PHPWord

 

 

 

مَا لَا يَسَعُ المُسْلِمَ جَهْلُهُ

 

මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු

 

 

 

اللَّجْنَةُ العِلْمِيَّةُ

بِرِئَاسَةِ الشُّؤُونِ الدِّينِيَّةِ بِالمَسْجِدِ الحَرَامِ وَالمَسْجِدِ النَّبَوِيِّ

 

මස්ජිදුන් නබවි දේවස්ථානය බැහැ දැකීමේ විනය හා නීති පිළිබඳ සාරාංශය

 


بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

මුස්ලිම්වරයෙකු දැන සිටිය යුතු අත්‍යවශ්‍ය කරුණු

පෙරවදන

ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා සතු ය. ලෝවැසියන්ට කරුණාවක් ලෙස යවන ලද දේව දූතයාණන්හටත් එතුමාණන්ගේ පවුලේ උදවියහටත් එතුමාණන්ගේ සහගාමීන්හටත් එතුමාණන්ගේ සුන්නාව (පිළිවෙත) අනුගමනය කළ උදවියහටත් විනිශ්චය දිනය දක්වා එතුමාණන්ගේ මග පෙන්වීමෙන් අනුගමනය කළ උදවියහටත් ශාන්තිය හා සමාදානය අත් වේවා!

මෙය කෙටි ලිපි ගොනුවක් වන අතර, මුස්ලිම්වරයෙකුට ඔහුගේ විශ්වාසය, වත්පිළිවෙත්, ගනුදෙනු පිළිබඳ අවශ්‍යම කරුණු මෙහි ඇතුළත් වේ. ශුද්ධස්ථාන දෙක වෙත පැමිණෙන පිරිස සඳහා අප විසින් මෙය සංස්කරණය කරන ලදී. එය, ඔවුන් තම ආගමික කටයුතු පිළිබඳ නිසි දැනුම සහ පිරිසිදු දසුනක් ලබාගැනීමේ අරමුණින්ය. මෙය ප්‍රයෝජනවත් කරනු මැන, එය යහපත් කරනු මැන, සහ ඔහුගේ තෘප්තිය සඳහා පමණක් එය පත් කරනු මැන යැයි අපි අල්ලාහ්‌ගෙන් අයැද සිටිමු. ඔහු යාච්ඤා කළ හැකි විශිෂ්ඨ අයෙකි. අපේක්ෂා කළ හැකි උතුම්ම අයෙකි.

අධ්‍යයන කමිටුව - මස්ජිද් හරාම් හා මස්ජිද් නබවී ආශ්‍රිත ආගමික කටයුතු මූලස්ථානය

 

 

***

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්

පළමුවන පරිච්ඡේදය:

"අකීදා" හෙවත් විශ්වාස පද්ධතිය හා සම්බන්ධ කරුණු

පළමු විමර්ශනය: ඉස්ලාම් යන්නෙහි අර්ථය හා එහි කුළුනු:

ඉස්ලාම් යනු: අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුට යටහත් වීම, කීකරුවී ඔහුට අවනත වීම, බහු දේවවාදය හා එහි අනුගාමිකයන් ප්‍රතික්ෂේප කිරීමයි.

එහි කුළුනු පහකි:

පළමුවැන්න: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත්, සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.

දෙවැන්න: සලාතය විධිමත්ව ඉටු කිරීම.

තුන්වැන්න: සකාත් පිරිනැමීම.

සිව්වැන්න: රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.

පස්වැන්න: ශුද්ධ වූ නිවස වෙත යෑමට පහසුකම් ඇති උදවිය හජ් වන්දනාව ඉටු කිරීම.

 

"තව්හීද්" හෙවත් දේවත්වය ඒකීයකරණයේ වැදගත්කම:

උත්තරීතර අල්ලාහ් සියලු මැවීම් මවා ඇත්තේ ඔහුට නමස්කාර කිරීමට හා කිසිවක් ඔහුට සමාන නොකිරීමට බව ඔබ දැනගත යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත:

﴿وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ 56﴾

"තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි." (අද් දාරියාත්: 56) ඉබාදත් හෙවත් මෙම ගැතිකම් හා නැමදුම් ගැන වටහා ගත හැක්කේ දැනුමෙන් පමණි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ 19﴾

"එහෙයින් (නබිවරය!) නුඹ දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. නුඹේ පාපයන්ටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන්හටත් සමාව අයැදිනු. තවද නුඹලාගේ ක්‍රියාකාරකම් හා නුඹලාගේ නවාතැන අල්ලාහ් දනී." (මුහම්මද්:19) ප්‍රකාශයට හා ක්‍රියාවට පෙර දැනුම යන අදහසින් මෙම පාඨය ආරම්භ වී ඇත. මුස්ලිම්වරයකු ඉගෙන ගත යුතු වැදගත්ම කරුණ වනුයේ තව්හීද් හෙවත් සර්වබලධාරී අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමය. මක්නිසාදයත් එය දහමේ මූලිකය හා පදනම වන බැවිනි. තව්හීදය නොමැතිව දහම පවතින්නේ නැත. මෙය මුස්ලිම්වරයකුට අනිවාර්යය වන පළමු කරුණ වන අතර අනිවාර්යය වන අවසන් කරුණ ද මෙය වේ. "තව්හීද්" යනු ඉස්ලාමයේ කුළුණු අතර පළමු කුළුණ වන අතර, එය මුස්ලිම්වරයෙකු විසින් දැනගත යුතු හා ක්‍රියාත්මක කළ යුතු කරුණකි. එය කුළුණු පහකින් සමන්විත වේ. ඒවා නම්: එය අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කර ඇති හදීසයේ සඳහන් පරිදිය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි.

«بُنِيَ الإسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أنْ لَا إلَهَ إلَّا اللَّهُ وأنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإقَامِ الصَّلَاةِ، وَإيتَاءِ الزَّكَاةِ، وَحَجِّ البَيْتِ، وصَوْمِ رَمَضَانَ».

ඉස්ලාමය කරුණු පහක් මත ගොඩනැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.1

මුස්ලිම්වරයා අනිවාර්යයෙන්ම තව්හීද් හි අර්ථය පිළිබඳ ඉගෙන ගත යුතුය; එනම්, නැමදුම අල්ලාහ්ට පමණක් වෙන්කිරීමයි. ඔහුගේ නැමදුමට කිසිවකු හවුල් නොකළ යුතුය. සමීප කිසිදු දේව දූතයකු හෝ එවන ලද කිසිදු ධර්ම දූතයකු හෝ ඔහුට හවුල් නොකළ යුතුය.

‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යන පළමු ෂහාදාවේ අර්ථය:

නැමදුම් ලබන්නට සුදුස්සා සර්වබලධාරී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැති බව තරයේ විශ්වාස කරමින් එය පිළිගැනීමය. එසේම, ඔහුට පමණක් නැමදිය යුතුය. සියලුම නැමදුම්, ප්‍රාර්ථනාවන්, භක්තිය, බලාපොරොත්තුව, පැවරුම හා ඒ හා සමාන අනෙකුත් සියලුම නැමදුම් ඔහුට පමණක් නියම කළ යුතුය.

මෙම සාක්ෂි ප්‍රකාශය සාර්ථක වන්නේ මූලිකාංග දෙකක් මගින් පමණි:

පළමුවැන්න: අල්ලාහ් හැර අනෙකුත් සියලුම ආදේශිත දෑ, දෙවිවරුන් සහ කෲර අයට දේවත්වය නැති බව සහතික කිරීම හා ඒවාට නැමදුම් කිරීමට ප්‍රතික්ෂේප කිරීම.

දෙවැන්න: අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නොව, ඔහුටම පමණක් සත්‍ය දේවත්වය සහ නැමදුම සහතික කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿‌وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ...﴾

"තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේගවලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින් ම අපි සෑම සමූහයකට ම රසූල්වරයකු එව්වෙමු." (අන්-නහ්ල්: 36)

ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත) යන සාක්ෂි ප්‍රකාශයේ කොන්දේසි මෙසේ ය.

පළමුව: අනාවබෝධයෙන් තොර පරිපූර්ණ අවබෝධය.

දෙවැන්න: සැකයෙන් තොර ස්ථීර භාවය.

තුන්වැන්න: 'ෂිර්ක්' හෙවත් ආදේශයෙන් තොර 'ඉක්ලාස්' හෙවත් අවංක භාවය

හතරවැන්න: ව්‍යාජත්වයෙන් තොර සත්‍යවන්තභාවය

පස්වැන්න: පිළිකුළෙන් තොර ආදරය හා සෙනෙහස.

සයවැන්න: අකීකරු වීමෙන් තොර අවනත වීම

හත්වැන්න: ප්‍රතික්ෂේප කිරීමෙන් තොර පිළිගැනීම.

අටවැන්න: උත්තරීතර අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු දෑ ප්‍රතික්ෂේප කිරීම.

මෙම කොන්දේසි අනුගමනය කළ යුතු අතර, පහත පද පෙළ තුළ ඒවා ගොනු කර ඇත:

දැනුම, ස්ථාවරත්වය, අවංකත්වය හා ඔබේ සත්‍යවාදිත්වය *** ආදරය අවනත භාවය හා පිළිගැනීම සමග මුසු වී ඇත.

අටවන කරුණ ලෙස අල්ලාහ් හැර *** දේවත්වයට පාත්‍ර කරන ලද සියල්ල ප්‍රතික්ෂේප කිරීම ද එකතු කරන ලදී.

ප්‍රතිපත්ති ප්‍රකාශය සහතික කිරීම අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමෙන් සිදු වේ. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඔහුට පමණක් අවංකව නැමදුම් කළ යුතු වේ. අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට ප්‍රාර්ථනා නොකළ යුතුය. අල්ලාහ් මත මිස වෙනත් කිසිවක් මත විශ්වාසය නොතැබිය යුතුය. අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවෙකුගෙන් යහපතක් බලාපොරොත්තු නොවිය යුතුයි. අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට නමස්කාර නොකළ යුතුය. ශුද්ධ වූ අල්ලාහ් වෙනුවෙන් හැර වෙනත් කිසිවක් සඳහා සතුන් කැප නොකළ යුතුය.

සමහරුන් විසින් සිදු කරනු ලබන සොහොන් වටා ප්‍රදක්ෂිණා කිරීම, එහි තැන්පත්කර ඇත්තන්ගෙන් උදව් පැතීම සහ අල්ලාහ් හැර ඔවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීම නැමදුම්වල සිදු කරන ෂිර්ක් (ආදේශය) වේ. එහෙයින් එයින් ප්‍රවේසම් විය යුතුය. ඒ පිළිබඳ අනතුරු ඇඟවිය යුතුය. හේතුව සැබැවින්ම එය අල්ලාහ් හැර දමා පිළිම, ගල් සහ ගස් නැමදුම් කරන බහුදේව වාදින්ගේ ක්‍රියාවන් සමඟ සමාන වන බැවිනි. මෙය අල්ලාහ්ට කරන ආදේශයයි. ඒ ගැන අනතුරු ඇඟවීමට හා තහනම් කිරීමට ශුද්ධවූ ග්‍රන්ථය පහළ කරන ලදී. පණිවිඩකරුවන් එවන ලදී.

සාක්ෂියේ ප්‍රකාශය වන මුහම්මදුර් රසූලුල්ලාහ් (මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන්ය) යන්නෙහි අරුත වන්නේ:

එතුමාණන් නියෝග කළ දෑහි එතුමාණන්ට අවනත වීම, එතුමාණන් දන්වා සිටි දෑහි එතුමාණන්ව සහතික කිරීම, එතුමාණන් තහනම් කළ හා හෙළා දුටු දෑවලින් වැළකී සිටීම, එමෙන්ම අල්ලාහ් ආගමානුගත කළ දෑ හැර වෙනත් යම් දෙයකින් අල්ලාහ් නැමදුමට ලක් නොකිරීම. කුරෙයිෂ් වංශයේ හාෂිමී පරපුරේ අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, ජින්වරුන් හා මිනිසුන් ඇතුළු සියලු මැවීම් අතරට එවන ලද අල්ලාහ්ගේ දූතයාණන් බව මුස්ලිම්වරයා පිළිගත යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا...﴾

‘අහෝ ජනයිනි! සැබැවින් ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි...’ (අල් අඃරාෆ් :158)

අල්ලාහ් තම දහම ප්‍රචාරය කිරීම සඳහා ද මැවීම්වලට යහමග පෙන්වීම සඳහා ද එතුමාණන්ව එවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿‌وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ 28﴾

"තවද සමස්ත ජනයාට ම ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නකු ලෙසින් මිස අපි ඔබ නො එව්වෙමු. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති." (සබඃ: 28) උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿‌وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ 107﴾

"තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නො එව්වෙමු." (අල් අන්බියා: 107)

මෙහි අන්තර්ගතය වනාහි: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සතුව රුබූබිය්යත් හෙවත් පරමාධිපත්‍යයේ හෝ විශ්වයේ කටයුතු මෙහෙයවීමේ හෝ සැබෑ ලෙස නැමදුම් ලැබීමේ අයිතියක් නොමැති බව විශ්වාස කිරීම ය. නමුත් ඔහු නැමදුම් නොලබන ගැත්තකු වන අතර, බොරු කරනු නොලබන දූතයකු වේ. අල්ලාහ්ගේ අභිමතයෙන් හැර තමන්ට හෝ වෙනත් කිසිවකුට හෝ කිසිදු සෙතක් හෝ හානියක් සිදු කිරීමට එතුමාට හැකියාවක් නැත. අල්ලාහ් මේ පිළිබඳ මෙසේ පවසයි.

﴿‌قُل لَّآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ لَكُمۡ إِنِّي مَلَكٌۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّ...﴾

"අල්ලාහ්ගේ සම්පත් මා සතුව තිබෙන බව මම නුඹලාට නො පවසමි. තවද මම අදෘශ්‍යමාන දෑ නො දනිමි. සැබැවින් ම මම සුරදූතයකු ද වෙමි යැයි මම නුඹලාට නො පවසමි. මා වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ හැර වෙනත් කිසිවක් මම නො පිළිපදිමි..." (අල් අන්ආම්: 50)

දෙවන විමර්ශණය: ඊමාන් හෙවත් විශ්වාසයේ අර්ථය හා මූලිකාංග:

විශ්වාසය යනු හදවතින් පිළිගැනීම, මුවින් ප්‍රකාශ කිරීම, හදවතින් හා ශරීර අවයව තුළින් ක්‍රියාවට නැංවීමය. එය අවනත වීමෙන් වැඩි වන අතර අකීකරුවීමෙන් හීන වී යයි.

නැමදුම් වලංගු වීමේ හා පිළිගැනීමේ කොන්දේසියක් වන්නේ ඊමාන් හෙවත් දේව විශ්වාසයයි. එමෙන්ම අල්ලාහ්ට ආදේශ තැබීම සහ දේවත්වය ප්‍රතික්ෂේප කිරීම සියලු ආගමික කටයුතු විනාශ කර දමන්නකි. අල්ලාහ් වුළූ ධෝවනයකින් තොරව සලාතය පිළිගන්නේ නැති සේම, විශ්වාසයකින් තොරව කිසිදු නැමදුමක් පිළිගන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත:

﴿وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ نَقِيرٗا 124﴾

"පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකුව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නො ලබති." (අන් නිසා: 124)

අල්ලාහ්ට ආදේශ තැබීමේ පාපය; සිදු කරන ක්‍රියාවන් විනාශ කර දමන බව මෙහි පැහැදිළි කර ඇත. එමෙන්ම උත්තරීතර අල්ලාහ් මෙසේ ද ප්‍රකාශ කර ඇත:

﴿وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ 65﴾

“නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින් ම නිෂ්ඵල වී යනු ඇත. තවද නුඹ පරාජිතයින් අතරින් වනු ඇතැ”යි නුඹ වෙත හා නුඹට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබී ය. (අස්-සුමර් :65)

ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග හයකි.: අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය, හා යහපත අයහපත පෙර නියමය අනුව සිදුවන බව විශ්වාස කිරීම.

1. උත්තරීතර අල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීම තුළ කරුණු තුනක් ඇතුළත් වේ:

1- ඔහුගේ පරමාධිපත්‍යය පිළිබඳ විශ්වාසය:

මැවීම, ආහාරය සැපයීම, ජීවය ලබා දීම හා මරණයට පත් කිරීම වැනි අල්ලාහ්ගේ සෑම ක්‍රියාවක ම ඔහුගේ ඒකීයත්වය පිළිගැනීම. මැවුම්කරු අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. පෝෂක අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. ජීවය දෙන අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. මරණය දෙන අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. විශ්වය තුළ ක්‍රියාත්මක වන්නේ උත්තරීතර වූ අල්ලාහ් හැර වෙනත් කිසිවෙකුත් නොවේ.

අල්ලාහ්ගේ පරමාධිපත්‍යය හෙළා දකින කිසිවෙක් මැවීම් අතර දකින්නට නැත. එසේ හෙළා දකිනුයේ, ඔහු පවසන දෑ පිළිබඳ විශ්වාස නොකරන අහංකාර මුරණ්ඩුකාරයකු පමණි. ෆිර්අවුන් තම සමූහයාට මෙසේ පැවසූ අවස්ථාවේ ඔහුට මෙසේ සිදු විය.

﴿‌...أَنَا ‌رَبُّكُمُ ‌الْأَعْلَى﴾

"මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි..." (අන් නාසිආත්: 24) ෆිර්අවුන් මෙසේ පැවසුවේ විශ්වාසයක් මත නොවේ. අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) ගැන මෙසේ ප්‍රකාශ කරයි:

﴿‌قَالَ لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا 102﴾

"මේවා පැහැදිලි සාධක ලෙස අහස්හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නො කළ බව සැබැවින් ම නුඹ දන්නෙහි ය. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින් ම මම සිතමි යැයි ඔහු කීවේ ය." (අල් ඉස්රා: 102) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿‌وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا... ﴾

"තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතුව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය." (අන් නම්ල්: 14)

මෙම මැවීම් සඳහා මැවුම්කරුවෙකු සිටිය යුතුමය. යමක් තමන් හරහා තමාව බිහි කිරීමට නොහැකිය; මක්නිසාදයත් යමක් එය විසින්ම මවා ගන්නට නොහැකි බැවිනි. තවද අහඹුවෙන් පවතින්නට ද නොහැකි බැවිනි. මන්ද සෑම සිදුවීමකටම සිදු කරන්නෙකු සිටිය යුතුය. තවද එහි පැවැත්ම දැන් අපි දකින විස්මිත පද්ධතිය මත පවතින බැවින් හා සුසංයෝගී බැඳීමක් සහිතව පවතින බැවින් ඒවායෙහි පැවැත්ම අහඹු සිදුවීමක් වීමට නොහැකි ය. එබැවින් ඒවා බිහිකළ කෙනෙකු ඒවාට සිටිය යුතු බව පෙන්වා දෙයි. ඔහු සකල ලෝකයන්හි පරමාධිපතියාණන් වන අල්ලාහ්ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿‌أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ 35 أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ 36﴾

"එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?"

"එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නො කරති." (අත්-තූර් :35-36)

එබැවින් මුෂ්රික්වරු (අල්ලාහ්ට ආදේශ තබන්නෝ) අල්ලාහ්ගේ පරමාධිපත්‍යය පිළිගත්ත ද, දේවත්වයෙහි ඔහුට ආදේශ තැබූහ. එබැවින් එය ඔවුන් ඉස්ලාම් ආගමට ඇතුළත් නොකළේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට එරෙහිව කටයුතු කිරීම එතුමාණන්ට අනුමත විය. මක්නිසාදයත් ඔවුන් නැමදුම්හි අල්ලාහ්ට ආදේශ කළ නිසාවෙනි. එමෙන්ම පිළිම, ගල්, දේව දූතයින් හා වෙනත් දේවතාවන්ට ඔවුන් නැමදුම් කළ බැවිනි.

