයුතු කළ ආකාරයෙන් ම එහි ද කටයුතු කරයි.
12- තක්බීර් පවසමින් හිස ඔසවා ගෙන සජදා දෙක අතර වාඩි වන සේ සුළු ඉඳුමක් වාඩි වෙයි. එයට 'ජල්සා ඉස්තිරාහා' (විවේකයේ ඉඳුම) යනුවෙන් පවසනු ලැබේ. එය සතුටුදායක ක්‍රියාවකි. එය අත්හැර දැමුවේ නම්, ඔහුට වරදක් නැත. එහි කිසිදු ප්‍රාර්ථනාවක් හෝ දික්රයක් හෝ නැත. පසු ව දෙවන රකආතය සඳහා පහසුකමක් ඇතොත් තම දණහිස් දෙක මතට බර වී නැගිටියි. එය ඔහුට අසීරු වූයේ නම්, පොළොවට බර වී නැගිටියි. පසු ව සූරා අල්-ෆාතිහාව හා එයට පසු තමන්ට පහසු කුර්ආනයෙන් කොටසක් පාරායනය කරයි. පළමු රකආතයේ කටයුතු කළ ආකාරයෙන් ම මෙහි ද ඔහු කටයුතු කරයි.
13- ඉටු කරනු ලබන සලාතය ෆජ්ර්, ජුමුආ හා අවුරුදු සලාත් දෙක වැනි රකආත් දෙකකින් සමන්විත සලාතයක් නම්, දෙවන සජදාවෙන් නැගිට තම දකුණු පාදය සිටුවා තබමින් තම වම් පාදය මත වාඩි වෙයි. ඔහුගේ දකුණු අත ඔහුගේ දකුණු කලවා මත තබයි. එහි දී දබර ඇඟිල්ල හැර සෙසු සියලු ඇඟිලි මොළවා ගනිමින් තබයි. දබර ඇඟිල්ල අල්ලාහ්ගේ ඒකීයභාවය හඟවන පරිදි තබා ගත යුතු යි. එමෙන් ම සුළැඟිල්ල හා වෙදැඟිල්ල මොළවාගෙන මහපට ඇඟිල්ල හා මැදැඟිල්ල එකතු කර කවයක හැඩයක් නිර්මාණය කර දබර ඇඟිල්ලෙන් සංඥා කරන්නේ නම් ද යහපත්ය. මෙම ක්‍රම දෙක ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් සහතික කර ඇත. වඩාත් උතුම් වනුයේ විටෙක එක් ආකාරයෙන් ද තවත් විටෙක අනෙක් ආකාරයෙන් ද සිදු කිරීම ය. ඔහුගේ වම් අත ද ඔහුගේ වම් කලවා හා දණහිස මත තබයි. පසු ව එම ඉඳුමෙහි තෂහ්හුද් පවසයි.
ﵟ التَّحِيَّاتُ لِلَّه والصَّلَوَاتُ والطَّيِّبَاتُ السَّلَامُ عَلَيْكَ أيُّها النبيُّ ورَحْمَةُ اللَّهِ وبَرَكَاتُهُ السَّلَامُ عَلَيْنَا وعلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ أشْهَدُ أنْ لا إلَهَ إلَّا اللَّهُ وأَشْهَدُ أنَّ مُحَمَّدًا عَبْدُهُ ورَسولُهُ ﵞ
“අත්තහියියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු.”
(සියලු ශුභාසිංසනයන් අල්ලාහ් සතු ය. එමෙන් ම සියලු ආශීර්වාදයන් හා සියලු යහපත් දෑ ද (ඔහු සතු ය). අහෝ නබිතුමණි, ඔබට අල්ලාහ්ගේ දයාව හා ඔහුගේ අභිවෘද්ධිය හිමි වේවා! එමෙන් ම අප වෙත හා අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙත ද හිමි වේවා! නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට මම සාක්ෂි දරමි. එමෙන් ම නියත වශයෙන් ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවට ද මම සාක්ෂි දරමි.)
පසු මෙසේ පවසයි:
ﵟ اللَّهُمَّ صَلِّ علَى مُحَمَّدٍ وعلَى آلِ مُحَمَّدٍ كما صَلَّيْتَ علَى إبْرَاهِيمَ وعلَى آلِ إبْرَاهِيمَ إنَّكَ حَمِيدٌ مَجِيدٌ وَبَارِكْ علَى مُحَمَّدٍ وعلَى آلِ مُحَمَّدٍ كما بَارَكْتَ علَى إبْرَاهِيمَ وعلَى آلِ إبْرَاهِيمَ إنَّكَ حَمِيدٌ مَجِيدٌ ﵞ
“අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්. වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්.”