2- ඔහුගේ දේවත්වය විශ්වාස කිරීම:

ඔහුගේ දේවත්වය පිළිබඳ විශ්වාසය. එනම්: සැබෑ දෙවියන් ඔහු පමණය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත යන්නයි. (الإله) යන වචනය (المألوه) යන අර්ථයෙනි, එනම් ආදරයෙන්, ගෞරවයෙන් හා නිහතමානීකමෙන් නැමදුම් ලබන්නා යන්නයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿‌وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ 163﴾

"නුඹලාගේ දෙවියා එක ම දෙවියා ය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත." (අල්-බකරා: 163)

අල්ලාහ් සමග වෙනත් දෙවියකු තෝරා ගත් සෑම කෙනෙක්ම නමැද සිටින්නේ ඔහු හැර වෙනත් දෑට ය. එම දේවත්වය අර්ථ විරහිතය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ 62﴾

"එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ම සත්‍යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; අතිශ්‍රෙෂ්ඨ ය." (අල් හජ් :62)

එමනිසා නූහ් තුමා සිට මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා සියලුම දූතවරුන් (ඔවුන් කෙරෙහි ශාන්තිය අත්වේවා!) තම සමූහයන්ට අල්ලාහ්ගේ තව්හීද් (දේවත්වය ඒකීයකරණය) වෙත හා ඔහුට පමණක් නැමදුම් කිරීම සඳහා ඇරයුම් කළහ. බහුදේව වාදීන් විසින් ශුද්ධ වූ අල්ලාහ් සමගම ඔහු හැර අන් අයට ද නැමදුම් කරමින්, උදව් උපකාර පතමින්, ඔහු හැර වෙනත් දෙවිවරුන් පත් කර ගැනීම අල්ලාහ් ව්‍යාර්ථ කළේය. එය බුද්ධිමය සාධක දෙකකිනි:

පළමුවැන්න: ඔවුන් තෝරාගත් දෙවිවරුන් අතර දේවත්වයේ ලක්ෂණ කිසිවක් දක්නට නැත. ඒවා ද මැවීම්ය, ඒවා කිසිවක් මවන්නේ නැත. ඒවා තම ගැත්තන් හට සෙත සළසන්නේ නැත. ඔවුනට අත්වන හානිය වළක්වන්නේ ද නැත. ජීවිතය, මරණය හෝ නැවත නැගිටුවීමේ කිසිදු බලයක් ඔවුනට නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا 3﴾

"තවද ඔවුහු ඔහු හැර දමා වෙනත් දෙවිවරුන් ගත්තෝ ය. ඔවුන් කිසිවක් නො මවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුන් බලය නො දරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නො දරනු ඇත." (අල් ෆුර්කාන්: 3)

දෙවැන්න: මෙම බහුදේවවාදීහු උත්තරීතර අල්ලාහ් මැවුම්කරු හා පාලකයා ලෙස පමණක් පිළිගනිති. එසේ පිළිගැනීම මඟින් දේවත්වය සම්බන්ධයෙන් ද ඔහුව ඒකීයත්වයට පත් කිරීම ඔවුනට අවශ්‍යය වන්නේය. අල්ලාහ් මේ පිළිබඳ ව මෙසේ පවසයි.

﴿قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ 84 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ 85 قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ 86 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ 87 قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ 88 سَيَقُولُونَ لِلَّهِ قُلْ فَأَنَّى تُسْحَرُونَ 89﴾

"නුඹලා දැන සිටියෙහු නම්, මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතු දැ? යි නුඹ විමසනු." 84

"අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ දැ?" 85

"අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන් දැ? යි නුඹ විමසනු." 86

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි නුඹ විමසනු. 87

"සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන් දැ? යි නුඹ විමසනු. තවද ඔහු රැකවරණය සලසයි. තවද ඔහු කිසිවකුගෙන් රැකවරණය නො ලබයි. නුඹලා දැන සිටියාහු නම්!" 88

"අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා වශී කරනු ලබනුයේ කෙසේ දැ?" විමසනු. 89 (අල්-මුඃමිනූන්: 84-89) ඔවුහු තව්හීද් අර්රුබූබියියාව (පරමාධිපත්‍යය) පිළිගත් විට, අල්ලාහ් දෙවිඳාණන්ට පමණක් නැමඳුම් කිරීම හා ඔහුගේ නැමඳුම් කටයුතුවල දී කිසිවෙකු හෝ ඔහු සමග ආදේශ නොකිරීම ඔවුන්ට අනිවාර්ය වේ.

3. නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ විශ්වාස කිරීම:

එනම්: තමන් ගැන තම අල්-කුර්ආනයේ අල්ලාහ් ස්ථීර කළ කරුණු තහවුරු කිරීම. එසේ නැතහොත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශවල එතුමාණන් සහතික කළ කරුණු තහවුරු කිරීම. එනම්; එවැනි අල්ලාහ්ගේ නාම හා ගුණාංග ඔහුට ගැළපෙන පරිදි තහවුරු කිරීමය. එය තහ්රීෆ් හෙවත් අර්ථය විකෘති කිරීමකින් තොරව, තඃතීල් හෙවත් අර්ථය ප්‍රතික්ෂේප කිරීමකින් තොරව විය යුතුය. එමෙන්ම හැඩය විස්තර කිරීමකින් තොරව හා උපමා කිරීමකින් තොරව විය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿‌وَلِلَّهِ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَاۖ وَذَرُواْ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ أَسۡمَٰٓئِهِۦۚ سَيُجۡزَوۡنَ مَا كَانُواْ يَعۡمَلُونَ 180﴾

"වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමි ය. එහෙයින් නුඹලා ඒවා මඟින් ඔහුට ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත." (අල් අඃරාෆ්: 180) තවදුරටත් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿‌...لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ﴾

"ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය." (අෂ්-ෂූරා: 11)

ෂිර්ක්හි කොටස් තුනක් ඇත

1- 'ෂිර්ක් අක්බර්' මහා ගනයේ ආදේශ තැබීම්.

2- 'ෂිර්ක් අස්ගර්' සුළු ගනයේ ආදේශ තැබීම්

3- 'ෂිර්ක් කෆී' සැඟවුණු ආදේශ තැබීම්.

1- අෂ්-ෂිර්කුල් අක්බර් මහා ගනයේ ආදේශ තැබීම්:

එහි නියමය වනුයේ: අල්ලාහ්ට පමණක් විශේෂිත වූ කරුණු සම්බන්ධයෙන් ඔහුට සමානව අන් අයෙකු සමාන කිරීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿‌إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ 98﴾

"සර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලාව පත් කළ අවස්ථාවේ..." (අෂ්-ෂුඅරා: 98)

උත්තරීතර වූ අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට සම්පූර්ණ නැමදුම යොමු කිරීම මෙම ගනයට අයත් වේ. එසේ නැතහොත්, ප්‍රාර්ථනා කිරීම, උදව් පැතීම, බාරහාර වීම, සත්ත්වයින් පූජා කිරීම සහ එවැනි වෙනත් නැමදුම් වර්ග කොටසක් සුවිශුද්ධ අල්ලාහ් හැර වෙනත් අය වෙත යොමු කිරීම ද මෙම ගනයට අයත් වේ.

එසේ නැතහොත්, සර්වබලධාරී අල්ලාහ් තහනම් කළ දෑ අනුමත කර ගැනීම හෝ අනුමත කළ දේ තහනම් කර ගැනීම හෝ සර්වබලධාරී අල්ලාහ් අනිවාර්ය කළ දෑ අතහැර දැමීම ද මේ ගනයට ඇතුළත් වේ. එය දහම තුළ අනිවාර්යෙන්ම තහනම් කර ඇති කරුණු අනුමත කර ගැනීම වැනිය. උදාහරණ ලෙස දුරාචාරය හා මත්පැන් අනුමත කර ගැනීම, දෙමාපියන්ට අකීකරු වීම, පොළිය හා ඒවාට සමාන දෑ අනුමත කර ගැනීම යනාදියයි.

එසේ නැතහොත්, යහපත් දේවල් අතරින් අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කිරීම, එසේ නැතහොත් අල්ලාහ් අනිවාර්යය කළ දෑ අත්හැර දැමීම වේ. එය සලාතය අනිවාර්යය කරුණක් නොවේ යනුවෙන් හෝ උපවාසය අනිවාර්යය කරුණක් නොවේ යනුවෙන් හෝ සකාත් අනිවාර්යය කරුණක් නොවේ යනුවෙන් විශ්වාස කිරීම වැනිය.

මහා ගනයේ ආදේශ තැබීම් යනු (කවරෙකු එම ක්‍රියාවේ යෙදෙන්නේ ද ඔහුගේ) යහක්‍රියා සියල්ල නිෂ්ඵල කර දමන්නකි. එම ක්‍රියාවෙහි නියැලෙමින් සිටියදී මරණයට පත් වූ පුද්ගලයා අපා ගින්නේ සදාතනික වනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿‌...وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ﴾

"එහෙත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් සිටි (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි." (අල් අන්ආම්: 88)

කවරෙකු එම ක්‍රියාවෙහි නියැලෙමින් සිටිය දී මරණයට පත් වන්නේ ද කිසිවිටෙකත් අල්ලාහ් ඔහුට සමාව දෙන්නේ නැත. ස්වර්ගය ඔහුට තහනම් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿‌إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ...﴾

"සැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ කරනු ලැබීම සමාව නො දෙයි. ඒ හැර සෙසු දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි..." (අන්-නිසා: 48) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُ...﴾

සැබෑ කරුණ නම්, කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේ ය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ..." (අල් මාඉදා: 72)

2- අෂ්-ෂිර්කුල් අස්ගර් කුඩා ගනයේ ආදේශ තැබීම්:

එය අල් කුරානයේ හෝ සුන්නාවෙහි ෂිර්ක් යැයි සඳහන් වූවකි. නමුත් එය ෂිර්කුල් අක්බර් මට්ටමට පැමිණෙන්නේ නැත. එබැවින් මෙය "ෂිර්කුල් අස්ගර්" හෙවත් කුඩා ගනයේ ආදේශ තැබීම ලෙස හැඳින්වේ. උත්තරීතර අල්ලාහ් හැර අන් දේ මත දිවුරීම වැනිය. එනම්, කඃබා දේවස්ථානය මත, නබිවරුන් මත, අමානා හෙවත් වගකීම් මත, කෙනෙකුගේ ජීවිතය මත සහ ඒ හා සමාන වෙනත් දේවල් මත දිවුරා සිටින්නාක් මෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

«مَنْ حَلَفَ بِغَيرِ اللهِ فَقَدْ كَفَرَ أَو أَشرَكَ».

"කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය."2

ඇතැම් විට අදාළ තැනැත්තාගේ හදවතේ සිදු වන වෙනස්කම් අනුව එය මහා ගනයට අයත් එකක් ද විය හැක. එසේ දිවුරා සිටින්නාගේ හදවත තුළ නබි තුමාණන් හෝ වෙනත් උත්තමයකු අල්ලාහ් මෙන් යැයි හෝ අල්ලාහ් හැර මෙවැන්නන් ද ඇරයුම් කරනු ලබන බව හෝ විශ්වය තුළ එවැන්නන්ට ක්‍රියාත්මක විය හැකි යැයි හෝ විශ්වාස කරන්නේ නම්, එය මහා ෂිර්ක් බවට පත් වේ. නමුත් අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටින්නා එම අරමුණින් නොව, එය ඔහුගේ පුරුද්දක් වූ නිසා ඔහුගේ දිවට පැමිණි නම්, එය සුළු ගණයේ ෂිර්කයක් වේ. මෙය ඇතැම් ප්‍රදේශවල බොහෝ විට සිදුවන බැවින්, ඒ සඳහා අවධානය යොමු කිරීම හා ඒ පිළිබඳ අනතුරු ඇඟවීම, ඒකදේවවාදය ආරක්ෂා කර ගනිමින් එය සුරැකීම අත්‍යවශ්‍ය වේ.

3- අෂ්-ෂිර්ක් අල්-කෆී (සැඟවුණු ෂිර්ක්):

එය සිත් තුළ ඇති වන මුනිච්චාවයි; එය මිනිසුන්ට පෙනෙන ලෙස නැමදුම් කිරීම හෝ පාරායනය කිරීම ඔවුන් ඔහුට ප්‍රශංසා කරන තරමට (තස්බීහ්) සුවිශුද්ධ කිරීම හෝ ඔහුව අගයන තරමට (සදකා) දන්දීම වැනි ය. මෙය එසේ මුනිච්චාවට සිදු කරන ලද ක්‍රියාව විනාශ කර දමනු ඇත. නමුත් අල්ලාහ්ට පමණක් යන ඒකායන චේතනාවෙන් සිදු කරන ලද අනෙකුත් ක්‍රියාවන්ට එය අදාළ නොවේ.

නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන් මෙසේ පැවැසූහ.

«الشِّرْكُ فِي هَذِهِ الْأُمَّةِ أَخْفَى مِنْ دَبِيبِ النَّمْلَةِ السَّودَاءِ عَلَى الصَّفَاةِ السَّودَاءِ فِي ظُلْمَةِ اللَّيْلِ، وَكَفَّارَتُهُ أَنْ يَقُولَ: "اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ شَيْئًا وَأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ مِنَ الذَّنْبِ الَّذِي لَا أَعْلَمُ».

මෙම ප්‍රජාවේ ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම, අඳුරු රාත්‍රියේ කළු ගලක් මත කළු කුහුඹුවෙක් ගමන් කරන ආකාරයට සැඟවී ඇත. එහි ප්‍රතිකර්මය වන්නේ:

"අල්ලාහුම්ම ඉන්නී අඌදු බික අන් උෂ්රික බික ෂයිඅන් වඅන අඃලමු. වඅස්තග්ෆිරුක මිනද් දන්බිල්ලදී ලා අඃලමු."

(අහෝ දෙවිඳුනි, මම දැනුවත්ව ඔබට යම් ආදේශයක් කිරීමෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මම නොදැන කළ පාපය සඳහා ඔබෙන් පාපක්ෂමාව අයැද සිටිමි.) යැයිපැවසීමයි. 3

'කුෆ්ර්' හෙවත් දේව ප්‍රතික්ෂේපයේ වර්ග:

පළමු වර්ගය: අල්-කුෆ්රුල් අක්බර් හෙවත් මහා දේව ප්‍රතික්ෂේපය:

මෙය නිරයේ සදාකාලිකව රැඳී සිටීමට හේතු වන අතර, එය වර්ග පහකි:

1- බොරු කිරීමේ ප්‍රතික්ෂේපය:

එය දූතවරුන් අසත්‍ය බව විශ්වාස කිරීමය. මෙය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් වූ සුළු පිරිසකි; මක්නිසාදයත් අල්ලාහ් තම දූතවරුන් පැහැදිලි සාධක හා සාක්ෂි මගින් ශක්තිමත් කර ඇති බැවිනි. මෙම බොරුකාරයින්ගේ තත්ත්වය අල්ලාහ් විස්තර කර ඇත්තේ මෙසේය:

﴿‌وَجَحَدُوا ‌بِهَا ‌وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا...﴾

"තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතුව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය." (අන්-නහ්ල්: 14)

2- පිටු දැකීමේ සහ උඩඟුවීමේ ප්‍රතික්ෂේපය:

මෙය ඉබ්ලීස්ගේ ප්‍රතික්ෂේපයට සමාන වේ. ඔහු අල්ලාහ්ගේ නියෝගය ප්‍රතික්ෂේප කළේ නැත. එය හෙළා දුටුවේ නැත. නමුත් ඔහු එයට උඩඟු වීමෙන් සහ පිටු දැකීමෙන් මුහුණ දුන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ وَٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ 34﴾

"පසුව අපි මලක්වරුන්ට "ආදම්ට සිරස නමනු" යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝ ම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තවද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය."(34) (අල් බකරා: 34)

3- වැළකී සිටීමේ ප්‍රතික්ෂේපය:

එය ඔහුගේ සවනින් හා සිතින් සත්‍යය පිළිපැදීමෙන් වැළකී සිටීමයි. ඒ ඔහු ඒ සත්‍ය දෙස හැරී නොබලයි; එයට කිසිදු අවධානයක් නොදෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ 22﴾

"තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසුව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන් ම අපි වැරදි කරන්නන්ට ප්‍රතිවිපාක දෙන්නෝ වෙමු." (22) (අස්-සජදා: 22)

කෙසේ වෙතත්, කොටසකින් වැළකී සිටීම; එය 'කුෆ්ර්' (ප්‍රතික්ෂේපය) නොව, දුෂ්ටකමකි. උදාහරණයක් ලෙස, උපවාසයේ හෝ හජ් වන්දනාවේ නීති හැදෑරීම වැනි ධර්මයේ අනිවාර්ය ක්‍රියාවක් හැදෑරීමට පිටුපෑම ය.

4- සැක සිතීමෙන් ප්‍රතික්ෂේප කිරීම:

සත්‍ය පිළිබඳ කලබල වීමෙන් නිවැරදි බව සහතික නොකර, ඒ කෙරෙහි සැකයෙන් පසුවීම ය. විශ්වයාධිපති අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَنْ تَبِيدَ هَذِهِ أَبَدًا 35 وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِدْتُ إِلَى رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلَبًا 36﴾

"තවද ඔහු තමන්ට ම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසී ය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නො සිතමි යැයි ඔහු පැවසී ය." (35)

"අවසන් හෝරාව සිදු වන්නක් බව ද මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේ ය." (36) (අල්-කහ්ෆ්: 35-36)

5- කුහකකම මඟින් ප්‍රතික්ෂේප කිරීම:

එය තම මුවින් විශ්වාසය පෙන්වා හදවතින් ප්‍රතික්ෂේපය සඟවා තබා ගැනීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَمَا هُم بِمُؤۡمِنِينَ 8﴾

"තවද ජනයා අතරින් "සැබැවින් ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු" යැයි පවසන ඇතැමුන් සිටිති. එහෙත් ඔවුහු දේවත්වය විශ්වාස කළ අය නො වෙති." (අල් බකරා: 8)

මෙය මහා දේව ප්‍රතික්ෂේපයේ වර්ග අතරින් වන අතර එය (ඉස්ලාමීය) පිළිවෙතින් ඉවත් කරන ලොකුම ප්‍රතික්ෂේපයයි.

දෙවන වර්ගය: අල්-කුෆ්රුල් අස්ගර් හෙවත් සුළු දේව ප්‍රතික්ෂේපය:

මෙම වර්ගය අපා ගින්නේ සදා වාසය කිරීමේ තත්ත්වයක් ඇති නොකරයි. එය අල්-කුර්ආනයේ සහ සුන්නාවේ "කුෆ්ර්" (ප්‍රතික්ෂේපයක්) ලෙස නම් කර ඇති නමුත් (නිශ්චිත බව පෙන්වන) අලිෆ් හා ලාම් රහිතව නිශ්චිත අර්ථ්ථයක් නැතිව සඳහන් වී ඇත. ඒවා පිළිබඳව බොහෝ උදාහරණ ඇත. ඒවායින් සමහරක් මෙසේය.: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසය:

«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى المَيِّتِ».

"ජනයා අතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට ප්‍රතික්ෂේපය ඇති කරන්නක් වේ. එනම්: පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම හා මිය ගිය ඇත්තන් මත මොරදී හැඬීමය."4

2) මලක්වරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාසය:

ඔවුන් ගුප්ත ලෝකයකි. උත්තරීතර අල්ලාහ් ඔවුන් මවා ඇත්තේ ආලෝකයෙනි. ඔවුන් අල්ලාහ්ට නැමදුම් කරති. පරමාධිපත්‍යයෙන් හා දේවත්වයෙන් කිසිදු කරුණක් ඔවුනට නියම වී නැත. අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු ඔහුට පිටු නොපාති, ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති. ඔවුන් විශාල සංඛ්යාවකින් යුක්තය. උත්තරීතර අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට ඔවුන්ගේ සංඛ්‍යාව ගණන් කර කිව නොහැක.

මලක්වරුන් පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් සමන්විත වේ.

1- ඔවුන්ගේ පැවැත්ම විශ්වාස කිරීම.

2. ඔවුන් අතරින් ජිබ්රීල්, මීකාඉල්, ඉස්රාෆීල් වැනි නමින් අපි දැනුවත් මලක්වරුන් විශ්වාස කිරීම. නමින් නොහඳුණන අය අපි සමස්තයක් වශයෙන් විශ්වාස කළ යුතුය.

3. අල්-කුර්ආනයේ සහ සුන්නාව තුළ සඳහන් වී ඇති ඔවුන්ගේ ගුණාංග පිළිබඳ විශ්වාස කිරීම. එය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාගේ ගුණාංග මෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාණන්ව අල්ලාහ් මැවූ ස්වරූපයෙන්ම දැක ඇති බවත්, ඔහුට පියාපත් හයසීයක් ඇති බවත්, එය ක්ෂිතිජයම ආවරණය කළ බවත් දන්වා ඇත.

4-අපට උගන්වා ඇති පරිදි ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳ විශ්වාස කිරීම; ඔවුන් උත්තරීතර අල්ලාහ්ව තස්බීහ් කිරීම, උදාසීනත්වයෙන් හෝ මැලිකමින් තොරව රෑ දහවල් ඔහුට නැමදුම් කිරීම යනාදී ලෙසිනි.

උදාහරණයක් ලෙස ජිබ්රීල් තුමා, වහී (දේව හෙළිදරව්) සඳහා විශ්වාසනීය භාරකරුය.

ඉස්රාෆීල් තුමා: හොරණෑව පිඹීමේ වගකීම භාරව කටයුතු කරන්නාය.

මලක් අල් මවුත්: මරණ අවස්ථාවේ ප්‍රාණ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් භාරව කටයුතු කරන්නාය.

මාලික්: නිරයේ භාරකරුය. රිළ්වාන්: ස්වර්ගයේ භාරකරුය. එමෙන්ම එවැනි වෙනත් අයද වෙති.

3) දේව පුස්තක පිළිබඳ විශ්වාසය:

මෙහි පුස්තක යනුවෙන් අදහස් කරනුයේ: අල්ලාහ් තම දූතවරුන් වෙත පහළ කළ දිව්‍යමය ග්‍රන්ථ වේ. එය මිනිස් වර්ගයාට මගපෙන්වීමක් හා ඔවුනට ආශිර්වාදයක් වන අතර, ඔවුන්ට දෙලොවෙහි සතුටට ළඟා වීමට උපකාරී වේ.

දිව්‍ය පුස්තක පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් සමන්විතය:

1- ඒවා සැබෑ ලෙසින්ම අල්ලාහ් අබියසින් පහළ වූ බව විශ්වාස කිරීම.

2. අපට උගන්වා ඇති ඒවායෙහි නාම විශ්වාස කිරීම; උදාහරණ ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පහළ කරන ලද අල් කුර්ආනය. මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත පහළ කරන ලද අත්-තව්රාත් හෙවත් ටෝරාව, ඊසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කරන ලද ඉන්ජීලය, දාවූද් (අලෙයිහිස් සලාම්) තුමාට පහළ කරන ලද සබූර්.

නම් නොදත් පුස්තක සම්බන්ධයෙන් අපි සමස්ථයක් වශයෙන් විශ්වාස කරමු.

3. කුර්ආනයේ ඇති තොරතුරු හා පෙර පහළ වූ දිව්‍යමය පුස්තක තුළ විකෘති නොකරන ලද තොරතුරු වැනි ඒවායෙහි සඳහන් නිවැරදි තොරුතුර විශ්වාස කිරීම.

4. ඒවායෙහි වෙනස් නොකරන ලද නීති ක්‍රියාත්මක කිරීම, ඒවායෙහි ප්‍රඥාව අප වටහා ගත්තත් නොගත්තත් ඒවා පිළිගෙන ඒවාට යටත් වීම. පෙර පහළ වූ සියලු පුස්තක මහඟු අල් කුර්ආනය තුළින් සංශෝධනය කරන ලදී. පෙර පුස්තකවල සඳහන් කවර හෝ නීතියක් වේවා, එය අල් කුර්ආනයේ හෝ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ් මගින් නිවැරදි කළ හා පිළිගත් දෑ මිස ඒ අනුව ක්‍රියා කිරීම අනුමත වන්නේ නැත.

4) ධර්ම දූතවරුන් පිළිබඳ විශ්වාසය:

'අල්-රුසුල්' යන අරාබි පදයේ ඒක වචනය 'රසූල්' වේ. එය ආගමික පිළිවෙතක් හෝ කරුණක් දන්වා සිටින මෙන් මිනිසුන් අතරින් දිව්‍ය පණිවිඩ පිරිනමනු ලැබූ තැනැත්තාය. ඔවුන් අතරින් පළමුවැන්නා නූහ් (අලෙයිහිස් සලාම්) තුමාය. ඔවුන් අතරින් අවසාන දූතයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. ඔවුහු මවනු ලැබූ මිනිසුන්ය, ඔවුන්ට පරමාධිපත්‍යයේ හා දේවත්වයෙහි ලක්ෂණ කිසිවක් නැත.

රසූල්වරුන්ට විශ්වාස කිරීම අතරට පහත සඳහන් කරුණු අන්තර්ගත වේ:

1- ඔවුන්ගේ පණිවිඩය උත්තරීතර අල්ලාහ් අබියසින් පැමිණි සත්‍යයක්  බව විශ්වාස කිරීම, කවරෙකු ඔවුනට ලැබුණු එක් පණිවිඩයක් හෝ ප්‍රතික්ෂේප කළේ ද ඔහු සමස්තයම ප්‍රතික්ෂේප කළේය.

2. ඔවුන් අතරින් මුහම්මද්, ඉබ්රාහීම්, මූසා, ඊසා, නූහ් යන නම්වලින් අපි හඳුනන දූතවරුන් විශ්වාස කිරීම. ඔවුන් 'උලුල් අස්ම්' ස්ථාවර ශක්තිමත් දූතවරුන් වේ.  

නමින් නොහඳුණන අය ද අපි සමස්තයක් වශයෙන් විශ්වාස කරමු. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿‌وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَ...﴾

"නුඹට පෙර ධර්ම දූතවරු සැබැවින් ම අපි එව්වෙමු. ඔවුන් අතරින් අපි නුඹ වෙත කතා විස්තර කළ අය වෙති. තවද නුඹ වෙත අපි කතා විස්තර නො කළ අය ද වෙති..." (ගාෆිර්: 78)

3- ඔවුන් පිළිබඳව දන්වා ඇති නිවැරදි තොරතුරු සහතික කිරීම.

4- ඔවුන් අතරින් අප වෙත එවනු ලැබූ දූතයාණන්ගේ පිළිවෙත ක්‍රියාවට නැංවීම. එතුමාණන් ඔවුන්ගේ අවසානයාණන් වන  මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය.

5- අවසාන දිනය පිළිබඳ විශ්වාසය:

එය යළි අවදි කරනු ලබන දිනයයි. ජනයා විනිශ්චය හා ප්‍රතිඵල පිරිනැමීම සඳහා නැගිට සිටිනු ලබන දිනයයි. මෙසේ නම් කරන ලද්දේ ඉන් පසු එවන් තවත් දිනයක් නොමැති බැවිනි. එහි අවසානයේ ස්වර්ගවාසීන් ඔවුන්ගේ ස්ථානවලත් අපා වාසීන් ඔවුන්ගේ ස්ථානවලත් නවාතැන් ගනු ඇත.

අවසන් දිනය පිළිබඳ විශ්වාසය කරුණු තුනකින් සමන්විත වේ.

පළමුවැන්න: යළි අවදි කිරීම ගැන විශ්වාසය.

එය හොරණෑවෙහි දෙවන පිඹුම පිඹිනු ලබන විට මළවුන් යළි අවදි කිරීමය. සියලු මිනිසුන් සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ පාවහන් නොමැතිව, නිර්වස්ත්‍රව, චර්මඡේදනයෙන් තොරව නැගී සිටිනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ ‌وَعْدًا ‌عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ 104﴾

"මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි එය සිදු කරන්නන් වූයෙමු." (අල් අන්බියා: 104)

දෙවැන්න: විනිශ්චය හා ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය:

ගැත්තාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විනිශ්චය කෙරෙන අතර, ඒ සඳහා ප්‍රතිඵල පිරිනැමීම සිදු වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ 25 ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم 26

"සැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය."

"පසුව සැබැවින් ම ඔවුන් (කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය." (අල් ඝාෂියා: 25,26)

තුන්වැන්න: ස්වර්ගය හා නිරය පිළිබඳ විශ්වාස කිරීම.

ඒ දෙක මැවීම් සඳහා වූ සදාතනික අවසාන ගමනාන්තයයි; ස්වර්ග උයන යනු: සුවපහසුකම් ඇති නිවහනයි. උත්තරීතර අල්ලාහ් දේවත්වය විශ්වාස කළ ඔහු ගැන මතකයෙන් පසුවන ඔහුට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී කටයුතු කරන උදවිය සඳහා සූදානම් කර ඇති උයනයි. එහි කිසිදු දෑසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් සිතකින් කල්පනය කළ නොහැකි දෑ ඇත.

අපා ගින්න වනාහි; එය දඬුවමේ නිවහනයි, එය අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ, ඔහුගේ දූතවරුන්ට පිටු පෑ දේව ප්‍රතික්ෂේපකයින් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති නිවහනයි. එහි සිතා ගත නොහැකි වධ හිංසා සහ වේදනා පමුණුවීම සඳහා විවිධ දඬුවම් වර්ග ඇත.

6) හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.

'කද්ර්' (පෙර නියමය) යන්නෙන් අදහස් කරන්නේ: අල්ලාහ්ගේ පූර්ව දැනුම හා ඔහුගේ ප්‍රඥාවට අනුව සිදුවන දේ සඳහා සර්වබලධාරී අල්ලාහ් විසින් නියම කරන ලද නියමයයි.

'කද්ර්' හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් සමන්විත වේ.

1. දැනුම: එනම් උත්තරීතර වූ අල්ලාහ්ගේ දැනුම පිළිබඳ විශ්වාසය, ඔහු සියල්ල දැන සිටින බවත්, විශ්වයේ මේ දක්වා සිදු වී අවසන් වූ දේ, සිදුවීමට තිබෙන දේ, එවා සිදුවන්නේ කෙලෙස ද යන සියලු විස්තර සමස්තයක් ලෙස හා විස්තරාත්මකව, කවදත් නිරන්තරයෙන්ම දැන සිටින බවත් විශ්වාස කිරීමයි. සැබැවින්ම ශුද්ධවන්ත අල්ලාහ්, සිදු නොවූ දෙයක් වුව ද එය වුවහොත් කෙසේ පවතිනවාදැයි දන්නාය. සුවිශුද්ධයාණෝ මෙසේ පවසා ඇත:

﴿‌وَلَوۡ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنۡهُ ...﴾

"තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත..." (අල්-අන්ආම්: 28)

2. ලිවීම: එනම් උත්තරීතර අල්ලාහ් ලෝකාන්ත දින දක්වා පවතින සියලු දේවල් ලියා ඇති බව විශ්වාස කිරීම, උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 70

"(නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දන්නෙහි ද? නියත වශයෙන් ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන් ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි." (අල් හජ් :70)

3. අභිමතය: එනම්, අල්ලාහ් අභිමත කරන දේ පමණක් හැර වෙනත් කිසිවක් මෙම විශ්වය තුළ සිදු නොවන බව විශ්වාස කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُ ...﴾

"තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේ ය. ඔහු තෝරා ගන්නේ ය." (අල්-කසස්: 68) මිනිසාට අභිමතයක් ඇති නමුත් එය අල්ලාහ්ගේ අභිමතයෙන් පිට යන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ 29

"තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නො කරන්නෙහු ය." (අත්-තක්වීර්: 29)

4. මැවීම: අල්ලාහ් තම මැවීම් තමන් අභිමත පරිදි මැවූ බවත්, ඔහු ඒ සියලු මැවීම් හා ඒවායේ ක්‍රියා කාරකම්, යහපත හා අයහපත නිර්මාණය කළ බවත් විශ්වාස කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ 62

"අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරු ය." අස්Zසුමර්- :62

මෙම අදියරයන් මෙම කවියේ මෙසේ ගොනු කර ඇත:

අපගේ භාරකරුගේ දැනුම, ලියවිල්ල, ඔහුගේ අභිමතය ***ඔහුගේ මැවීම නම් නිර්මාණය හා සැකසුම 'කද්ර්' හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසය තුළ සමන්විත කරුණු වේ.

තෙවැනි විමර්ශනය: අල් ඉහ්සාන්:

ඉහ්සාන්: එය තවත් එක් මූලිකාංගයකි; එනම්: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔහුව නැමදීම. ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි" යන්නයි.

එනම් මිනිසා, සර්වබලධාරී අල්ලාහ් ඉදිරියේ තමන් සිටින බව සිතා ඔහුට සිදු කළ යුතු නැමදුම් ඉටු කිරීමය. එමඟින් සම්පූර්ණ බියවීම හා ඔහු වෙත යොමුවීම නියම වේ. එමෙන්ම රසුල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සුන්නාහ්වට අනුගත වී නැමදුම් ඉටු කිරීම නියම වේ.

ඉහ්සාන් යන නිලය අදියර දෙකක් මත පවතී. එම නිලය දරන්නන් විවිධ තරාතිරම් වල සිටී:

පළමු අදියරය: ඉහළම අදියරයයි. එය නිරීක්ෂණයේ අදියරය වේ. එය, ගැත්තා තම හදවතෙන් අල්ලාහ් තමන්ව බලා සිටින සේ කටයුතු කිරීම ය. එවිට දෙවියන් පිළිබඳ පවතින විශ්වාසයෙන් හදවත ප්‍රබෝධමත් වේ. එය පාරභෞතික දෑ භෞතික දෑ මෙන් වේ.

2. දෙවන අදියරය: ඉහ්ලාස් හෙවත් පිවිතුරු චේතනාවේ අදියරයයි. එනම් ගැත්තා අල්ලාහ් ඔහුව බලා සිටින බව හා ඔහුගේ කටයුතු නිරීක්ෂණය කරන බව සිතට නැගීමය. මෙය සිතට නැගුවහොත්, ඔහු උත්තරීතර අල්ලාහ්ට අවංක භක්තිකයෙකු වේ.

සිව්වන විමර්ශනය: අහ්ලුස් සුන්නා වල් ජමාඅත් වරුන්ගේ ප්‍රතිපත්තිවල සාරාංශය:

පළමුව: අල්-කුර්ආනය හා සුන්නාවෙහි අන්තර්ගත කරුණු අභ්‍යන්තරයෙන් හා බාහිරයෙන් පිළිපැදීම, අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වදන් වලට වඩා වෙනත් කිසිවෙකුගේ වදන්වලට ප්‍රමුඛත්වය නොදීම.

දෙවන්න: සහාබාවරුන් හෙවත් අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහගාමීන් කෙරෙහි තම සිත් හා වචන ආරෝග්‍යමත් වීම. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් පසුව කලීෆා හෙවත් පාලකයා වනුයේ අබු බක්ර්, පසුව උමර්, පසුව උස්මාන්, පසුව අලී (රළියල්ලාහු අන්හුම්) යන අය වේ.

තුන්වැන්න: අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිවැසියන්ට ආදරය කිරීම, ඔවුනට සහයෝගය දැක්වීම, විශේෂයෙන්ම ඔවුන් අතර සිටි ධර්මිෂ්ටයින් පිළිබඳව අවධානය යොමු කිරීම. 

සිව්වැන්න: නායකයින්ට සහ කටයුතුභාර උදවියට ඔවුන් අසාධාරණ ලෙස කටයුතු කළ ද, ඔවුන්ට විරුද්ධව කැරලි නො ගැසීම. ඔවුන් වෙනුවෙන් යහපත සහ සුවය අල්ලාහ්ගෙන් අයැද සිටිය යුතුය. ඔවුන්ට විරුද්ධව ප්‍රාර්ථනා කරනු නොලැබේ. ඔවුන්ට අවනත වීම අල්ලාහ්ට අවනත වීමක් වන අතර, ඔවුන් අල්ලාහ්ට පිටුපාන කටයුතු සම්බන්ධයෙන් අණ නොකරන තුරු එලෙස ඔවුන්ව පිළිපැදීම අනිවාර්ය වේ. ඔවුන් පාපකාරී කටයුත්තක් අණ කළහොත්, ඒ සම්බන්ධයෙන් ඔවුනට අවනත විය යුතු නැත. යහපත් කටයුතුවලදී ඔවුනට අවනත වීම ඉදිරියටත් පවත්වා ගත යුතුය.

පස්වැන්න: අව්ලියා හෙවත් අල්ලාහ්ට වඩාත් සමීප වුවන්ගේ (කරාමත්) හෙවත් ප්‍රාතිහාර්යයන් සහතික කිරීම. කරාමත් යනු , අල්ලාහ් ඔවුන්ගේ අතින් සිදු කරවන  සම්මතයට පරිබාහිර වූ කරුණු වේ.

හයවැන්න: මහා පාපයන් සහ වැරදි සිදු කිරීම හේතුවෙන් කිබ්ලා දෙසට මුහුණලන අය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් නොකර සිටීම. කවාරිජ්වරුන් එවැන්නන් ඉස්ලාමයෙන් බැහැර වූවන් ලෙස සලකයි. නමුත් ‌දේව විශ්වාසය සහිත සහෝදරත්වය, පව්කාරකම් සමඟින් පවා ස්ථිරව පවතී. පව්කාරයින් පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය වනාහි : "ඔහුගේ විශ්වාසය අනුව ඔහු දේව විශ්වාසවන්තයෙකි, ඔහුගේ මහා පාපය අනුව ඔහු දූෂිතයෙකි" යන්නයි.

දෙවන පරිච්ඡේදය: නැමඳුම හා බැඳුණු කරුණු.

පළමු විමර්ශනය: පිරිසිදුකම:

තහාරා (පිරිසිදුකම): එහි පදානුගත අර්ථය වනුයේ මානසික හා භෞතික කිලිටි වලින් මිදීම හා පිරිසිදු වීමය.

(ආගමික වශයෙන්) භාවිතානුගත අර්ථය නම්: කිලිටි වලින් ඉවත් වීම හා අපවිත්‍ර දෑ ඉවත් කිරීමය. පිරිසිදුකම සලාතයේ යතුරයි, එබැවින්, එය හැදෑරීම හා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම මුස්ලිම්වරයෙකුගේ ආගමික කටයුතු අතරින් ඉතා වැදගත් කාර්යයක් වේ.

පළමුව: ජල වර්ග:

1- පිරිසිදු ජලය; එයින් පිරිසිදු වීම වලංගු වේ. එය මවනු ලැබූ ස්වභාවයෙන්ම පැවතුණ ද එලෙසමය.  උදාහරණ ලෙස වැසි ජලය හෝ ගංගා ජලය හෝ සාගර ජලය. එසේ නැතහොත්, එය පිරිසිදු ද්‍රව්‍යයක් සමඟ මුසු වී, එහි සීමාව ඉක්මවා ගොස් එහි නාමය අහිමි නො වන තත්ත්වයේ තිබුණ ද එලෙසමය.  

2- අපවිත්‍ර ජලය: එය භාවිතා කිරීම වලංගු වන්නේ නැත. කිලිටි ඉවත් කරන්නේ ද නැත. නජීස් (අපවිත්‍ර දෑ) ඉවත් කරන්නේ ද නැත. එය යම් අපවිත්‍ර දෙයක් හේතුවෙන් එහි වර්ණය, සුවය හෝ ගන්ධය වෙනස් වූ ජලයයි.

දෙවනුව: නජාසා (අපවිත්‍රතාවය):

නජාසා යනු නියමිත අපවිත්‍රතාවයකි. එහි වර්ග සලාතයට බාධා පමුණුවයි. එය මල මූත්‍රා, රුධිරය සහ එවැනි වෙනත් දෑ ශරීරයේ හෝ යම් ස්ථානයක හෝ ඇඳුමේ තැවරී තිබෙන්නාක් මෙනි.

සියලු දෑවල මූලික ස්වභාවය, අනුමතය හා පිරිසිදුය යන්නයි. කිසිවෙකු කිසිවක් කිලිටි බව පවසන්නේ නම්, ඔහු ඒ සඳහා සාධක ඉදිරිපත් කළ යුතුය. සෙම, මිනිස් දහඩිය සහ බූරු දහඩිය අපිරිසිදු ලෙස නොසැලකේ. ඒවා අප්‍රසන්න වුවද පිරිසිදු ය. සෑම අපවිත්‍ර දෑම කිලිටි වන අතර එහි කිලිටි වූ සියල්ලක්ම අපවිත්‍්‍ර නොවේ.

අපවිත්‍ර දෑ සඳහා මට්ටම් තුනක් ඇත:

පළමුව: දැඩි අපවිත්‍රතාව;

උදාහරණ ලෙස: සුනඛයා විසින් ලෙවකන ලද දෑවල අපවිත්‍රතාවය. එය පිරිසිදු කිරීමේ ක්‍රමය වන්නේ, පළමු වතාවෙහි පසෙන් පිරිසිදු කරමින්, සත් වරක් ජලයෙන් සෝදා හැරීමයි.

දෙවැන්න: මෘදු අපවිත්‍රතාව:

උදාහරණ ලෙස: කුඩා පිරිමි දරුවකුගේ මූත්‍රා වස්ත්‍රයක හෝ එවැනි යමක් මත වැදීම. එය පිරිසිදු කිරීමේ ක්‍රමය: එය ආවරණය වන තෙක් ජලය වක් කිරීම යි. එවිට ඇතිල්ලීම හෝ පීරීම හෝ අවශ්‍ය වන්නේ නැත.

තුන්වැන්න: මධ්‍යස්ථ අපවිත්‍රතාවය:

මිනිසාගේ මල මූත්‍රා සහ අනෙකුත් බොහෝමයක් නජීස් වර්ග, භූමියේ හෝ ඇඳුමක හෝ එවැනි දෙයක් මත වැටී ඇති විටෙක, ඒවා පිරිසිදු කිරීමේ ක්‍රමය: අපිරිසිදුකමක් තිබේ නම්, අපිරිසිදුකම ඉවත් කිරීම. එය තැවරී ඇති ස්ථානය ජලය හෝ වෙනත් පිරිසිදු කිරීමේ මාර්ග භාවිතයෙන් පිරිසිදු කිරීම.

සාක්ෂි හා සාධක මඟින් අපවිත්‍ර බවට හඳුනා ගත් කරුණු:

1- මිනිසාගේ මළ මූත්‍රා.