තේරුම:(අහෝ දෙවිඳුනි, ඔබ ඉබ්රාහීම් හා එතුමාගේ පවුලේ උදවිය කෙරෙහි ආශීර්වාද කළා සේ මුහම්මද් හා එතුමාගේ පවුලේ උදවිය කෙරෙහි ද ආශීර්වාද කරනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රශංසනීය හා කීර්තිමත් ය. තව ද ඔබ ඉබ්රාහීම්ට හා එතුමාගේ පවුලේ උදවියට යහපතෙහි අභිවෘද්ධිය ඇති කළා සේ මුහම්මද්ට හා එතුමාගේ පවුලේ උදවියට යහපතෙහි අභිවෘද්ධිය ඇති කරනු මැනව! සැබිවින් ම ඔබ ප්‍රශංසනීය හා කීර්තිමත් ය.)14
එමෙන් ම කරුණු හතරකින් ආරක්ෂාව පතා මෙසේ ප්‍රාර්ථනා කරයි:
ﵟ اللَّهُمَّ إنِّي أَعُوذُ بِكَ مِن عَذَابِ جَهَنَّمَ وَمِنْ عَذَابِ القَبْرِ وَمِنْ فِتْنَةِ المَحْيَا وَالْمَمَاتِ وَمِنْ شَرِّ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ ﵞ
“අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබි ජහන්නම, වමින් අදාබිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල්මමාති, වමින් ෂර්රි ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්”
තේරුම: (අහෝ දෙවිඳුනි, සැබැවින් ම නිරයේ දඬුවමින් ද කබ්ර් හෙවත් මිනීවළෙහි වේදනාවෙන් ද ජීවිත්වීමේ හා මරණයේ පරීක්ෂණයෙන් ද මසීහුද් දජ්ජාල්ගේ අර්බුධයේ හානියෙන් ද ආරක්ෂාව මම ඔබෙන් පතමි.)15
පසු ව මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන ඔහු කැමති දෑ ප්‍රාර්ථනා කරයි. තම දෙමව්පියන් හා සෙසු මුස්ලිම්වරුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළේ නම් ද එහි වරදක් නැත. එහි දී අනිවාර්ය සලාතයක් හෝ අතිරේක සලාතයක් හෝ වේවා එක සමාන ය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාට තෂහ්හුදය ඉගැන්වූ අවස්ථාවේ එතුමාණන් කළ පහත සඳහන් ප්‍රකාශය පොදුවේ සැලකිල්ලට ගනිමිනි.
ﵟ ثُمَّ لِيَتَخَيَّرْ مِنَ الدُّعَاءِ أَعْجَبَهُ إِلَيْهِ فَيَدْعُوَ ﵞ
තේරුම: (පසු ව තමන් කැමති ප්‍රාර්ථනා තෝරාගෙන අයැද සිටිය යුතු ය.) 16
තවත් ප්‍රකාශයක:
ﵟ ثُمَّ لِيَخْتَرْ مِنَ الْمَسْأَلَةِ مَا شَاءَ ﵞ
තේරුම: (පසු ව ඔහු කැමති ඉල්ලීමක් තෝරා ගත යුතු ය)17
මෙලොවෙහි හා මතුලොවෙහි ගැත්තාට ප්‍රයෝජනවත් වන සියලු කරුණු මින් ගම්‍ය වේ. පසු ව දකුණු දෙසටත් පසුව වම් දෙසටත් මුහුණ හරවා:
ﵟ السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّه، السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّه ﵞ
“අස්සලාමු අලෙයිකුම් ව රහ්මතුල්ලාහ්, අස්සලාමු අලෙයිකුම් ව රහ්මතුල්ලාහ්” යැයි කියමින් සලාම් පවසයි.