2- මදි සහ වදි5.

3- ආහාරයට ගත නොහැකි සත්වයන්ගේ අශූචි.

4- ඔසප් රුධිරය හා දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය.

5- සුනඛයාගේ කෙල

6- මිය ගිය සතුන්, පහත සඳහන් දෑ හැර:

අ- මිනිසා මිය ගිය විට.

ආ- මිය ගිය මත්සයා හා ජුරාද් නම් පළගැටි වර්ගයා.

ඇ- රුධිර ගමන් කිරීමක් නොමැති මිය ගිය සතුන්; මැස්සන්, කුහුඹුවන්, මී මැස්සන් වැනි දෑ.

ඈ- මියගිය සතුන්ගේ ඇටකටු, අං, නිය, කෙස් සහ පියාපත්.

අපවිත්‍රතාවය පිරිසිදු කිරීමේ ක්‍රමය වන්නේ:

1- ජලය භාවිතය, එය අපිරිසිදුකම් පිරිසිදු කිරීමේ මූලය වන අතර, හේතුවක් නොමැතිව වෙනත් මූලයක් භාවිත නොකළ යුතුයි.

2- අපවිත්‍ර දෙයක් හෝ අපවිත්‍ර වූ දෙයක් පිරිසිදු කිරීම පිළිබඳ ශරීආව මඟපෙන්වා දී ඇති නීති:

අ- මිය ගිය සතුන්ගේ හම් පදම් කළ විට එය පිරිසිදු වෙයි.

ආ- භාජනයක් සුනඛයා ලෙව කෑ විට කිරීම සත් වරක් සෝදා හැරිය යුතුය. පළමු වාරය පසින් විය යුතු ය.

ඇ- ඇඳුමට ඔසප් රුධිරය තැවරුණු විට, එය පිරිසිදු කිරීම සඳහා මුලින්ම එය හොඳින් සූරා ඉවත් කර; පසුව ජලයේ ගිල්වා, පසුව එය සෝදා හැරීම. ඉන් පසුව පවා ලේ පැල්ලමක් ඉතිරි වී තිබේ නම්, එය කිසිදු හානියක් සිදු කරන්නේ නැත.

ඈ- කාන්තාවකගේ ඇඳුම භූමියේ වැඳුණු පසු එහි අග පිරිසිදු කිරීම.

ඉ- පිරිමි ළදරුවෙකුගේ මුත්‍රා (තැවරුණු තැන) ඉසීමෙන් සහ ගැහැණු ළදරුවෙකුගේ මුත්‍රා (තැවරුණු තැන) සේදීමෙන් ඇඳුම පිරිසිදු කිරීම.

ඊ- 'මදි' යෙන් ඇඳුම පිරිසිදු කිරීම; එය අදාළ ස්ථානය මත ජලය ඉසීමෙන් පිරිසිදු කිරීම.

උ - පාවහන් පතුල පිරිසිදු කිරීම; එය පිරිසිදු භූමි ප්‍රදේශයක් මත ඇතිල්ලීම තුලිනි.

ඌ - පොළව මත ඇති අපවිත්‍රතාවය ඉවත් කිරීම; එම ස්ථානය මත ජල බාල්දියක් වක් කිරීම හෝ එය හිරු එළියෙන් හෝ සුළඟෙන් හෝ එය වියළෙන තෙක් අත්හැරීම. එවිට එහි අපවිත්‍රතාවයේ ලක්ෂණ නැති වූ විට එය පිරිසිදු වේ.

තුන්වැන්න: කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු:

සුළු හෝ මහා කිල්ලට ග්‍රහණය වූ අයට තහනම් වූ කරුණු:

1- අනිවාර්ය හෝ අතිරේක සලාතය; නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

«لَا يَقْبَلُ اللَّهُ صَلاَةً بِغَيْرِ طُهُورٍ».

"පිරිසිදුකමින් තොර ව සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත."6

2- අල් කුර්ආනය ස්පර්ශ කිරීම; අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අම්ර් ඉබ්නු හසම් (රළියල්ලාහු අන්හු) තුමාණන්ට ලියූ ලිපියෙහි සඳහන්ව ඇති ආකාරයට:

«لَا يَمَسُّ الْقُرْآنَ إِلَّا طَاهِرٌ».

"අල්-කුර්ආනය පිරිසිදු අයෙකු හැර වෙන කිසිවෙකු ස්පර්ශ නොකළ යුතුය."7

3- බයිතුල් අතීක් (කඃබතුල්ලා) වටා තවාෆ් කිරීම; එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුවය.

«الطَّوَافُ بِالْبَيْتِ صَلَاةٌ، إِلَّا أَنَّ اللَّهَ أَبَاحَ فِيهِ الْكَلَامَ».

තවාෆ් (කඃබාව වටා ගමන් කිරීම) සලාත් වැනි නැමදුමකි. එහෙත්, එහිදී කතා කිරීමට අල්ලාහ් අවසර දී ඇත.8 නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තවාෆ් සඳහා වුළූ ධෝවනය කළහ. ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාව දේව නිවස තවාෆ් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වළක්වා ඇත්තාහ, එය ඇය පිරිසිදු වන තෙක්ය.

මහා කිල්ලට ග්‍රහණය වූ අය වෙත තහනම් වූ විශේෂ කරුණු වනුයේ:

1. අල් කුර්ආන් පාරායනය; එය අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයකට අනුවය: අල් කුර්ආනයේ කිසිවක් හෝ කියවීමෙන් එතුමාණන් (නබි තුමාණන්) ඔහුව වැළැක්වූයේ නැත. (නමුත් එය) ජනාබත් තත්ත්වය නොවීය."9.

2- වුළු නොමැති ව මස්ජිදයේ රැඳී සිටීම; එය උත්තරීතර අල්ලාහ් ප්‍රකාශය අනුව ය.

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡرَبُواْ ٱلصَّلَوٰةَ وَأَنتُمۡ سُكَٰرَىٰ حَتَّىٰ تَعۡلَمُواْ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغۡتَسِلُواْ...﴾

"අහෝ විශ්වාස කළවුනි! නුඹලා මත්ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නො වනු. තවද කිලිටි තත්ත්වයේ සිටින්නා ද ස්නානය කරන තෙක් (සලාතයට) ළං නො වනු. එහෙත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නෙකු හැර." (අන්-නිසා: 43)

මහා කිල්ලට ග්‍රහණය වූ පුද්ගලයකු වුළු ගත් විට මස්ජිදයේ රැඳී සිටීමට ඔහුට අවසරය ඇත. මහා කිල්ලට ග්‍රහණය වූ අයට මස්ජිදයෙහි වාඩි නොවී ඒ හරහා යෑමට පමණක් අනුමැතිය ඇත.

හතරවැන්න: ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු සදාචාර ධර්ම.

ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු සතුටුදායක කරුණු:

1- වැසිකිලි යාමේ දී පුද්ගලයන්ගෙන් දුරස්වීම හා ආවරණය කර ගැනීම.

2- ඇතුල්වීමේදී කියවිය යුතු ප්‍රාර්ථනාව මෙසේය:

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ».

"අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබ්සි වල් හඃබාඉසි" (අහෝ දෙවිඳුනි, පිරිමි හා කාන්තා නපුරු බලවේගවලින් ආරක්ෂාව සැබැවින්ම මම ඔබෙන් පතමි.)10.

ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී පහත සඳහන් කරුණු අනුගමනය කිරීම අනිවාර්ය වේ.

1- මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු වීම.

2. නිරුවත වසා ගැනීම.

ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේ දී පහත සඳහන් කරුණු තහනම් වේ:

1- කිබ්ලාවට මුහුණ ලෑම හෝ පිටුපස ලෑම.

2- මිනිසුන් යන එන මාර්ග සහ ඔවුන්ගේ පොදු ස්ථානවල ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීම.

3- රැඳී පවතින ජලය තුළ මුත්‍රා කිරීම.

මල පහ කිරීමේදී පහත සඳහන් කරුණු පිළිකුල් සහගත වේ:

1- ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේ දී දකුණු අතින් ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරීම.

2- ජලය, ගල් ගැට හෝ ඊට සමාන දෑ භාවිත කරමින් දකුණු අතින් පිරිසිදු කිරීම.

3- ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේ දී කතා කිරීම පිළිකුල් සහගතය. විශේෂයෙන්ම අල්ලාහ්ගේ නම සිහි කරමින් කතා නොකළ යුතුය.

පස්වනුව : ජලෙයන් හා ගල් ගැට හෝ ඊට සමාන දෑ භාවිත කරමින් පිරිසිදු කිරීම පිළිබඳ නීති :

ඉස්තින්ජා: මල මූත්‍රා පිටතට යන ස්ථානයේ තැවරී ඇති අපවිත්‍රය ජලය භාවිතයෙන් ඉවත් කිරීම.

ඉස්තිජ්මාර්: මල මූත්‍රා පිටතට යන ස්ථාන දෙකේ තැවරී ඇති දෑ ජලය භාවිත කිරීමෙන් තොරව ගල් හෝ පිස්නයක් මගින් ඉවත් කිරීමයි.

ඉස්තිජ්මාර් (ගල් මගින් පිසිසිදු) කිරීමේ දී පිළිපැදිය යුතු කොන්දේසි:

1- භාවිතයට අනුමත ගලක් විය යුතුය.

2- එය පිරිසිඳු තත්ත්වයේ තිබිය යුතුය.

3- පිරිසිඳු කරන්නක් විය යුතුය.

4- අස්ථි කොටස් හෝ සත්ව අශූචි නොවිය යුතුය.

5- සර්වබලධාරී අල්ලාහ්ගේ නාමය ඇතුළත් පත්‍රිකා වැනි ගෞරවයට පාත්‍ර යමක් නොවිය යුතුය.

ඉස්තිජ්මාර් (ගල් භාවිත කරමින් පිරිසිදු) කිරීමේ දී කොන්දේසි දෙකක් යටතේ ඒ සඳහා අවසරය ඇත.

1- පිටවන අපවිත්‍රය සාමාන්‍යයෙන් පිටවන ස්ථානය ඉක්මවා නොයා යුතුය.

2- ගලින් පිරිසිදු කිරීම සඳහා පිරිසිදු ගල් තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් භාවිතා කළ යුතුය.

හයවැන්න- වුළුඃ හා බැඳුණු නීති:

නැමදුම් වර්ග තුනක් සඳහා වුළුඃ අනිවාර්ය වේ:

1- සලාතය; එය අනිවාර්යය හෝ අතිරේක හෝ වේවා.

2- අල් කුර්ආනය ස්පර්ශ කිරීම.

3- තවාෆ් කිරීම.

වුළුඃ සඳහා වූ කොන්දේසි:

1. ඉස්ලාමය තුළ සිටීම

2. සිහි බුද්ධියෙන් පසුවීම

3. වෙන්කර හඳුනා ගත හැකි වයස් සීමාවක පසුවීම

4. නිය්යත් හෙවත් චේතනාව: එහි නියමිත ස්ථානය හදවතයි, එය වචනයෙන් ප්‍රකාශ කිරීම බිද්අත් හෙවත් අලුතින් බිහි වූවකි. කවරෙකු වුළු ධෝවනය කිරීමට අපේක්ෂා කරන්නේ ද ඔහු චේතනාව තබා ඇත යනුවෙන් සලකනු ලැබේ. වුළු ධෝවනයේ අවයව සෝදන විට ඒවා සිසිල් කර ගැනීමේ හෝ සාමාන්‍ය ලෙස පිරිසිදු කිරීමේ අදිටනින් සිදු කර ඇත්නම්, එය වුළු ධෝවනයක් නොවේ.

5- එය අඛණ්ඩව පවත්වාගෙන යාම:  එනම්, තමන් පවිත්‍රවීම සම්පූර්ණ වන තෙක් එය අත්හැරීමට චේතනා නොකිරීමෙනි.

6- වුළු අනිවාර්යය කරන කරුණ නතර වී තිබීම, එහෙත් නිතර මූත්‍රා පිටවන අය සහ මුස්තහාළා හෙවත් නියමිත ඔසප් කාලයට අමතරව රුධිර වහනය සිදු වන අය මෙයින් ව්‍යතිරේක වේ.

7. මුත්‍රා හෝ මලපහ කළ අයෙකු ජලෙයන් හෝ ගල් ගැට හෝ ඊට සමාන දෑ භාවිත කරමින් පිරිසිදු වීම.

8. ජලයෙහි පිරිසිදුකම හා එහි අනුමතභාවය.

9- ශරීරයට ජලය ගලා යෑම අවහිර කරන යමක් ශරීරයේ තිබුණේ නම් එය ඉවත් කිරීම.

10- නිතර කිල්ලට හසු වන අය සඳහා, නියමිත නැමදුමෙහි නියමිත වේලාව පැමිණීම, 

වුළු හි අනිවාර්යය දෑ:

1- මුහුණ සේදීම, ඒ අතරින්: උගුර කට ගාමින් කට සේදීම හා නාසයට ජලය ගලා යන්නට සලස්වා නාසය සේදීම.

2- අත් දෙක වැළමිට ඇතුළු ව සේදීම.

3- හිස සම්පූර්ණයෙන්ම පිරිමැදීම සහ ඉන්ම (එම තෙත් අතින්ම) කන්දෙක පිරිමැදීම.

4- දෙපා වළලු කර ඇතුළු ව සේදීම.

5- වුළූහි අවයව අතර පිළිවෙළ පවත්වා ගැනීම.

6- අල්-මුවාලාත්: එනම් අවයවයන් අතර දීර්ඝ වෙන් කිරීමක් නොකොට අඛණ්ඩව ඉටු කිරීම.

වුළු හි ක්‍රමය:

1- ආරම්භයේදී බිස්මිල්ලාහ් (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) යනුවෙන් පැවැසීම.

2- අත් දෙක තුන් වරක් සේදීම.

3- මුහුණ තුන්වරක් සේදීම, ඒ අතරින් උගුර කට ගාමින් කට සේදීම හා නාසයට ජලය යවා පිරිසිදු කිරීම ද අයත් වේ.

4- අත් දෙක වැලමිට දක්වා තුන් වරක් සේදීම, දකුණු අතෙන් ආරම්භ කර පසුව වම් අත.

5- හිස තෙත් අතින් පිරිමැදීම සහ කන් දෙක පිරිමැදීම.

6- දෙපා වළලු කර දක්වා තුන් වරක් සේදීම, පළමුව දකුණු පාදයෙන් පසුව වම් පාදය.

වුළු අවලංගු වන කරුණු:

1- මළ මූත්‍රා, වාතය, මලපහ වැනි දෑ ගුද හා ලිංග මාර්ග දෙකින් පිටවීම.

2- ශරීරයෙන් පිටවන අප්‍රසන්න හා අපවිත්‍ර දෑ.

3- නින්ද හෝ වෙනත් යම් හේතුවක් මගින් සිහි විකල්වීම.

4- ලිංගික ප්‍රදේශ හෝ ගුද මාර්ගය ආවරණයකින් තොරව අතින් ස්පර්ශ කිරීම.

5- ඔටු මස් අනුභව කිරීම.

6- ඉස්ලාමයෙන් බැහැරවීම, අල්ලාහ් අප හා මුස්ලිම්වරුන් එවැනි තත්වයකින් ආරක්ෂා කරත්වා.

හත්වැන්න: මේස් සපත්තු සහ හම් උර මත පිරිමැදීමේ නීති:

1- අල් කුෆ් යනු: පාද දෙකෙහි පැළඳ සිටින සම් උර හෝ එවැනි වෙනත් දෑ ය.

2- අල්-ජව්රබ්: පාද දෙකෙහි පැළඳ සිටින උරය, එය ලොම් හෝ කපු හෝ එවැනි වෙනත් දැයකින් නිමවී තිබිය හැක.

එම දෙක මත මස්හ් කිරීමේ කොන්දේසි:

1- පූර්ණ පිරිසිදු වීමකින් පසු ඒ දෙක පැලඳ තිබිය යුතුය.

2- දෙපා වළලුකර ඇතුළු ව ආවරණය වී තිබිය යුතුය.

3- ඒ දෙක පිරිසිදුව තිබිය යුතුය.

4- පිරිමැදීම සීමා කරන ලද කාලය තුළ විය යුතුය.

5- ස්නානය කරන අවස්ථාවේ නොව, වුළු ගන්නා විට පිරිමැදීම සිදු විය යුතුය.

6- සම් පා උර හා ඒ සමාන දෑ අනුමත ලත් ආකාරයෙන් තමන් සතු විය යුතුය. එය බලහත්කාරයෙන් ගත් දෙයක් වී නම් හෝ පිරිමි පාර්ශවය සම්බන්ධයෙන් ගත් කළ සේද රෙද්දෙන් වී නම්; ඒ මත පිස දැමීමට අවසරය නැත. මන්ද තහනම් කර ඇති දෑ මගින් වරප්‍රසාදය ලබා ගැනීමට නොහැකි බැවිනි.

පිරිමැදීමේ කාලය:

පදිංචිකරුවා: දහවලක් හා රාත්‍රියක්, මගියා: දහවල් තුනක් හා රාත්‍රී තුනක්.

මස්හ් කිරීමේ ක්‍රමය:

අත ජලයෙන් තෙමා, පාද ඇගිලි සිට කෙණ්ඩය දක්වා, මේස් උර හෝ හමින් සාදන ලද උරට මතුපිටින් එක් වරක් පිරිමැදීම.

පිරිමැදීම අවලංගු වන කරුණු.

1- පිරිමැදීමේ කාලය අවසන් වීම.

2- පා උරවල් දෙක හෝ ඉන් එකක් හෝ ගලවා දැමීම.

3. මහා කිලිටි තත්ත්වයක් ඇතිවීම.

කුෆ්ෆයින් හෙවත් පා උර මත පිරිමැදීමේ නීතිය.

එය විකල්ප වරප්‍රසාදයකි. අල්ලාහ්ගෙන් වූ වරප්‍රසාදයක් ලෙස ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ආදර්ශයක් ලෙස ද ආගම තුළ නව එකතු කිරීම් කරන අයට කරන විරුද්ධවීමක් ලෙස ද ගෙන එලෙස ක්‍රියා කිරීම මේස් උර දෙක ගලවා දෙපා සේදීමට වඩා  උතුම්ය.

3- අල්-ජබාඉර් හෙවත් ඝණ වෙළුම් පටි, අල්-අසාඉබ් හෙවත් කපු වෙළුම් පටි හා අල්ලුසූක් හෙවත් පැලැස්තර මත මස්හ් කිරීම:

අල්-ජබාඉර් හෙවත් ඝණ වෙළුම් පටි: එය අස්ථී කැඩීමක දී ඒ මත බඳින ජිප්සම් හෝ එවැනි ඝණ වර්ගයකින් වෙළුම් කරන ලද දේවල් ය.

අල්-අසාඉබ් යනු තුවාල, තැලීම් හෝ පිළිස්සීම් තුවාල වැනි දෑ මත රෙදි වැනි දෙයකින් වෙළුම් කරන ලද දේවල් ය.

ලුසූක්: තුවාල හෝ බිබිලි සුව කිරීම සඳහා ඒ මත අලවා ඇති පැලැස්තර වැනි දේවල්ය.

ඒ මත මස්හ් කිරීමේ නීතිය:

එය තබා ගැනීමට අවශ්‍ය වූ විටෙක, අවශ්‍ය ස්ථානය ඉක්මවා නොයෑමේ කොන්දේසිය මත  ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇත.

අවශ්‍යතාවය අවසන් වූ විට, හෝ එය ගලවා ඉවත් කිරීමෙන් පසු අපහසුවක් හෝ හානියක් ඇති නොවන විටෙක, එය අනුමත නොවේ.

ඒ මත මස්හ් කිරීමේ ක්‍රමය:

ඒ අවට සෝදා, සියලුම පැතිවලින් (එය ආවරණය වන සේ) මස්හ් කරයි, වුළුඃ ධෝවනය සඳහා අනිවාර්යය වන ස්ථානයට අමතරව මස්හ් කිරීම නොකළ යුතුය.

අටවැන්න: තයම්මුම්හි නීති රීති:

තයම්මුම් යනු:  පිරිසිදු වීමේ චේතනාව සමග නියමිත ක්‍රමයක් පිළිපදිමින් පිරිසිදු පසින් මුහුණ හා අත් දෙක පිරිමැදීමය. 

එහි නීතිය නම්,

ජලය නොමැති වූ විටෙක හෝ එය භාවිතා කිරීමට නොහැකි වූ විටෙක වුළු හා ජල ස්නානය වෙනුවට තයම්මුම් කළ යුතුය.

ආගමානුගත කිරීමේ හේතුව:

තයම්මුම් යනු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයාට පිරිනමන ලද විශේෂාංගයකි, පෙර සමාජයන් අතර ප්‍රචලිත නොවූ මෙම ක්‍රමය, මෙම සමූහයාට අල්ලාහ් විසින් ලබා දී ඇති විශාල වරප්‍රසාදයක් හා ඔහුගේ අතිමහත් උපකාරශීලී භාවයකි.

තයම්මුම් නීතිගත වන අවස්ථා:

1- ජලය නොමැති වූ විටෙක, එය පදිංචි ස්ථානයේ දී හෝ ගමන් ගන්නා ස්ථානයේ දී හෝ නොමැති වුව ද, එය සෙවීමෙන් පසු නොලැබුණු විටෙක.

2- බීමට හෝ ආහාර පිසීමට අවශ්‍ය ජලය පමණක් තිබෙන විටෙක. එනම් එම ජලය පිරිසිදු කිරීම සඳහා භාවිත කළ විටෙක තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේදී අපහසුතාවක් ඇති විය හැක. පිපාසය හේතුවෙන් තම ජීවිතයට හෝ සෙසු අයගේ ජීවිතයට හෝ සතුන්ගේ ජීවිතයට හෝ යම් බලපෑමක් ඇති විය හැක.

3- ජලය භාවිත කළ විටෙක රෝගී බව හේතුවෙන් තම ශරීරයට බලපෑම් ඇති වේ, එසේ නැතිනම් සුව වීමට ප්‍රමාද වේ යන බියක් ඇති වූ විටෙක.

චලනය වීමට නොහැකි රෝගී තත්ත්වයක සිටිය දී ජලය භාවිත කිරීමට නොහැකි අවස්ථාවක, ඔහුට වුළු කර දීම සඳහා සහයකයකු නොමැති වූ අවස්ථාවක සලාතයේ වේලාව මඟ හැරෙනු ඇතැයි බියක් ඇති වූ විටෙක.

5- ජලය භාවිත කිරීමෙන් සීතල ඇති වේ යැයි බියක් ඇති වූ විටෙක එය උණුසුම් කිරීමට කිසිවක් නොමැති නම්, තයම්මුම් කර නැමදුම් ඉටු කළ යුතුය.

තයම්මුම්හි ක්‍රමය:

තමාගේ ඇගිලි ඈත් කරමින් පස් මත ගසා, පසුව ඇගිලි ඇතුළතින් මුහුණ පිරිමදිමින් සහ තම අත්ලෙන් අත් දෙක පිරිමදිමින් මුහුණ හා අත් දෙක සම්පූර්ණයෙන්ම මස්හ් කිරීම.

තයම්මුම් අවලංගු වන කරුණු:

1- ජලය නොමැතිකම හේතුවෙන් තයම්මුම් කර ඇත්නම්, ජලය ලැබුණු විටෙක. එසේ නැතිනම් ජලය භාවිතා කිරීමට නොහැකි වූ නිසාවෙන් තයම්මුුම් කර ඇත්නම්, ජලය භාවිතා කිරීමට හැකියාව ලැබුණු විටෙක.

2- වුළු අවලංගු කරන දෙයකින් හෝ සංසර්ගය, ඔසප් භාවය හා දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වැනි ස්නානය අනිවාර්යය කරන කරුණකින් තයම්මුම් අවලංගු වේ.

ජලය හා තයම්මු භාවිතය කළ නොහැකි අයගේ ආගමික නීතිය:

ජලය සහ පස නොමැති විටෙක හෝ ජලය හෝ පස ස්පර්ශ කිරීමට නොහැකි තත්ත්වයකට පත්වූ විටෙක, ඔහු වුළු හෝ තයම්මුම් කිරීමෙන් තොරව පවතින තත්ත්වය අනුව සලාතය ඉටු කරයි. මක්නිසාද අල්ලාහ් කිසිම ආත්මයකට එහි හැකියාවට වඩා බරක් නොදෙන බැවිනි. එසේම ජලය හා පස් පසුව ලැබුණු විටෙක හෝ එය පරිහරණය කිරීමට හැකි වූ විටෙක, ඔහු කළ නැමදුම නැවත ඉටු කළ යුතු නැත. මක්නිසාද ඔහුට නියමිත වූ දේ ඔහු විසින් සිදු කර ඇති බැවිනි. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුගතවය. 

﴿...فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ...﴾

"එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු." (අත්-තඝාබුන්: 16) එමෙන්ම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශයට අනුගතවය.

«إِذَا أَمَرْتُكُمْ بِأَمْرٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ».

"මම නුඹලාට යමක් නියෝග කළ විට නුඹලාගේ හැකියාවේ තරමට එය ගෙන එනු"11.

වැදගත් කරුණ නම්: ජනාබත් තත්ත්වය සඳහා තයම්මුම් කළ පසු ජලය ලැබුණේ නම්, ඔහු ස්නානය කර ගත යුතුය.

නවවැන්න: ඔසප් තත්ත්වය හා දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය පිළිබඳ නීති රීති.

පළමුව: ඔසප් වීම

එය ස්වභාවික හා සහජයෙන් නියමිත කාලවල දී ගැබේ පතුලෙන් වහනය වන රුධිරයයි. සාමාන්‍යයෙන් සෑම මාසයකම දින හයක් හෝ හතක් ඔසප් පිටවීම සිදුවේ, නමුත් එය වැඩිවිය හැකි අතර අඩුවිය ද හැක. කාන්තාවකගේ මාසය දික්විය හැක; අඩුවිය ද හැක; එසේ සිදුවනුයේ උත්තරීතර අල්ලාහ් විසින් ස්වභාවය අනුව සකස් කර ඇති පරිදි ය.

හයිළ් හෙවත් ඔසප් වීම පිළිබඳ නීති රීති.

1. ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවක් ඔසප් කාලය තුළ සලාත් ඉටු කිරීම හෝ උපවාසයේ නිරත වීම අනුමත නොවේ, එය ඇයට වලංගු වන්නේ නැත. 

ඔසප් තත්ත්වයෙන් පිරිසිදු වූ කාන්තාවක් තමන් විසින් අත්හළ සලාතය හැර අත්හළ උපවාසය පමණක් නැවත ඉටු කළ යුතු ය.

3. ඇයට කඃබතුල්ලාහ් වටා තවාෆ් කිරීම අනුමත නොවේ. අල්-කුර්ආනය ඇය පාරයනය නොකළ යුතුය. මස්ජිදයේ රැඳී නොසිටිය යුතුය. 4- ඇයගේ ඔසප් තත්ත්වය නතර වී ඇය ස්නානය කර ගන්නා තෙක් ඇයගේ සැමියා ඇය සමඟ යෝනි මාර්ගයෙන් සංසර්ගයේ යෙදීම ඔහුට තහනම් වන්නේය.

5. ඔසප් තත්ත්වයේ පසු වන කාන්තාව සමඟ සංසර්ගයේ නිරත නොවී ඇය ව ස්පර්ශ කිරීම, සිප ගැනීම යනාදි ලෙස ඇයගෙන් පහස විදීම ඇයගේ සැමියාට අනුමතය.

6- ඇය ඔසප් තත්ත්වයේ පසු වන විට ඇය ව දික්කසාද කිරීම ඇයගේ ස්වාමියාට අනුමත නොවේ.

තුහුර් හෙවත් පිරිසිදු කාලය යනු රුධිර වහනය නැවතී යාමය. රුධිරය නතර වූ විට ඇය පිරිසිදු වන්නීය. ඇයගේ ඔසප් කාලය අවසන් වී යයි. එවිට ස්නානය කර ගැනීම ඇයට අනිවාර්යය වේ. ඉන්පසු ඔසප් තත්ත්වය හේතුවෙන් ඇයට තහනම් වූ සියලු දෑ ඇයගෙන් ඉවත් වෙයි.

පිරිසිදු වීමෙන් පසු ඇය බොර පැහැති හෝ කහ පැහැති යමක් දුටුවේ නම්, එය නොසලකා හරී.

දෙවනුව: - දරු ප්‍රසූතියෙන් පසු පිටවන රුධිරය

මෙය දරු ප්‍රසූතිය සඳහා සහ ඊට පසු ගර්භාෂයෙන් වහනය වන රුධිරයයි, එය ගර්භණී සමයේදී රඳවා තිබූ රුධිරයේ ඉතිරි කොටසයි.

නිෆාස් තත්ත්වය ද හය්ල් තත්ත්වය හා සමානය. එබැවින් යෝනි මාර්ගය තුළ ලිංගික සංසර්ගයෙන් තොරව වෙනත් ආකාරයකින් පහස විදීම අනුමත ය. 

තහනම් කර ඇති කරුණු අතරට  ලිංගික සංසර්ගය, උපවාසය, සලාතය, දික්කසාදය, කඃබාව වටා තවාෆ් කිරීම, අල්-කුර්ආනය කියවීම සහ මස්ජිදය තුළ රැඳී සිටීම ඇතුළත් වේ. ඔසප් තත්ත්වයේ පසුවූ කාන්තාවක් මෙන්ම ඇයගේ රුධිරය නවතින විට ස්නානය කිරීම අනිවාර්ය වේ.

ඔසප් තත්ත්වයේ පසු වූ කාන්තාව මෙන්ම ඇය සලාතය නැවත ඉටු නොකර, උපවාසය පමණක් නැවත ඉටු කළ යුතු ය.

නිෆාස් හි උපරිම කාලය වනුයේ දින හතළිහකි. දින හතළිහකට පෙර නිෆාස් තත්ත්වයේ පසු වන කාන්තාවන්ගේ රුධිර වහනය නැවතුණේ නම් ඇයගේ නිෆාස් තත්ත්වය අවසන් වේ. එවිට ඇය ස්නානය කොට සලාතය ඉටු කළ යුතුය. නිෆාස් තත්ත්වයෙන් ඇයට තහනම් කරනු ලැබූ සියල්ල ඇයගෙන් ඉවත් වී යයි.

දෙවන විමර්ශනය: සලාතය:

පළමුව: අදාන් හා ඉකාමත් පිළිබඳ නීති රීති:

හිජ්රි පළමුවැනි වසරේම අදාන් ආගමානුගත කරන ලදී. එහි නීතිගත වීමට හේතුව: නබිතුමාගේ සහගාමීන් හට සලාතයේ කාල සීමාවන් දැන ගැනීම අපහසු වූ කල්හි එයට සංඥාවක් ස්ථාපනය කිරීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කළහ. අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හු) තුමාට මෙම අදාන් ක්‍රමය හීනෙන් පෙන්වන ලදී. පසු ව දේව පණිවිඩය එය පිළිගත්තේය.

අදාන් යනු සලාතයේ වේලාව පැමිණ ඇති බව දැනුම් දීම වේ. ඉකාමා යනු සලාතය ආරම්භ කිරීම නිවේදනය කිරීම වේ.

අදාන් හා ඉකාමත් අනිවාර්යය සලාතයන් සඳහා පිරිමි පාර්ශවය මත ෆර්ළු කිෆායා හෙවත් (පිරිසක් විසින් සිදු කරනු ලැබිය යුතු) අනිවාර්යය කටයුත්තක් වේ, ඒ දෙකම ඉස්ලාමයේ ප්‍රකට සළකුණු වන අතර, ඒවා අත්හිටවීම අනුමත නොවේ.

අදාන් සඳහා වූ කොන්දේසි:

1- මුඅද්දින් පිරිමියෙකු විය යුතුය.

2- අදානය පිළිවෙලට පැවසිය යුතුය.

3- අදානය අඛණ්ඩව පිහිටිය යුතුය.

4- අදානය නියමිත වේලාව පැමිණි පසු විය යුතුය. ඒ අතරින් ව්‍යතිරේක වනුයේ ෆජ්ර් හි පළමු අදානය හා ජුමුආ දිනයේ අදානයයි. 

අදාන්හි සුන්නත් හෙවත් වෛකල්පිත කරුණූ :

1- ඔහුගේ දෙකන් තුළ ඔහුගේ ඇගිලි දෙක තැබීම.

2- පළමුවන වේලාවේම අදානය පැවසීම.

3- හය්ය අලස් සලාත් සහ හය්ය අලල් ෆලාහ් යන වචන සමඟ දකුණට සහ වමට හැරීම.

4- ලස්සන හඬකින් යුක්ත වීම.

අදාන්හි වදන් දිගුවට අදිමින් හෝ සීමාව ඉක්මවා යමින් තොරව තැන්පත්ව පැවසිය යුතුය.

6- සෑම වාක්‍යයකදීම නතර කිරීම.

7- අදාන් පවසන අවස්ථාවේ කිබ්ලාව දෙසට හැරී සිටීම.

අදානය පද පහළොවකින් සමන්විතය. එය බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉදිරියේ නිරන්තරයෙන්ම පවසනු ලැබූ ක්‍රමයයි.

අදාන්හි වදන්:

"අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය): සිව් වරක්.

"අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නොමැති බව මම සාක්ෂි දරමි): දෙවරක්.

"අෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ්" (සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි): දෙවරක්.

"හය්ය අලල් සලාහ්" (සලාතය සඳහා සූදානම්ව විගස පැමිණෙන්න): දෙවරක්,

"හය්ය අලල් ෆලාහ්" (ජයග්‍රහණය වෙත පැමිණෙන්න): දෙවරක්. 

පසුව "අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යැයි දෙවරක් පවසයි.

පසුව "ලා ඉලාහ ඉල්ලල්ලාහු" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි එක් වරක් පවසා අවසන් කරයි.

ෆජ්ර් හි ඊට අමතරව 'හය්ය අලල් ෆලාහ්' (ජයග්‍රහණය සඳහා විගස පැමිණෙන්න) යනුවෙන් පැවසීමෙන් පසුව 'අස්සලාතු කයිරුම් මිනන් නව්ම්' (නින්දට වඩා සලාතය උතුම්ය) යනුවෙන් දෙමුරයක් පවසනු ලැබේ. මක්නිසාදයත් එම වේලාවේ ජනයා බොහෝ විට නිදා සිටින බැවිනි. 

ඉකාමත් වදන් එකොළහකින් සමන්විතය. එය ඉක්මණින් පැවසිය යුතුය. හේතුව එය සහභාගී වී සිටින අයට කරන ඇරයුමක් වන බැවිනි. එහි වදන් අදිමින් ඇරයුම් නොකළ යුතුය.

එහි ස්වරූපය පහත සඳහන් පරිදිය:

"අල්ලාහු අක්බර්" (අල්ලාහ් අතිශ්‍රේෂ්ඨය) යැයි දෙවරක්.

"අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නොමැති බව මම සාක්ෂි දරමි): එක් වරක්.

"අෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ්" (සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව මම සාක්ෂි දරමි): එක වරක්.

"හය්ය අලස් සලාත්" (සලාතය වෙත පැමිණෙන්න): එක් වරක්.

"හය්ය අලල් ෆලාහ්" (ජයග්‍රහණය වෙත පැමිණෙන්න): එක් වරක්.

"කද් කාමතිස් සලාත්" (සලාතය ඉටු කිරීමට ආරම්භ විය): දෙවරක්.

"අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය): දෙවරක්.

"ලා ඉලාහ ඉල්ලල්ලාහු" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත.) : එක් වරක්.

අදාන් ඇසූ විට මුඅද්දින් පවසන පරිදිම පැවසීම සතුටුදායක ක්‍රියාවකි. නමුත් 'හය්ය අලස් සලාත්' සහ 'හය්ය අලල් ෆලාහ්' යනුවෙන් පවසන විට 'ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්' (අල්ලාහ්ගෙන් තොරව කිසිදු ශක්තියක් හෝ කිසිදු හැරවුමක් හෝ නැත.) යැයි පවසයි. පසුව, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හට සලවාත් පවසයි. ඉන්පසුව ඔහු මෙසේ පවසයි:

«اللهمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ، إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ».

"අල්ලාහුම්ම රබ්බ හාදිහිද් දඃවතිත් තාම්මා වස්සලාතිල් කාඉමා ආති මුහම්මදන් අල් වසීලත වල් ෆළීලා. වබ්අස්හු මකාමන් මහ්මූදනිල්ලදී වඅද්තහ් -ඉන්නක ලා තුක්ලිෆුල් මීආද්-." (අහෝ දෙවිඳුනි, මෙම පරිපූර්ණ ඇරයුමෙහි හා ඉටු කෙරෙන සලාතයේ පරමාධිපතියාණනි, මුහම්මද්ට වසීලා හෙවත් උපකාරය හා ෆළීලා හෙවත් භාග්‍යය පිරිනමනු මැනව. එමෙන්ම ඔබ ඔහුට පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව. නියත වශයෙන්ම ඔබ පොරොන්දු කඩ නො කරන්නෙහිය.) (12)12

තව දුරටත් මෙසේ පවසයි.

«رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ ﷺ نَبِيًّا» [13].

"රළීතු බිල්ලාහි රබ්බන්, වබිල් ඉස්ලාමි දීනන්, වබි මුහම්මදින් ﷺ නබිය්යන්." (මම අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් මම පිළිගතිමි.) (13) 13

අදාන් පැවසීමෙන් පසු කිසිදු හේතුවකින් තොර ව හෝ නැවත පැමිණීමේ අරමුණින් තොර ව මස්ජිදයෙන් බැහැර ව යාම තහනම් වේ.

සලාත් දෙකක් එක් වරක් ඉටු කරන විට එක් අදාන් ප්‍රකාශයක් පමණක් ප්‍රමාණවත් වේ. නමුත් සෑම සලාතයක් සඳහාම ඉකාමතයක් බැගින් ප්‍රකාශ කරයි.

දෙවැන්න: සලාතයේ ස්ථානය සහ එහි මහිමය:

ෂහාදතයින් හෙවත් ප්‍රතිපත්තිමය ප්‍රකාශ දෙකට පසු ඉස්ලාමයේ වැදගත්ම මූලිකාංගය වනුයේ සලාතයයි. එයට විශේෂ ස්ථානයක් ඇත. අල්ලාහ් එය තම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හට අහසට ආරෝහණය වූ මිඃරාජ් රාත්‍රියේ නියම කළේය. එය එහි වැදගත්කම, එහි අනිවාර්යභාවය සහ එහි ස්ථානය තහවුරු කරන බවට පෙන්වයි.

එහි වැදගත්කම සහ අනිවාර්යභාවය සඳහන් කරමින් හදීස් බොහෝමයක් පැමිණ ඇත. ඉස්ලාම් දහමේ අනිවාර්යයෙන්ම දැනගත යුතු දෑ දැනගැනීම අත්‍යවශ්‍යය.

ඒවායෙහි වැදගත්කම සහ අනිවාර්යතාවය පෙන්වා දෙනුයේ අල් කුර්ආනයේ සහ සුන්නාවේ ඇති බොහෝමයක් නියමයන් ය. ඒවායින් කිහිපයක් මෙසේය:

1- උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය:

﴿...إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا﴾

"සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි." (අන් නිසා: 103) එනම් මෙය අල්ලාහ්ගේ දූතයාණන් ﷺ තම  ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන් පැහැදිලි කර පෙන්වා දුන් කාල වේලාවන්හි අනිවාර්යය කරනු ලැබූවක් බවය.

2- උත්තරීතරයාණන් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි:

﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ...﴾

"තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත්... මිස ඔවුන් අණ කරනු නොලැබුවෝය." (අල් බය්යිනා: 5)

3- උත්තරීතරයාණන් තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි:

﴿فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ...﴾

"එහෙත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත්ව ඉටු කර, zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති..." (අත්-තව්බා: 11)

4- ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ:

«إِنَّ بَيْنَ الرَّجُلِ وَبَيْنَ الشِّرْكِ وَالْكُفْرِ تَرْكُ الصَّلَاةِ».

"මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය."14

5- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَن تَرَكَهَا فَقَدْ كَفَرَ».

"අප අතර හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය අත් හැරියේ ද ඔහු ප්‍රතික්ෂේප කළේය."15

එහි අනිවාර්යභාවය හෙළා දකින අය ප්‍රතික්ෂේප කළ බවට විද්වතුන් ඒකමතික ව එකඟ වී ඇත, කවරෙකු එය මැළිකමින් හා නොසැලකිලිමත්කමින් මඟ හරින්නේ නම්, පෙර සඳහන් සහීහ් හදීසය හා  සහාබාවරුන්ගේ එකඟතාවය අනුව ඔහු දේව ප්‍රතික්ෂේපයෙකු බවට පත් වේ.

තුන්වැන්න: සලාතයේ කොන්දේසි:

1- සලාතයේ නියමිත වේලාව පැමිණ තිබීම.

එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුව ය.

﴿...إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا﴾

"සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි." (අන් නිසා) එනම් නියමිත කාලයන් තුළ අනිවාර්යය කරනු ලැබූවක් යන්නයි.

නියම කරන ලද සලාත් වාර වේලාවන් පහත සඳහන් අයුරිනි.

අ- ෆජ්ර්: අලුයම උදාවීමේ සිට හිරු උදා වන තෙක්.

ආ- ලුහර්: හිරු මුදුණින් අවරට යෑමේ සිට යම් වස්තුවක හෙවණැල්ල එම වස්තුව හා සමාන දිගුවකින් දිස් වන තෙක්.