14- ඉටු කරනු ලබන සලාතය මග්රිබ් වැනි රකආත් තුනක හෝ ළුහර්, අසර් හා ඉෂා වැනි රකආත් හතරක සලාතයක් නම් ඉහත සඳහන් පරිදි තෂහ්හුද් පැවසිය යුතු අතර ඒ සමඟ ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් ද පවසනු ඇත. පසු ව ඔහුගේ දණහිස් දෙක මතට බර වී නැගිට සිටියි. එහි දී ඔහුගේ උරහිස් දෙකට හෝ ඔහුගේ කන් දෙකට සමාන්තර ව ඔහුගේ අත් දෙක ඔසවා ගනිමින් අල්ලාහු අක්බර් යැයි පවසා ඉහත කී පරිදි අත් දෙක ඔහුගේ පපුව මත තබයි. එහි සූරා අල්-ෆාතිහා පමණක් පාරායනය කරයි. ළුහර්හි තුන්වන හා හතරවන රකආතයන්හි සූරා අල්-ෆාතිහාවට අමතර ව ඇතැම් අවස්ථාවල දී අල් කුර්ආනයෙන් කොටසක් පාරායනය කළේ නම් එහි වරදක් නැත. මක් නිසා ද යත් ඒ ගැන තහවුරු කරමින් නබි (සල්ල්ලාලහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් සඳහන් ව ඇති බැවිනි. එමෙන් ම පළමු තෂහ්හුදයෙන් පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් පැවසීම අත් හැරියේ නම්, එහි ද වරදක් නැත. මක් නිසා ද යත් එය පළමු තෂහ්හුද්හි අනිවාර්යය දෙයක් නොව, සතුටුදායක කරුණක් පමණක් වන බැවිනි. පසු ව රකආත් දෙකේ සලාතයන්හි සඳහන් කළාක් මෙන් රකආත් තුනේ මග්රිබ් සලාතයේ දී හා ළුහර් අසර් හා ඉෂා වැනි රකආත් හතරේ සලාතයන්හි තෂහ්හුද් පවසයි. පසු ව දකුණු පැත්තට හා වම් පැත්තට හැරී සලාම් පවසයි. එමෙන් ම තුන්වරක් (අස්තග්ෆිරුල්ලාහ්) අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා පසු ව මෙසේ පවසයි:
ﵟ اللَّهُمَّ أَنْتَ السَّلَامُ وَمِنْكَ السَّلَامُ تَبَارَكْتَ يا ذَا الجَلَالِ وَالإِكْرَامِ ﵞ
“අල්ලාහුම්ම අන්තස් සලාමු වමින්කස් සලාමු, තබාරක්ත යාදල් ජලාලි වල් ඉක්රාම්”
තේරුම: (අහෝ දෙවිඳුනි, ශාන්තිය ඔබ යි. ශාන්තිය ඇති වනුයේ ඔබෙන් ය. ගෞරවනීය වූ ද අභිමානවත් වූ ද ඔබ සමෘද්ධිමත් ය.)18
සලාතය මෙහෙයවන ඉමාම්වරයක් නම් ජනතාව දෙසට හැරීමට පෙර එසේ පවසා පසු ව පහත සඳහන් පරිදි පැවසිය යුතුයි:
ﵟ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ. لَا إِلَهَ إِلَّا اللَّهُ وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ، لَا إِلَهَ إِلَّا اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ ﵞ
“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්, අල්ලාහුම්ම ලා මානිඅ ලිමා අඃථයිත වලා මුඃථිය ලිමා මනඃත, වලා යන්ෆඋදල් ජද්දි මින්කල් ජද්. ලා ඉලාහ ඉල්ලල්ලාහ්, වලා නඃබුදු ඉල්ලා ඉය්යාහ්, ලහුන් නිඃමතු වලහුල් ෆළ්ලු, වලහුස් සනාඋල් හසන්, ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්(ක්)ලිසීන ලහුද් දීන වලව් කරිහල් කාෆිරූන්.”