ඇ- අස්ර්: ලුහර්හි වේලාව අවසන් වීමේ සිට හිරු කහවර්ණයෙන් පවතින කාලය දක්වා. නොවැළැක්විය හැකි හේතුවක් නම් හිරු අවරට යන තෙක් අවසරය ඇත.

ඈ- මග්රිබ්: හිරු අවරට යෑමේ සිට ගොම්මන් වේලාව (රත් පැහැය) මුළුමණින් මැකී යන තෙක්.

ඉ- ඉෂා: මග්රිබ් සලාතයේ අවසානයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා.

2. නිරුවත වසා ගැනීම:

එනම් ප්‍රසිද්ධියේ හෙළි දැක්වීම අශීලාචාර වන එසේ සිදු කිරීමෙන් ලැජ්ජා හිතෙන ශරීරයේ ආවරණය කළ යුතු අනිවාර්යය කොටස වේ. පිරිමියකුගේ අව්රාව හෙවත් නිරුවත (ආවරණය කළ යුතු සීමාව) ඉණටියේ සිට දණහිස දක්වා වේ. සලාතයේදී කාන්තාවක් ඇගේ මුහුණ හැර මුළු ශරීරයම ආවරණය කළ යුතුය. ඇය පිටස්තර පිරිමින් ඉදිරියේ සිටින විට ඇගේ මුහුණ ආවරණය කර ගනී, එනම්: ඔවුන් ඇයට මහ්රම් නොවන අය වෙති.

3- අපවිත්‍රතාවයෙන් වැළකී සිටීම.

නජාසා යනු මල මූත්‍රා රුධිරය වැනි සලාතයට බාධා පමුණුවන නියමිත අපවිත්‍ර දෑය. එය ශරීරයේ, ස්ථානයේ, සහ ඇඳුමේ පවතී නම් එය පිරිසිදු කළ යුතුයි.

4. කිබ්ලාවට මුහුණ ලෑම.

කිබ්ලාව යනු ශුද්ධ වූ කඃබාවයි. එය කිබ්ලා යනුවෙන් නම් තබන ලද්දේ ජනයා එයට මුහුණ ලන බැවිනි.

ඒ අනුව කිබ්ලාවට මුහුණ ලෑමෙන් තොරව සලාතය වලංගු වන්නේ නැත. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුවය.

﴿...وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُ...﴾

"තවද නුඹලා කොතැනක සිටිය ද නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු..." (අල්-බකරා: 144)

5. 'නිය්යත්' හෙවත් චේතනාව පිහිටුවා ගැනීම.

මෙහි භාෂාමය අදහස පැතුමයි, ආගමික අර්ථය වනුයේ: අල්ලාහ් වෙත සමීප වීම උදෙසා වන්දනාමාන කිරීමට ඇති කර ගන්නා වූ අධිෂ්ඨානයයි. එහි ස්ථානය හදවතය. එය මුවින් ප්‍රකාශ කළ යුතු නැත. එසේ ප්‍රකාශ කිරීම අලුතින් බිහි වූ බිද්අත් කරුණකි.

සිව්වැන්න: සලාතයේ අර්කාන් (මූලිකාංග)

එය මූලිකාංග දහහතරකි:

පළමු මූලිකාංගය: හැකියාව ඇති විට නැගී සිටීම:

එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය:

﴿‌...وَقُومُواْ لِلَّهِ قَٰنِتِينَ﴾

"නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු." (අල් බකරා: 238) ඉම්රාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයට අනුව:

«صَلِّ قَائِمًا، فَإِن لَمْ تَسْتَطِعْ فَقَاعِدًا، فَإِن لَمْ تَسْتَطِعْ فَعَلَى جَنْبٍ».

"ඔබ නැගිට සිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න."16

රෝගීභාවය හේතුවෙන් නැගිට සිට සලාතය ඉටු කිරීමට හැකියාවක් නොමැති නම් ඔහුගේ තත්ත්වයට අනුව වාඩිවෙමින් හෝ ඉල පැත්තට ඇලවෙමින් සලාතය ඉටු කළ යුතුය. උදාහරණ ලෙස රෝගී අය, භීතියෙන් පීඩාවට පත් අය, වස්ත්‍ර නොමැතිව නිරුවත් අය, නැගිට සිටීමට නොහැකි අයුරින් යම් ප්‍රතිකාරයක් සඳහා වාඩිවීමට හෝ පැත්තකට ඇලවීමට අවශ්‍ය අය. එසේම නැගී සිටීමට නොහැකි (එම මස්ජිදයට නියම වූ) ඉමාම්වරයකු අනුගමනය කරමින් කෙනෙකු සලාතයට ඉටු කරන්නේ නම්, එවිට එය ඉමාම් ව පිළිපදිමින් වාඩි වී සලාතය ඉටු කිරීමට අවකාශය හිමි වේ. එනම් ඉමාම්වරයා වාඩිවෙමින් සලාතය ඉටු කළ විට ඔහු පසුපස සිට සලාතය ඉටු කරන්නන් ඔහු ව අනුගමනය කරමින් වාඩි වී සලාතය ඉටු කිරීම අනිවාර්යය වේ. නැගී සිටීමට හැකියාව ඇති වුවද වාඩිවී අතිරේක සලාතයන් ඉටු කිරීමට අනුමැතිය ඇත. නමුත් එහි කුසල් නැගී සිටිමින් සලාතය ඉටු කරන්නාට හිමි වන මහිමය මෙන් නොවනු ඇත.

දෙවන මූලිකාංගය: එහි ආරම්භයේ ම ආරම්භක තක්බීරය පැවසීම.

එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුවය: 

«ثُمَّ اسْتَقْبِلِ الْقِبْلَةَ، وَكَبِّرْ».

"පසුව කිබ්ලා දෙසට මුහුණ ලා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන්න."17

තක්බීර් හි ස්වරූපය වනුයේ ‘අල්ලාහු අක්බර්’ (අල්ලාහ් අති ශ්රේෂ්ඨය) යැයි පැවසීමය. ඒ හැර වෙනත් ප්‍රකාශයක් කීම වලංගු වන්නේ නැත.

තුන්වන මූලිකාංගය: සූරතුල් ෆාතිහා පාරායනය කිරීම:

එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයක් අනුවය:

«لَا صَلَاةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الْكِتَابِ».

“කවරෙකු අල් කුර්ආනයේ ආරම්භක පරිච්ඡේදය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”18.

සිව්වන මූලිකාංගය: සෑම රකඅතයකම රුකූඋ කිරීම.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

﴿يَاأَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا...﴾

"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා (නැවී) රුකූඋ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු..." (අල් හජ්: 77)

පස්වන හා හයවන මූලිකාංග දෙක

රුකූඃ සිට හිස එසවීම, සහ අල් ඉඃතිදාල් නැගිට සිටීමේ ඉරියව්ව එහි දී පෙර තත්වය මෙන්ම පිහිටා ගත යුතුය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිරන්තරයෙන් එසේ ඉටු කර ඇති බැවිනි.

සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සලාතය වැරදි ලෙස ඉටු කළ පුද්ගලයාට මෙසේ පැවසූහ:

«ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا».

"පසු ව ඍජු ව සිටගන්නා තෙක් නැගී සිටින්න."19.

හත්වන මූලිකාංගය: අවයව හත මත සුජූද් කිරීම:

එනම්, නළල සමග නාසය, අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි, එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුව ය:

«أُمِرْنَا أَنْ نَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ: الجَبْهَةِ، وَأَشَارَ بِيدِهِ عَلَى أَنْفِهِ، وَالكَفَّيْنِ، وَالرُّكْبَتَيْنِ، وَأَطْرَافِ القَدَمَيْنِ».

"අවයව හතක් මත සුජූද් කිරීමට අපට අණ දෙනු ලැබුවෙමු: නළල, නාසය දෙස තම අතින් පෙන්වමින්, අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු"20.

අටවන මූලිකාංගය: සුජූද් තත්ත්වයෙන් නැගිටීම සහ සුජූද් දෙක අතර වාඩි වී සිටීම:

එය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකට අනුවය.

«كَانَ النَّبِيُّ ﷺ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ، لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِيَ جَالِسًا».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදාවේ සිට හිස එස වූ විට, සමාන්තරව වාඩි වන තෙක් නැවත සජදා කරන්නෙකු නොවූහ.21

නවවන මූලිකාංගය: සියලුම මූලිකාංගවල දී මදක් රැඳීම (තැන්පත්වීම.)

එනම් එය කුඩා කාලයක් වුව ද සන්සුන් ව සිටීමය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නැමදුමෙහි වැරදි කළ පුද්ගලයාට මෙසේ පැවසූහ:

«حَتَّى تَطْمَئِنَّ».

"ඔබ තැන්පත් (සන්සුන්) වන තෙක් රැඳී සිටින්න"22.

දහවන හා එකොළොස්වන මූලිකාංග දෙක:

අවසන් ෂහාදා ප්‍රකාශය හා එහි අසුන් ගැනීම: එය ඉබ්න් මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසය අනුවය:

«إِذَا صَلَّى أَحَدُكُمْ فَلْيَقُلْ: التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ».

ඔබ අතරින් කිසිවකු හෝ සලාතය ඉටු කළ විට ඔහු: "අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු, අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" (සියලු පඬුරු අල්ලාහ් සතුය. ආශිර්වාද හා පිවිතුරු සියල්ල ද එලෙසමය. අහෝ නබිවරය ඔබට ශාන්තිය මෙන්ම අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ ආශිර්වාදය හිමිවේවා. අපට මෙන්ම අල්ලාහ්ගේ දැහැමි ගැත්තන්හටත් හිමිවේවා. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බවට මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට ද මම සාක්ෂි දරමි.) යැයි පැවසිය යුතුය.23.

දොළොස්වන මූලිකාංගය: අවසන් තෂහ්හුදය තුළ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පැවසීම.

එය මෙසේ පැවසීමෙනි.

«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ».

"අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින්" (මුහම්මද් තුමාණන් හට අල්ලාහ් ආශිර්වාද කරත්වා) 24, එයට අමතරව එකතු කර පවසන දෑ සුන්නා හෙවත් අතිරේකයකි.

දහතුන්වන මූලිකාංගය: පවසන ලද මූලිකාංගයන් අනු පිළිවෙළින් ඉටු කිරීම.

මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒවා අනුපිළිවෙළින් සිදු කර ඇති බැවිනි. තවද එතුමාණෝ මෙසේ පැවසූූහ:

«صَلُّوا كَمَا رَأَيْتُمُونِي أُصَلِّي».

"මා සලාතය ඉටු කරනු ඔබලා දුටු සේ ඔබලා ද සලාතය ඉටු කරන්න."25 සලාතය වැරදි ලෙස ඉටු කළ පුද්ගලයාට සලාතය සම්බන්ධයෙන් උගන්වන විට දී ‘පසු ව’ යන අර්ථය ගෙන දෙන ‘සුම්ම’ යන පද භාවිතයෙන් අනුපිළිවෙල උගන්වා ඇත.

දහ හතරවන මූලිකාංගය: සලාම් පැවසීම.

එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුගතවය:

««‌وَخِتَامُهَا ‌التَّسْلِيمُ».

"අවසානය සලාම් පැවසීමය." එතුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:

«وَتَحْلِيلُهَا التَّسْلِيمُ».

"ඉන් මිදෙනුයේ සලාම් පැවසීමෙනි."26

පස්වැන්න: සලාතයේ වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු:

සලාතයේ (අනිවාර්යය කරුණු) අටකි.

1- ආරම්භක තක්බීරය හැර සලාතයේ පවසනු ලබන සෙසු තක්බීරයන්.

2. සුබ්හාන රබ්බියල් අළීම් (සර්වබලධාරී මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි රුකූඋ ඉරියව්වෙහි එක් වරක් පැවසීම. වාර තුනක් දක්වා එය වැඩි කිරීම නබි පිළිවෙත වන අතර, එය පූර්ණත්වයේ අවම ප්‍රමාණයයි. එය දහය දක්වා වැඩි කිරීම උපරිමයයි.

3- රුකූඋ ඉරියව්වෙන් නැගිටින විට "සමිඅල්ලාහු ලිමන් හමිදහ්" (අල්ලාහ් ව ප්‍රශංසා කළ අයට ඔහු සවන් දුන්නේය) යැයි පැවසීම. මෙය ඉමාම් හා තනි ව සලාතය ඉටු කරන්නා වෙත පැවරෙන වගකීමකි.

4. රබ්බනා වලකල් හම්දු (අපගේ පරමාධිපතියාණනි! ඔබටමය සියලු ප්‍රශංසා) යැයි රුකූඋ ඉරියව්වෙන් නැගිට ඍජුව සිටීමේ දී පැවසීම.

5. සුබ්හාන රබ්බියල් අඃලා (අති උත්තරීතර මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි සුජූද් හි එක් වරක් පැවසීම, තුන් වරක් වැඩි කර අමතරව පැවසීම නබි පිළිවෙතකි.  

6. සජදා දෙක අතර එක් වරක් "රබ්බිග් ෆිර්ළී" (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම. තුන් වරක් වැඩි කර අමතරව පැවසීම නබි පිළිවෙතකි.  

7. ප්‍රථම තෂහ්හුදය; එනම් මෙසේ පැවසීමය:

«التَّحِيَّاتُ لِلَّهِ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ».

අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු."27

8. පළමු තෂහ්හුදය වෙනුවෙන් වාඩිවීම.

 

සයවැන්න : සලාතයේ සුන්නාවන් හෙවත් අමතර කරුණූ

සලාතයේ සුන්නා හෙවත් අමතර කරුණු මඟ හැරීමෙන් සලාතය නිෂ්ඵල නොවේ. ඒවා කොටස් දෙකකි: කථනයෙන් සිදු කරන අමතර ප්‍රකාශ හා ක්‍රියාවෙන් සිදු කරන අමත ක්‍රියා.

පළමුව: ප්‍රකාශ හා බැඳුණු අමතර දෑ: 

1- ‘දුආ අල්-ඉස්තිෆ්තාහ්’ (ප්‍රාරම්භක ප්‍රාර්ථනාව) එයට විවිධ පාඨ ඇත, ඒ අතරින්:

«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالى جَدُّكَ، وَلا إِلٰهَ غَيْرُكَ».

"සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක." (යා අල්ලාහ්! ඔබේ ප්‍රශංසාවෙන් ඔබ පිවිතුරුය. ඔබේ නාමය සමෘද්ධිතය. ඔබේ කීර්තිය උත්තරීතරය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත." 28

2- අල් ෆාතිහා පරිච්ඡේදයට පෙර ආරක්ෂාව පැතීම, එය "අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්" (පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි) යැයි පැවසීමෙනි. 

3- අල් කුර්ආනය කියවීමට පෙර අල්ලාහ්ගේ නාමය පවසා ආරම්භ කිරීම. එය "බිස්මිල්ලාහිර් - රහ්මානිර් - රහීම්"(මහා කාරුණික කරුණා ගුණයෙන් යුත් අල්ලාහ්ගෙන් නාමයෙන් ආරම්භ කරමි) යැයි පැවසීමෙනි.

4- රුකූ හා සුජූද් අවස්ථාවලදී අදාළ තස්බීහය එක් වරකට වඩා පාරායනය කිරීම.

5- එක් වරක් පවසන පහත වචනයට අමතරව ප්‍රකාශ කරන දෑ:

«رَبِّ اغْفِرْ لِي».

එනම්: "රබ්බිග් ෆිර්ළී" (මාගේ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැනව!) යන ප්‍රකාශයට අමතරව එය සුජූද් දෙක අතර වූ ප්‍රකාශයයි.

6- පහත සඳහන් මෙම ප්‍රකාශය පැවසීම:

«مَلْءَ السَّمَاوَاتِ، وَمَلْءَ الْأَرْضِ، وَمَلْءَ مَا بَيْنَهُمَا، وَمَلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ».

"මිල් අස්-සමාවාති, වමිල් අල්-අර්ළි, වමිල්-අමා බයිනහුමා, වමිල්-අ-මා-ෂිඃත මින් ෂෙයිඉන් බඃදු,"(අහස් පුරාවටත්, මහපොළොව පුරාවටත්, ඒ දෙක අතර ඇති දෑ පුරාවටත් මින් පසු ඔබ අභිමත කරන දෑ පුරාවටත් ප්‍රශංසා ඔබට හිමිය.) පහත ප්‍රකාශයට පසු:

«رَبَّنَا ولَكَ الحَمْدُ».

"රබ්බනා වලකල් හම්දු"29 (අපගේ පරමාධිපතියාණෙනි! සියලු ප්‍රසංශා ඔබටම ය.)

7- සූරතුල් ෆාතිහා පාරායනය කිරීමෙන් පසු (වෙනත්) සූරාවක් පාරායනය කිරීම.

8- පහත ප්‍රකාශය පැවසීම:

«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ».

"අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් අදාබි ජහන්නම, වමින් අදාබිල් කබ්රි, වමින් ෆිත්නතිල් මහ්යා වල් මමාති, වමින් ෆිත්නතිල් මසීහිද් දජ්ජාල්" (අහෝ දෙවිඳුනි, සැබැවින්ම මම අපා ගින්නේ වේදනාවෙන් ද මිනී වලෙහි වේදනාවෙන් ද ජීවත් වීමේ හා මරණයට පත්වීමේ අර්බුදයෙන් ද දජ්ජාල්ගේ අර්බුදයෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) 30. අවසන් තෂහ්හුද්හි අදාළ ප්‍රාර්ථානාවලින් පසු ව අමතරව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම.

දෙවනුව: ක්‍රියාවෙන් සිදු කරන සුන්නතයන්:

1- ස්ථාන හතරක උරහිස් දෙකෙහි හෝ කන් දෙකෙහි මට්ටමට දෙඅත් එසවීම:

අ- ආරම්භක තක්බීරය පැවසීමේදී.

ආ- රුකූඋ ඉරියව්වට යන අවස්ථාවේදී.

ඇ- රුකූඋ ඉරියව්වෙන් නැගිටීමේදී.

ඈ- තුන්වන රකආත් වාරය සඳහා නැගිට සිටීමේදී.

2. රුකූ ඉරියව්වට පෙර සහ ඉන් පසු සිටගෙන සිටින අවස්ථාවේ දී දකුණු අත වම් අත මත තබා දෑත් බැඳ පපු ප්‍රදේශය මත තබා ගැනීම.

3- සජදා කරන ස්ථානය දෙස දෑස් යොමු කිරීම.

4- සුජූද් අවස්ථාවේ දී තම බාහු ඉළ ඇට ප්‍රදේශයෙන් වෙන් කර තබා ගැනීම.

5- සජදා දෙක අතර උදරය කලවා ප්‍රදේශයෙන් වෙන් කොට තබා ගැනීම.

6- සලාතයේ සියලුම හිඳුම්වල ඉෆ්තිරාෂ් ක්‍රමයට හිඳ ගැනීම, නමුත් රකආත් තුනකින් සහ හතරකින් සමන්විත සලාත්වල අවසාන තෂහ්හුද්හි හැර. ඉෆ්තිරාෂ් ක්‍රමය යනු, වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීම සහ තම දෑත් කලව මත තබා කිබ්ලා දෙසට හැරී (වාඩිවී) සිටීම වේ.

7. රකආත් තුනකින් හෝ හතරකින් සමන්විත සලාතයේ අවසන් තෂහ්හුදය පාරායනය කරන විට තවර්රුක් ක්‍රමයට හිඳ ගැනීම.

සත්වැන්න: සලාතය ඉටු කරන ආකාරය

1- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතය සඳහා නැගී සිටින විට කිබ්ලා දෙසට හැරෙයි. තම දෑත් ඔසවයි. අතේ ඇතුළත (අල්ල) කිබ්ලා දෙසට යොමු කරමින් මෙසේ පවසයි.

«اللهُ أَكْبَرُ».

"අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)

2- පසුව තම වමත දකුණතින් අල්ලාගෙන, ඒ දෙක පපුව මත තබා ගනී.

3. පසුව ආරම්භක ප්‍රාර්ථනාව සිදුකරන අතර, එකම ප්‍රාර්ථනාවක් මත අඛණ්ඩව නොසිටියි. එබැවින් නබි තුමාණන් විසින් සහතික කර ඇති සියලුම ප්‍රාරම්භක ප්‍රාර්ථනාවන්, ප්‍රාරම්භක ප්‍රාර්ථනා ලෙස උසුරිය හැකි අතර, ඒවා අතරින්:

«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالى جَدُّكَ، وَلا إِلٰهَ غَيْرُكَ».

"සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක."(ඔබේ ප්‍රශංසාව තුළින් ඔබ සුපිවිතුරුය. ඔබේ නාමය උසස් විය. ඔබේ කීර්තිය ද උසස් විය. ඔබ හැර වෙනත් දෙවියකු නැත.)

4- පසුව මෙසේ පවසයි:

«أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ، بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ».

අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්, බිස්මිල්ලාහි රහ්මානිර් රහීම්"(පළවා හරින ලද ෂයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි, අපරිමිත දයාන්විත අසමසමග දයා ගුණයෙන් යුක්ත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.) 

5- පසුව සූරතුල් ෆාතිහාව පාරායනය කරයි. එය අවසන් වූ වහාම 'ආමීන්' පවසයි.

6- පසුව අල් කුර්ආනයෙන් පහසු කොටසක් පාරායනය කරයි. සුබ්හ් සලාතයේ දී හා මග්රිබ් හා ඉෂා සලාත්හි ආරම්භක රකආත් දෙකෙහි දී උස් හඬින් පාරායනය කරයි. ඒ හැර අනෙකුත් අවස්ථාවලදී පහත් හඬින් අල් කුර්ආනය කියවයි. සියලුම සලාතයන්හි පළමු රකආතය දෙවන රකආතයට වඩා දිගු කරයි.

7. පසුව ආරම්භයේ දී අත් එස වූ ආකාරයටම තම දෙඅත් ඔසවා ගනියි. පසුව "අල්ලාහු අක්බර්" යැයි පවසයි, රුකූඋ කිරීම සඳහා නැවෙයි. තම දෑත්, ඇඟිලි ඈත් කොට දණහිස් මත පහසුවෙන් තබා ගනියි. තම පිට සමාන්තර ව සකසා ගනියි. හිස උඩට එසවීමෙන් හෝ පහළට පහත් කිරීමෙන් තොරව ඍජු ව තබා ගනියි. තව දුරටත් මෙසේ පවසයි.

«سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ» مرةً.

"සුබ්හාන රබ්බියල් අලීම්" (සර්වබලධාරී මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධය) යැයි එක් වරක්, ඉහත සඳහන් පරිදි එහි පූර්ණත්වයේ අවම ප්‍රමාණය තුන් වරකි.

8. පසුව පහත සඳහන් පරිදි පවසමින් තම හිස ඔසවා ගනියි.

«سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ».

"සමිඅල්ලාහු ලිමන් හමිදා" (අල්ලාහ් තමන් හට ප්‍රශංසා කළ අයට සවන් දී ඇත.) රුකූහි අත් එසෙව්වාක් මෙන් තම දෑත් ඔසවා ගනීයි.

9- එවිට සෘජුව සිට ගනිමින් මෙසේ පවසයි:

«اللَّهُمَّ رَبَّنَا وَلَكَ الْحَمْدُ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ، مَلْءَ السَّمَاءِ، وَمَلْءَ الْأَرْضِ، وَمَلْءَ مَا بَيْنَهُمَا، وَمَلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ، أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ، أَحَقُّ مَا قَالَ الْعَبْدُ، وَكُلُّنَا لَكَ عَبْدٌ، لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ» .

අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු, හම්දන් කසීරන් තයියිබන් මුබාරකන් ෆීහි, මිල් අස්සමාවාති, වමිල් අර්ළි, වමා බයිනහුමා, වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃදු, අහ්ලස් සනාඉ වල්මජ්දි, අහක්කු මා කාලල් අබ්දු, වකුල්ලුනා ලක අබ්දුන්, ලා මානිඅ ලිමා අඃතයිත, වලා මුඃතිය ලිමා මනඃත, වලා යන්ෆඋ දල් ජද්දි මින්කල් ජද්දු" (31).(අහස් හා පොළොව ඒ දෙක අතර තිබෙන දෑහි ඔබගේ කැමැත්ත ඇති සියලූ දෑහිද සියලූම ප‍්‍රශංසා ඔබ සතුය. කීර්තිය හා ප‍්‍රශංසාවන්ට සුදුස්සා ඔබය. අප සැවොම ඔබේ ගැත්තන්ය. ඔබ විසින් දෙනදේ වළකා ලීමට කිසිවෙකුටත් හැකියාවක් නැත. ඔබ වැළකූ දේ දීමටද කිසිවෙකුටත් හැකියාවක් නැත. ඔබ ලබාදෙන දඬුවම්වලින් මිදීමට පොහොසතුන්ගේ ධනය ප‍්‍රයෝජනවත් නොවන්නේය.)31 එතුමාණෝ මෙම ඉඃතිදාලය (නැගිට සිටීමේ ඉරියව්ව) දීර්ග කළහ.

10- පසුව තක්බීර් පවසා සජදා කරයි. එහිදී තම දෙඅත් ඔසවන්නේ නැත. තම නළල, නාසය, අත් දෙක, දණහිස් දෙක, පාද වල ඇඟිලි තුඩු බිම තබා සුජූද් කරයි. ඔහුගේ අත් සහ පාද ඇඟිලි කිබ්ලා දෙසට හරවා තබයි. සුජූද් හි ඍජු ව සිටියි. නළල සහ නාසය පොළොව මත තබයි. ඔහු තම අත් දෙක මත රඳා සිටිමින්, තම වැළමිට දෙක ඔසවයි. ඔහුගේ අත් දෙක ඔහුගේ ඇලපත් දෙකෙන් වෙන් කර තබා ගනියි. ඔහුගේ උදරය ඔහුගේ කලව දෙකෙන් ඔසවා තබා ගනියි. ඔහුගේ පාද කෙණ්ඩ දෙක ඔහුගේ කලවා දෙකෙන් ඔසවා තබා ගනියි. ඔහු සුජූද්හි මෙසේ පවසයි:

«سُبْحَانَ رَبِّيَ الأَعْلَى».

සුබ්හාන රබ්බියල් අඃලා"(මාගේ උත්තරීතර පරිමාධිපති සුවිශුද්ධය.) එක් වරක් පෙර සඳහන් කළ පරිදි, පූර්ණත්වයේ අවම ප්‍රමාණය වාර තුනකි.  හදීස් හි සඳහන් ආකාරයෙන් ප්‍රාර්ථනා කරයි.

11- පසුව අල්ලාහු අක්බර් යැයි පවසා තම හිස ඔසවා ගනියි. පසු ව වම් කකුල හකුළා ඒ මත වාඩිවෙයි. දකුණු පාදය සිටුවා තබයි. ඔහුගේ අත් දෙක කලව මත තබා පසු ව මෙසේ පවසයි.

«اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاجْبُرْنِي، وَاهْدِنِي، وَارْزُقْنِي».

අල්ලාහුම්මග් ෆිර්ලී, වර්හම්නී, වජ්බුර්නී, වහ්දිනී, වර්සුක්නී"(අහෝ දෙවිඳුනි, මට සමාව දෙනු මැනව, මට කරුණා කරනු මැනව, මට සපුරා දෙනු මැනව, මට ඍජු මඟ පෙන්වා දෙනු මැනව, මා පෝෂණය කරනු මැනව!) 32.

12- පසුව තක්බීර් පවසා සුජූද් කරයි. පළමු සජදාව මෙන්ම දෙවන සජදාව ද ඉටු කරයි.

13. පසුව තක්බීර් පවසා හිස ඔසවමින් තම දණහිස් දෙක මත හා කලව දෙක මතට බර වී පාද මුල් කර ගනිමින් නැගිටියි.

14- නැගිට සිටීම සම්පූර්ණ වූ විට, පාරායනය කිරීමට ආරම්භ කරයි, දෙවන රකආතය පළමු රකආතය මෙන්ම ඉටු කරයි.

15. පසුව සජදා දෙක අතර ඉෆ්තිරාෂ් ක්‍රමයට වාඩිවූ ආකාරයටම පළමු තෂහ්හුද් සඳහා වාඩිවෙයි. තම දකුණත දකුණු කලව මත තබා, වමත වම් කලව මත තබා ගනියි. තම දකුණතේ මහපට ඇඟිල්ල මැද ඇඟිල්ල මත වෘතාකාරව තබා ගනියි. දබරැඟිල්ලෙන් සංඥා කර එය දෙස බලයි. තව දුරටත් මෙසේ පවසයි.

«التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ».

"අත්තහය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත්තය්යිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන් අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ශරීක ලහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු." (සියලු පඬුරු අල්ලාහ් සතුය. ආශිර්වාද හා පිවිතුරු දෑ ද ඔහු සතුය. අහෝ නබිතුමාණනි, ඔබට ශාන්තිය අත්වේවා අල්ලාහ්ගේ කරුණාව හා සමෘද්ධියත් හිමිවේවා! අපටත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන්ටත් හිමිවේවා! නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට සමාන කිසිවෙකු නැති බවට මම සාක්ෂි දරමි. සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයා බවටත් මම සාක්ෂි දරමි.) මෙම හිඳුම දීර්ඝ නොකරයි.

16- පසු ව තක්බීර් පවසා නැගිට සිටියි. පසු ව තුන්වැනි හා හතරවැනි රකආතයන් ඉටු කරයි. මුල් රකආත් දෙකට වඩා අඩු කාලයක මෙම රකආත් දෙක ඉටු කරයි. ඒ දෙකෙහි සූරතුල් ෆාතිහා පාරායනය කරයි.

17- පසුව අවසන් තෂහ්හුද්හි තවර්රුක් ඉඳුමෙන් වාඩිවෙයි. තවර්රුක් යනු තම වම් කකුල අතුරා දකුණු පැත්තෙන් පිටතට ගෙන දකුණු කකුල සිටුවා තම පසුපස බිම තබා වාඩිවීමයි.

18. පසු ව අවසාන වශයෙන් ෂහාදා ව පවසයි. එය පළමු තෂහ්හුදය මෙන්මය. මෙම වදන් පෙළට අමතර ව මෙසේ ද පවසයි.

«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ».

"අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා සල්ලයිත් අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්, වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්"(අහෝ දෙවිඳුනි, ඉබ්‍රාහීම් තුමාණන්ට හා ඉබ්‍රාහීම් තුමාණන්ගේ පවුලේ උදවියට ආශිර්වාද කළාක් මෙන් මුහම්මද් තුමාණන්ට හා මුහම්මද් තුමාණන්ගේ පවුලේ උදවියට ආශිර්වාද කරනු මැනව! සැබැවින්ම ඔබ ප්‍රශංසා ලාබීය. කිර්තිය. ඉබ්‍රාහීම් තුමාණන්ගේ පවුලේ උදවියට ඔබ සමෘද්ධිය ඇති කළාක් මෙන් මුහම්මද් තුමාණන්ට හා මුහම්මද් තුමාණන්ගේ පවුලේ උදවියට සමෘදිය ඇති කරනු මැනව! සැබැවින්ම ඔබ ප්‍රශංසා ලාබීය. කිර්තිය.)

19- පසු ව අපා ගින්නේ දඬුවමින්, කබ්ර් හි දඬුවමින්, ජීවිතයේ හා මරණයේ අර්බුදවලින්, මසීහුද් දජ්ජාල්ගේ අර්බුදවලින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතයි. අල්කුර්ආනයේ සහ නබිවදන්හි සඳහන් ප්‍රාර්ථනා අනුව ප්‍රාර්ථනා කරයි.

20- පසුව දකුණු දෙසට හැරී සලාම් පවසයි, එවිට මෙසේ කියයි:

«السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ».

‘අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලා’ (ඔබට ශාන්තිය ද අල්ලාහ්ගේ කරුණාව ද ලැබේවා!) තවද වම් දෙසට ද හැරී එලෙසම පවසයි.  සලාම් ආරම්භ කළ යුත්තේ කිබ්ලා දෙසට මුහුණලමින් සහ අවසන් කළ යුත්තේ හැරීම සම්පූර්ණ වූ විට ය.

අටවැන්න: සලාතයේ මක්රූහාත් (පිළිකුල් සහගත දෑ)

1- කිසිදු අවශ්‍යතාවයකින් තොරව වෙනත් දෙසටකට හැරීම, යොමු වීම.

2- අහස දෙසට බැල්ම එසවීම.

3- කිසිදු අවශ්‍යතාවයකින් තොරව ඇස් වසා ගැනීම.

4- සුජූද් අවස්ථාවේදී වැලමිට හා මැණික් කටුව අතර ප්‍රදේශය පොළවට තබා ගැනීම.

5- කිසිදු අවශ්‍යතාවයකින් තොරව කට සහ නාසය ආවරණය කිරීම.

6- මළ මූත්‍රා දරාගෙන හිදිමින් හෝ තමන් කැමති ආහාරයක් ඉදිරියේ තිබිය දී සලාතය ඉටු කිරීම.

7- සජදා කිරීමේදී නළල හා නාසයේ තැවරුණු දෑ පිසදැමීම. නමුත් සලාතය අවසන් කිරීමෙන් පසු එය පිසදැමීමෙහි වරදක් නැත.

8- අවශ්‍යතාවයකින් තොරව, නැගිට සිටින ඉරියව්වන්හි බිත්තියක් හෝ එවැනි දෙයක් මතට බරවී රැඳී සිටීම.

නවැවන්න: සලාතය අවලංගු කරවන කරුණු:

1- ආහාර පාන ගැනීම.

2- සලාතයට අදාළ නොවන වෙනත් දෑ කතා කිරීම.

3- සිනහවීම හා උගුරෙන් හඬ නැගීම.

4. එහි මූලික අංග හෝ අනිවාර්ය කරුණු හිතාමතාම අත්හැරීම.

5- එක් මූලිකාංගයක් හෝ රකආතයක් වැඩියෙන් ඉටු කිරීම.

6- ඉමාම්ට පෙර උවමනාවෙන්ම සලාම් පැවසීම. 

7- අවශ්‍යතාවයකින් තොරව සලාතයට අදාළ නොවන අංග චලනයන් අඛණ්ඩව අධිකව චලනය කිරීම.

8- සලාතයේ කොන්දේසි වලට විරුද්ධ වන කරුණක් සිදු කිරීම. උදාහරණ ලෙස වුළු අවලංගු වීම, හිතාමතාම රහස්‍ය පෙදෙස් නිරාවරණය කිරීම, අවශ්‍යතාවයකින් තොරව කිබ්ලා දෙසින් ශරීරය වැඩි වශයෙන් හැරවීම, සහ චේතනාව අත්හැරීම.

දසවැන්න: සුජූදුස් සහ්වු (යම් අතපසුවීමක් සිදු වීම හේතුවෙන් කෙරෙන සුජූද්)

සහ්වු යනු අමතක වීමය. නබි ﷺ තුමාණන්ට සලාතයේදී අමතකවීම් සිදුව ඇත. මක්නිසාදයත් අමතක වීම යනු මනුෂ්‍ය ස්වභාවයේ අංගයක් වන බැවිනි.  එතුමාණන්ගේ අමතක වීම, එතුමාණන්ගේ ප්‍රජාවට අල්ලාහ්ගේ සම්පූර්ණ කරුණාව හා ඔවුන්ගේ ආගම සම්පූර්ණ කිරීමෙන් වූවකි. එය ඔවුන්ට අමතක වීමේදී ඔවුන්ට නියම කරන කරුණු පිළිපැදීමට ය.

'සුජූදුස් සහ්වු' ආගමානුගත කර ඇති හේතු:

1- පළමු අවස්ථාව:

සලාතයේ යමක් අමතර ව සිදු කිරීම, එය අමතර ක්‍රියාවන් හෝ අමතර වචන විය හැක. 

අ- අමතර ක්‍රියා: සලාතයට අදාළ ක්‍රියාවක් වූ කලී උදාහරණ වශයෙන් වාඩි විය යුතු තැන සිට ගැනීම, සිට ගත යුතු තැන වාඩි වීම, හෝ රුකූඃ හෝ සුජූද් ඉරියව්වක් අමරත ව ඉටු කිරීම. එය අමතක වී සිදු කළ විටෙක අමතක වීම සඳහා වන 'සුජූදුස් සහ්වු' ඉටු කළ යුතු වේ.

ආ- අමතර ප්‍රකාශ: රුකූඋ සහ සුජූද්හි අල් කුර්ආනය කියවීම වැනි ය.

එය කළහොත්, අමතක වීම පිණිස සුජූදය ඉටු කිරීම සතුටුදායක කරුණකි.

2- දෙවන අවස්ථාව:

අමතක වීම හේතුවෙන් සලාතයෙන් යමක් අඩු වීම, එය කරුණු දෙකකින් එකක් විය හැක:

අ- මූලිකාංගයක් අත්හැරීම: එනම් එම මූලිකාංගය ආරම්භ තක්බීරය නම්, සලාතය පිළිගනු නොලැබේ. එයට සුජූදුස් සහ්වු කිරීමේ අවශ්‍යතාවක්ද නොමැත. ආරම්භ තක්බීරය හැර රුකූඃ කිරීම හෝ සුජූද් කිරීම වැනි මූලිකාංගයක් නම්, වෙනත් රකආතයක පාරායනය ආරම්භ කිරීමට පෙර මතක් වූයේ නම්, එය නැවත ඉටු කළ යුතුය. එවිට එම මූලිකාංගය හා ඉතිරි මූලිකාංග ද පරිපූර්ණ කළ යුතුය.

එම රකආතයේ පාරායනය ආරම්භ කිරීමෙන් පසු මතක් වූයේ නම් එම රකආතය නිෂ්ඵල වී යයි. එම ස්ථානයේ ඊට පර ව ඇති රකආතය ඉටු කළ යුතුය.

ආ- වාජිබ් හෙවත් අනිවාර්යය කටයුත්තක් අත්හැරීම: උදාහරණයක් ලෙස: ප්‍රථම ෂහාදා අමතක වීම, හෝ රුකූඃහි තස්බීහ් පැවසීම අමතක වීම. මෙම අවස්ථාවේදී: සුජූදුස් සහ්වු ඉටු කරයි.

3- තුන්වන අවස්ථාව : සැකය

උදාහරණයක් ලෙස: ලුහර් සලාතයේදී ඉටු කළේ රකආත් තුනක් ද හතරක් ද යන්නෙහි සැකයක් ඇති වූ වූයේ නම් එම අවස්ථාවේදී:

(අ) ඔහුට වඩාත් නිවැරදි යැයි පෙනී යන දෙයක් වී නම් ඒ අනුව කටයුතු කරයි. සලාම් පැවසීමෙන් පසු සජදා සහ්වු ඉටු කළ යුතු ය.

ආ- ඔහුට කිසිවක් වඩාත් නිවැරදි ලෙස නොපෙනෙයි නම්; එවිට ඔහු ස්ථාවරයකට එළැඹිය යුතුය. පසු ව අමතක වීම සඳහා සුජූද් කරයි.

එසේම, සලාතය පසු සැකයක් ඇති වූ විට හෝ බොහෝ සැකයන් ඇති වූ විට; එම සැකය පිළිබඳව අවධානයක් යොමු නොකළ යුතුය.

අවධානයයි : සුජූදුස් සහ්වු සලාම් පැවසීමට පෙර කළ යුත්තේ අඩුවක් හෝ සැකයක් හෝ මතු වී වඩාත් නිවැරදි දේ තෝරා ගැනීමට නොහැකි වූ විටෙක ය. සුජූදුස් සහ්වු සලාම් පැවසීමෙන් පසුකළ යුත්තේ : අමතර ව සිදු වූ දෙයක් හෝ සැකයක් ඇති වූ විට එහි දී වඩාත් යෝග්‍ය මතය අනුව ක්‍රියා කළ අවස්ථාවන්හි ය.  -අල්ලාහ්ගේ කැමැත්ත පරිදි- පුද්ගලයෙකුට මේ පිළිබඳ අපහසුතාවයකින් තොරව අනුගමනය කළ හැකි විකල්ප හෝ ක්‍රම කිහිපයක් ම තිබේ.

එකොළොස්වැන්න: සලාතය ඉටුකිරීමට තහනම් වේලාවන්:

මූලික පදනම වන්නේ සියලුම වේලාවන්හි සලාතය ඉටු කිරීමේ අවසරය ඇති බවය. නමුත්, ඇතැම් වේලාවන්හි සලාතය ඉටු කිරීම තහනම් කරමින් සඳහන්ව ඇත. ඒවා පහත සඳහන් පරිදිය:

1- සුබ්හු සලාතය ඉටු කිරීමෙන් පසු හිරු උදාවී, තමන්ගේ දෑසට පෙනෙන තරමට හීයක තරම් උසට හිරු භූමියෙන් නගින තෙක් වූ කාලය.

2- හිරු අහසේ මධ්‍යස්තයට පැමිණ එය මදක් අවරට යන තෙක්, එය සලාතය ඉටුකිරීමට තහනම් කාලයන්ගෙන් කෙටිම වේලාවයි.

3- අසර් සලාතයෙන් පසු හිරු අවරට යන තෙක්, එය තහනම් කාලයන්ගෙන් දිගුම වේලාවයි.

තහනම් කරන ලද වේලාවන්හි ඉටු කිරීමට අනුමැතිය ඇති සලාතයන්:

1- අතපසු වූ අනිවාර්යය සලාතයන් ඉටු කිරීම.