තේරුම: (නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. සියලු බලතල ඔහු සතු ය. ප්‍රශංසා සියල්ල ඔහුට ම ය. සෑම දෙයක් කෙරෙහි ම ඔහු ශක්තිය ඇත්තා ය. අල්ලාහ්ගෙන් හැර කිසිදු හැරීමක් හෝ බලයක් නොමැත. අහෝ දෙවිඳුනි, ඔබ දුන් දෙයක් වළක්වාලීමට හෝ ඔබ වැළකූ දෙයක් ලබා දීමට හෝ කිසිවෙකුට හැකියාවක් නොමැත. ඔබෙන් මිදීමට ධනවතාගේ ධනය ප්‍රයෝජනවත් නොවෙයි. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. ඔහුට පමණක් හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලු දායාදයන් ඔහු සතු ය. ශ්‍රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුට ම හිමි ය. නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් අවංකව ඉටු කරමු.)19
තිස්තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි පවසමින් අල්ලාහ් ව පිවිතුරු කරයි. එමෙන් ම අල්හම්දුලිල්ලාහ් යැයි පවසමින් ඔහුට ප්‍රශංසා කරයි. එමෙන් ම අල්ලාහු අක්බර් යැයි පවසමින් ඔහුව ශ්‍රේෂ්ඨත්වයට පත් කරයි. සියය සම්පූර්ණ කරනු වස්:
ﵟ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﵞ
“ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්”
තේරුම: (නැමදුම් ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නැත. සියලු ආධිපත්‍යය ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහු සතු ය. සියලු දෑ කෙරෙහි ඔහු බලය දරන්නා ය.)
තව ද සෑම සලාතයකින් පසු ව ම, ආයතුල් කුර්සි නම් පාඨය, කුල් හුවල්ලාහු අහද්, කුල් අඌදු බිරබ්බිල් ෆලක් හා කුල් අඌදු බිරබ්බින් නාස් යන සූරාවන් පාරායනය කරයි. ෆජ්ර් සලාතය හා මග්රිබ් සලාතයෙන් පසු ව මෙම සූරාවන් නැවත නැවත තුන් වරක් පැවසීම සතුටුදායක ය. මක් නිසා ද යත් ඒ ගැන සඳහන් කරමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ප්‍රකාශ කළ හදීස් පැමිණ ඇති බැවිනි. මෙම සියලු ම දික්රයන් සුන්නා වන අතර අනිවාර්යය වන්නේ නැත.
සෑම මුස්ලිම්වරයෙකුට ම හා මුස්ලිම් කාන්තාවකට ම ළුහර් සලාතයට පෙර රකආත් හතරක් හා ඉන් පසු රකආත් දෙකක් ද මග්රිබ් සලාතයට පසු රකආත් දෙකක් ද ඉෂා සලාතයට පසු රකආත් දෙකක් ද ෆජ්ර් සලාතයට පෙර රකආත් දෙකක් ද ඉටු කිරීම ආගමානුකූල කර ඇත. ඒ සියල්ල රකආත් දොළොසකි. මෙම රකආත් 'රවාතිබ්' යනුවෙන් හැඳින්වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගමනක නොයෙදී සිටිය දී ඒවා නොවරදවා සුරක්ෂිත ව ඉටු කර ඇත. එහෙත් එතුමාණන් ගමනක නිරත ව සිටිය දී ෆජ්ර්හි සුන්නාව හා විත්ර් හැර අනෙකුත් අතිරේක සලාත් අත්හැර ඇත. ඒ දෙක එතුමාණෝ ගමනක සිටිය ද පදිංචි ව සිටිය ද නොවරදවා සුරක්ෂිත ව ඉටු කර ඇත්තාහ. වඩාත් උතුම් වනුයේ රවාතිබ් සලාත් හා විත්ර් සලාත් නිවසේ ඉටු කිරීම ය. ඒවා මස්ජිදයේ ඉටු කළ ද වරදක් නැත. මක් නිසා ද යත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර ඇති බැවිනි.
ﵟ أفْضَلُ صَلَاةِ المَرْءِ في بَيْتِهِ إلَّا الصَّلَاةَ المَكْتُوبَةَ ﵞ
තේරුම: “අනිවාර්යය සලාතයන් හැර සෙසු සලාතයන් පුද්ගලයෙකු තම නිවසේ ඉටු කිරීම වඩාත් උතුම් ය.”20
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුව මෙම රකආත් නොවරදවා පිළිපැදීම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය.
ﵟ مَن صَلَّى اثْنَتَيْ عَشْرَةَ رَكْعَةً في يَومٍ وَلَيْلَةٍ بُنِيَ لَهُ بِهِنَّ بَيْتٌ فِي الجَنَّةِ ﵞ
තේරුම: “කවරෙකු දහවල හා රාත්‍රියෙහි රකආත් දොළොසක් සලාතය ඉටු කළේ ද ඒවා වෙනුවෙන් ස්වර්ගයේ නිවසක් ඔහු වෙනුවෙන් ඉදි කරනු ලබයි.”21
අසර් සලාතයට පෙර රකආත් හතරක්, මග්රිබ් සලාතයට පෙර රකආත් දෙකක් හා ඉෂා සලාතයට පෙර රකආත් දෙකක් ඉටු කළ ද එය ද යහපත් වේ. ඒ ගැන පෙන්වා දෙමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ හදීස් සහීහ් වාර්තාකරණයකින් ප්‍රකාශ වී ඇති බැවිනි. එමෙන් ම ළුහර් සලාතයට පසු රකආත් හතරක් හා ඊට පෙර රකආත් හතරක් ඉටු කළ ද එය ද යහපත් වේ. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුව ය:
ﵟ مَن حَافَظَ عَلَى أَرْبَعِ رَكَعَاتٍ قَبْلَ الظُّهْرِ وَأَرْبَعٍ بَعْدَهَا حَرَّمَهُ اللَّهُ تَعَالَى عَلَى النَّارِ ﵞ
“ළුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු ඇති රකආත් හතර කවරෙකු නිතිපතා නොවරදවා සුපරීක්ෂාකාරී ව ඉටු කරන්නේ ද අල්ලාහ් ඔහු ව නිරයට තහනම් කරනු ඇත.”22
ඉන් අදහස් කරනුයේ ළුහර් සලාතයට පසු ඇති 'රවාතිබ්' වර්ගයේ අතිරේක රකආත් දෙකට අමතර ව සලාත් ඉටු කිරීම ය. 'රවාතිබ්' වර්ගයට අයත් අතිරේක සලාතයන් වනුයේ ඊට පෙර රකආත් හතරක් හා ඉන් පසු රකආත් දෙකකි. ඉන් පසු අමතර ව රකආත් දෙක ඉටු කිරීම උම්මු හබීබා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසයට අනුගත වන්නේය.
“අල්ලාහ් ආශිර්වාදයේ හිමිකරු ය. අබ්දුල්ලාහ්ගේ පුත් අපගේ නබි මුහම්මද් තුමාණන් හටත් එතුමාණන්ගේ හිතමිතුරන් හටත් විනිශ්චය දිනය දක්වා දැහැමි අයුරින් එතුමාණන් ව පිළිපදින්නන් හටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!”
සූරා අල්-මාඉදා, පාඨය: 6.
මූලාශ්‍රය: මුස්ලිම්
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (5782) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 744 යටතේ වාර්තා කර ඇති අතර, ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක 598 යටතේ වාර්තා කර ඇත.
ඉමාම් මුස්ලිම්තුමා විසින් හදීස් අංක 399 යටතේ වාර්තා කරන ලදි.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (756) යටතේ වාර්තා කරන ලදී.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 817 යටතේ වාර්තා කර ඇති අතර, ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක 484 යටතේ වාර්තා කර ඇත.
ඉමාම් මුස්ලිම් තුමා හදීස් අංක 477 යටතේ මෙය වාර්තා කර ඇත.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 711 යටතේ වාර්තා කර ඇති අතර, ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක 598 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් වාර්තා කරන ලදී. හදීස් අංක (479)
මෙය ඉමාම් බුහාරි තුමා විසින් හදීස් අංක 788 යටතේ වාර්තා කර ඇති අතර, ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක 493 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් තිර්මිදි විසින් හදීස් අංක 284 යටතේ ද, ඉමාම් අබූ දාවූද් විසින් හදීස් අංක 850 යටතේ ද ඉමාම් ඉබ්නු මාජා විසින් හදීස් අංක 898 යටතේ ද වාර්තා කර ඇත.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 797 යටතේ වාර්තා කර ඇති අතර, ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක 402 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක 1311 යටතේ හා ඉමාම් මුස්ලිම් විසින් ද හදීස් අංක 588 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් නසාඊ විසින් හදීස් අංක 1298 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 402 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 591 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 402 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 728 යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (6860) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් අහ්මද් විසින් හදීස් අංක (25547) යටතේ ද, ඉමාම් තිර්මිදි විසින් හදීස් අංක (393) යටතේ ද, ඉමාම් අබූ දාවූද් හදීස් අංක (1077) යටතේ ද වාර්තා කර ඇත.
මෙය ඉමාම් බුහාරි විසින් හදීස් අංක (605) යටතේ වාර්තා කර ඇත.