2-  හේතූන් සහිත සලාත් ඉටු කිරීම: උදාහරණ වශයෙන්: 'තහිය්යතුල් මස්ජිද්' හෙවත් මස්ජිදයට පිවිසුනු පසු ඉටු කරන සලාතය, තවාෆ් සම්පූර්ණ කළ පසු ඉටු කරනු ලබන සලාතය, කුසූෆ් හෙවත් සූර්ය ග්‍රහණ සලාතය, ජනාසා සලාතය යනාදියයි.

3- ෆජ්ර් සලාතයට පසු ෆජ්ර් හි සුන්නා සලාතය ඉටු කිරීම.

දොළොස්වැන්න: සමූහ සලාතය:

එය ඉස්ලාමීය සළකුණු අතරින් ඉදා වැදගත් චාරිත්‍රයක් වන අතර, එය පල්ලියෙහි ඉටු කරනු ලබන සමූහ සලාතයයි, පස් වාර සලාතය මස්ජිද්වල ඉටු කිරීම වඩාත්ම වැදගත් ආගමික කාර්යයන් හා දෙවියන්ට සමීප වීමේ මහඟු කාර්යයන් අතරින් එකක් බවත් එය ඉස්ලාම් ආගමයේ වඩාත්ම ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක් බවත් මුස්ලිම්වරුන් ඒකමතිකව එකඟ වී ඇත.

1- සමූහ සලාතයේ නීතිය:

සමූහ සලාතය පස්වේල සලාතයන් මස්ජිදයේ ඉටු කිරීමට හැකියාව ඇති පිරිමින් සඳහා අනිවාර්ය වේ, පදිංචි ස්ථානයේ හෝ ගමනේ දී හෝ, ආරක්ෂාව සහ භීතියේ අවස්ථාවලදී හෝ සෑම කෙනෙකුටම අනිවාර්ය වේ. 

සමූහ සලාතය අනිවාර්යය බව පෙන්වා දී ඇති මූලාශ්‍ර: අල්-කුර්ආනය, සුන්නාව හා සියවසෙන් සියවසට, පරම්පරාවෙන් පරම්පරාවට මුස්ලිම්වරුන්ගේ පිළිවෙත.

අල්-කුර්ආනයෙන් වූ සාධක: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය:

﴿وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ...﴾

(නබිවරය! යුධ අවස්ථාවක) නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතු ය... (අන් නිසා: 102) එම පාඨය සමූහ සලාතය අනිවාර්යය බව සහතික කරයි. බියට පත් වූ අවස්ථාවකදී පවා මුස්ලිම්වරුන්ට එය අතහැර දැමීමට අවකාශය නැත. එය අනිවාර්ය නොවූයේ නම්, භීතිය නිදහසට කරුණු දැක්වීමෙන් එය අත්හැර දැමිය හැකි ප්‍රථම නිදහසට කරුණ වන්නට තිබුණි. සමූහ සලාතය අත්හැරීම හා එය බරක් වීම, කුහකයින්ගේ ප්‍රසිද්ධ ගුණාංග අතරින් වේ.

සුන්නාව තුළින් වූ සාධක: හදීස් බොහෝමයක් ඇත, ඒ අතරින් කිහිපයක් මෙසේය:

සහීහ් මුස්ලිම් හි සඳහන් වන පරිදි

أَنَّ رَجُلًا أَعْمَى قَالَ: يَا رَسُولَ اللَّهِ، لَيْسَ لِي قَائِدٌ يَقُودُنِي إِلَى الْمَسْجِدِ، فَسَأَلَهُ أَنْ يُرَخِّصَ لَهُ أَنْ يُصَلِّيَ فِي بَيْتِهِ، فَرَخَّصَ لَهُ، فَلَمَّا وَلَّى دَعَاهُ فَقَالَ: «هَلْ تَسْمَعُ النِّدَاءَ؟» قَالَ: نَعَمْ، قَالَ: «فَأَجِبْ».

අන්ධ මිනිසෙකු පැවසූහ: 'අල්ලාහ්ගේ දූතයාණෙනි! මාව මස්ජිදය වෙත කැටුවාගෙන යන්නට කිසිදු මෙහෙකරුවකු නැත.' යැයි පවසා තම නිවසේ සලාතය ඉටු කිරීමට අවසරය ඉල්ලා සිටියේය. එවිට එතුමා ඔහුට අවසරය දුන්හ. පසුව ඔහු හැරුණු විට නැවත ඔහුව අමතා: ‘ඇරයුම ඔබට ඇසෙන්නේද?’ යැයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යැයි පිළිතුරු දුනි. එතුමා: ‘එසේනම් පිළිතුරු දිය යුතුය.’ යැයි පැවසූහ.33

ඔහු අන්ධයෙකු වුව ද සහ ඔහුට ඇති වන දුෂ්කරතා මධ්‍යයේ වුව ද සාමුහික සලාතය සඳහා මස්ජිදයට පැමිණෙන මෙන් සහ ඇරයුමට පිළිතුරු දෙන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට නියම කළහ. මෙය සමූහ සලාතය අනිවාර්ය බව පෙන්වයි.

2- ජමාඅතය (සාමුහික සලාතය) වලංගු වීමට එය ලබා තිබිය යුතු දේ:

ඉමාම් සමග සලාතයෙන් එක් රකආතයක් හෝ ලැබීමෙන් සමූහ සලාතය සම්පූර්ණයෙන් ලබාගත හැක. එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුවය: 

«مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الصَّلَاةِ فَقَدْ أَدْرَكَ الصَّلَاةَ».

සලාතයෙන් එක් රකඅතයක් (වාරයක්) කෙනෙකු ලබන්නේ ද ඔහු සලාතය සම්පූර්ණයෙන් හිමි කර ගත්තේය.34.

3- රකඅතය වලංගු වීමට එය ලබා තිබිය යුතු දෑ:

රකආතය රුකූඃ නිලය ලැබීමෙන් ලබාගත හැකිය. ඒ අනුව පසු එක් වූ මඃමූම්වරයා තම ඉමාම් වරයා රුකූඃ ඉරියව්වෙහි සිටින විට සේන්දු වූ විටෙක: ඔහු සිටගත් ඉරියව්වෙන් තක්බීරත් ඉහ්රාම් (ආරම්භක තක්බීරය) පැවසිය යුතු ය. පසුව රුකූඃ ඉරියව්ව සඳහා නැවත වතාවක් තක්බීර් පවසමින් රුකූඃ කළ යුතුය. ඔහු සිටගත් ඉරියව්වෙහි ආරම්භ තක්බීරය පවසා ඒ මත පමණක් සීමා වූයේ නම්, රුකූඋ සඳහා එම තක්බීරය ප්‍රමාණවත් වේ.

4- ජමාඅත් (සාමුහික) සලාතය අතපසු කිරීමට අනුමැතිය ලබා දෙන හේතු:

1- රෝගීන්ට ජුමුආ සලාතය හා සාමුහික සලාතය සඳහා පැමිණීම අපහසු වන විට.

2- මළ හෝ මූත්‍රා දරා ගැනීම; එසේ දරා සිටීම හේතුවෙන් සලාතය තුළ පවතින භක්තිය පහව යයි. එමෙන්ම ශරීරයට හානියක් වීමට ද ඉඩ ඇත.

3-  ආහාර ඉදිරියේ තිබීම, මිනිසා බඩගින්නෙන් සිටිය දී හෝ ආහාරයේ සුවය විඳින විට දී. එය සාමාන්‍ය පුරුද්දක් හෝ සමූහ සලාතය අතපසු කිරීම සඳහා උපාය මාර්ගයක් ලෙස හෝ භාවිතා නොකළ යුතුය.

4- තම ජීවිතය හෝ දේපළ හෝ වෙනත් දේවල් වලට තර්ජනයක් එල්ල වී තිබීම හේතුවෙන් ඇති වන සාධාරණ බිය.

දහතුන් වැන්න: සලාතුල් හඃවුෆ් හෙවත් බියමුසු අවස්ථාවේ සලාතය:

සලාතුල් හඃව්ෆ් හෙවත් බිය මුසු අවස්ථාවේ සලාතය, අනුමත කරන ලද සෑම යුද්ධයකදීම, දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්, විරෝධීන් සහ සටන්කරුවන් සමග යුද වදින අවස්ථාවෙහි ඉටු කළ හැක. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුවය:

﴿...إِنۡ خِفۡتُمۡ أَن يَفۡتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓاْ...﴾

"...නුඹලා බිය වෙතොත්, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට කලහකම් ඇති කරනු ඇතැයි..." (අන් නිසා: 101) සටන් කළ හැකි ඉතිරි අයවලුන් සම්බන්ධයෙන්ද එය අදාළ වේ.

බියකරු අවස්ථාවක ඉටු කරන සලාතය කොන්දේසි දෙකක් යටතේ, ආගමානුගත කර ඇත.

1) සතුරා සමග සටන් කිරීමට අවසර දෙන ලද්දක් විය යුතුය.

2) සලාතය ඉටු කරන විට මුස්ලිම්වරුන්ට එල්ල වන ප්‍රහාරය ගැන බිය විය යුතුය.

බියකරු අවස්ථාවේ සලාතය ඉටු කරන ආකාරය:

එයට විවිධ ක්‍රම ඇත. ඒ අතරින් වඩාත් ප්‍රචලිත වන්නේ සහල් (රළියල්ලාහු අන්හා) තුමා විසින් පැවසූ හදීසය අනුව පිහිටීමය:

أَنَّ طَائِفَةً صَفَّتْ مَعَ النَّبِي ﷺ، وَطَائِفَةً وِجَاهَ العَدُوِّ، فَصَلَّى بِالَّتِي مَعَهُ رَكْعَةً، ثُمَّ ثَبَتَ قَائِمًا، وَأَتَمُّوا لِأَنْفُسِهِمْ، ثُمَّ انْصَرَفُوا، وَصَفُّوا وِجَاهَ العَدُوِّ، وَجَاءَتِ الطَّائِفَةُ الأُخْرَى، فَصَلَّى بِهِمُ الرَّكْعَةَ الَّتِي بَقِيَتْ مِنْ صَلَاتِهِ، ثُمَّ ثَبَتَ جَالِسًا، وَأَتَمُّوا لِأَنْفُسِهِمْ، ثُمَّ سَلَّمَ بِهِمْ.

පිරිසක් නබි ﷺ තුමා සමඟ පෙළ ගැසී සිටියහ. අනෙක් පිරිස සතුරන් දිශාවට මුහුණ ලා සිටියහ. එතුමාණන් සමඟ සිටි පිරිසට එතුමාණෝ රකආතයක් මෙහෙය වූහ. පසුව එතුමාණෝ සිටගෙනම සිටියහ. එම පිරිස සලාතය සම්පූර්ණ කළහ. පසුව ඔවුහු හැරී ගොස් සතුරාගේ දිශාවට මුහුණ ලා පෙළ ගැසුණහ. අනෙක් පිරිස එතැනට පැමිණියහ. ඉතිරි ව පැවති රකආතය එතුමාණෝ මොවුනට මෙහෙය වූහ. පසුව එතුමාණෝ වාඩි වී සිටියහ. මොවුහු ද සලාතය සම්පූර්ණ කළහ. පසුව මොවුන් සමඟ එතුමා සලාම් පැවසූහ.35

බියකරු අවස්ථාවක සලාතයෙන් ලබන යහඵල:

1- ඉස්ලාම් ආගම තුළ සලාතයේ වැදගත්කම, සහ සාමූහික සලාතයේ වැදගත්කම, එය මෙම අත්‍යවශ්‍ය තත්ත්වයන් තුළ පවා අත් හැරී නැත.

2- මෙම ප්‍රජාවෙන් දුෂ්කරතා ඉවත් කිරීම, ෂරීආ හෙවත් ආගමික නීතියේ සෞමිතාවය සහ සියලු කාලයන්ට සහ ස්ථානවලට එහි ගැළපීම.

3- ඉස්ලාමීය ෂරීආ පිළිවෙතේ පවතින පූර්ණත්වය, එය සෑම තත්ත්වයකටම සුදුසු පරිදි නීති ගත වී ඇත.

දහහතර වැන්න: ජුමුආ සලාතය:

පළමුව: එහි නියමය:

වැඩිවියට පත්, සිහි බුද්ධිය ඇති, ස්ථිරව පදිංචි වී සිටින, නිදහසට කිසිදු හේතුවක් නොමැති සියලුම මුස්ලිම් පිරිමින් මත ජුමුආ සලාතය අනිවාර්ය වූවකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نُودِيَ لِلصَّلَوٰةِ مِن يَوۡمِ ٱلۡجُمُعَةِ فَٱسۡعَوۡاْ إِلَىٰ ذِكۡرِ ٱللَّهِ وَذَرُواْ ٱلۡبَيۡعَۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ 9﴾

"අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ජුමුආ (සිකුරාදා) දින සලාතය සඳහා ඇරයුම් කරනු ලැබූ විට අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා යුහුසුලුව යනු. තවද ව්‍යාපාරය නුඹලා අත හැර දමනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට යහපත් ය." (අල්-ජුමුආ: 9)

සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශය මෙසේය.

«لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ وَدْعِهِمُ الْجُمُعَاتِ، أَوْ لَيَخْتِمَنَّ اللَّهُ عَلَى قُلُوبِهِمْ، ثُمَّ لَيَكُونُنَّ مِنَ الْغَافِلِينَ».

"ජනයා ජුමුආ සලාතයන් පැහැර හැරීමෙන් වැළකී සිටිය යුතුයි. එසේ නොමැති නම් අල්ලාහ් ඔවුන්ගේ සිත් මත මුද්‍රා තබනු ඇත. එවිට (ඔවුන් පාපයෙහි ගිලී) නොැලකිලිමත් ජනයා අතරට පත්වනු ඇත"36.

දෙවැන්න: ජුමුආ සලාතය වලංගු වීම සඳහා තිබිය යුතු කොන්දේසි:

අ) වේලාව: එහි වේලාව ලුහර් සලාතයේ වේලාව මෙන්මය, එහෙයින්, එහි නියමිත වේලාවට පෙර හෝ එහි වේලාව අවසන් වූ පසු හෝ එය වලංගු වන්නේ නැත. 

2) එයට සාමුහිකව සහභාගී විය යුතුය. නිවැරදි මතය අනුව අවම පිරිස තිදෙනෙකුගෙන් හෝ සමන්විය යුතුය. එක් පුද්ගලයකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් වීම වලංගු වන්නේ නැත.

3) සලාත් ඉටු කරන්නන් සුපුරුදු පරිදි ඉදි කරන ලද නිවාසවල පදිංචිව සිටිය යුතුය. එය සීමෙන්ති, ගල්, මැටි හෝ එවැනි දේවලින් නිර්මාණය කර තිබුණ ද එලෙසමය. එබැවින් ස්ථිර ස්ථානයක පදිංචි නොවන කූඩාරම් සහ පැල්පත් හි සිටින ජනතාව මෙම සලාතය ඉටු කිරීම වලංගු වන්නේ නැත. ඔවුන් තමන්ගේ සතුන් සඳහා තණකොළ සොයා ගමන් කරන අතර, ස්ථානයන් මාරු කරමින් ජීවත් වෙති.

4) ඒ දෙකට පෙර දේශනා දෙකක් පැවැත්වීම, මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දිගටම එය කර ඇති බැවිනි. 

තුන්වැන්න: ජුමුආ (සිකුරාදා) දේශනාවේ මූලිකාංග:

1- අල්ලාහ්ට ප්‍රසංශා කිරීම සහ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත්, සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.

2- නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත සලවාත් කීම.

3- අල්ලාහ් කෙරෙහි භක්තියෙන් හා මතකයෙන් පසුවන මෙන් උපදෙස් දීම.

4- අල් කුර්ආනයෙන් කුමක් හෝ පාරායනය කිරීම.

5- උපදෙස්.

සිව්වනුව : ජුමුආ දේශන දෙකේ සතුටුදායක කරුණු:

1- මින්බර් මත දේශනා කිරීම.

2. දේශනා දෙක අතර වාඩිවෙමින් කෙටි විරාමයක් ගැනීම. 3- මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ කටයුතු භාර නායකයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම.

4- ඒ දෙක කෙටි කිරීම.

5- මින්බර් වෙත නගින අවස්ථාවේ, ධර්ම දේශකයා ජනතාවට සලාම් පැවසීම.

පස්වනුව : ජුමුආ දිනයේ සතුටුදායක ක්‍රියාවන්:

1- සිවාක් හෙවත් දත් පිරිසිඳු කර ගැනීම.

2- සුවඳ විලවුන් ඇත්නම් ඒවා ගැල්වීම. 

3- ජුමුආ සලාතය සඳහා වේලාසනින් පිටව යෑම.

4- පා ගමනින් මස්ජිදයට යාම සහ වාහනයක නොයාම.

5- ඉමාම් ළංව ඔහු අසලින් සිටීම.

6- ‘දුආ’ අයැද සිටීම.

7. සූරත් අල්-කහ්ෆ් පාරායනය කිරීම.

8. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමා වෙත සලවාත් පැවසීම.

හයවැන්න: ජුමුආ (සිකුරාදා) සලාතය සඳහා පැමිණ සිටින අයට තහනම් කර ඇති දෑ:

1- ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටියදී කතා කිරීම තහනම් වේ. එය නබි ﷺ තුමාණන්ගේ ප්‍රකාශයකට අනුව:

«إِذَا قُلْتَ لِصَاحِبِكَ يَوْمَ الْجُمُعَةِ: أَنصِتْ، وَالْإِمَامُ يَخْطُبُ، فَقَدْ لَغُوتَ».

"ජුමුආ දිනයේ ඉමාම් දේශනාව කරමින් සිටියදී ‘ඔබ නිහඬවනු’ යැයි ඔබ ඔබේ මිතුරාට පැවසූ විට සැබැවින්ම ඔබ එය නිෂ්ඵල කර ගත්තේය."37 එනම්: ඔබ අනවශ්‍ය දෙයක් සිදු කළෙහිය. අනවශ්‍ය දෑ යනු පාපයයි.

2. මිනිසුන්ගේ ගෙලට ඉහළින් පා තබා යෑම අනුමත නොවේ, එහෙත් ඉමාම්වරයෙකු නම් හෝ එම ක්‍රියාවෙන් පමණක් ළඟා විය හැකි හිස් තැනක් වී නම් ඒ වෙත යන්නේ නම් හැර.

ජුමුආ සලාතය අත්පත් කර ගැනීම:

කවරෙකු ජුමුආ සලාතයේ දෙවන රකආතයේ ඉමාම් සමඟ රුකූඃ ලැබුවේ ද ඔහුට ජුමුආ සලාතය හිමි විය, (එවිට) ඔහු එය රකආත් දෙකක් ලෙස සම්පූර්ණ කළ යුතුය. දෙවන රකආතයේ රුකූ ලබන්නට නොහැකි වූ විට, ඔහුට ජුමුආ සලාතය අහිමි වී යයි. එවිට ඔහු ලුහර් සලාතය ලෙස රකආත් හතරක් ඉටු කරනු ඇත. එසේම නින්ද හෝ වෙනත් හේතුවක් නිසා ජුමුආ සලාතය අතපසු වූ කවරෙකුට වුව ද ඔහු එය ලුහර් සලාතය ලෙස ඉටු කළ යුතුය.

පහළොස් වැන්න: නිදහසට කරුණු ඇති උදවියගේ සලාතය:

පළමුව: රෝගියාගේ සලාතය:

පළමුව: රෝගියා තමන්ට හැකි පමණින් සලාතය ඉටු කළ යුතුය. ඔහුගේ සිහිය පැහැදිලිව පවතින තුරු සලාතය නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම සුදුසු නොවේ.

දෙවනුව: රෝගියා සලාත් ඉටු කරන්නේ කෙසේද?

1- රෝගියා නැගිට සිට සලාතය ඉටු කිරීම ඔහුට අනිවාර්යය වේ, එය ඔහුට දුෂ්කරතාවකින් හෝ හානියකින් තොරව නැගිටීමට හැකියාව උදා වූ විටෙකය. ඔහු රුකූ හා සුජූද් ද ඉටු කළ යුතුය.

2. නැගිට සිට ගැනීමට කියාව ඇති නමුත් රුකූඋ හෝ සුජූද් කිරීමෙන් හානියක් සිදුවන්නේ නම්, ඔහු රුකූඋ සඳහා සිටගෙනම එය සංඛේතවත් කරමින් ඉටු කරයි. සුජූද් සඳහා වාඩි වී එය සංඛේතවත් කරමින් ඉටු කරයි.

එසේ නැගිට සිට සලාතය ඉටු කිරීමට නොහැකි නම්, වාඩි වී සලාතය ඉටු කළ යුතු ය. සුන්නාහ් ව වනුයේ කියාම් (නැගිට සිටීමේ) ඉරියව්ව වාඩිවී ඉටු කිරීමය. මදක් පහත් වී රුකූඃ කරයි. හැකි නම්, සුජූද් භූමිය මත ඉටු කරයි. එසේ නොහැකි නම් රුකූඃ ඉරියව්වට වඩා සුජූද් සඳහා පහත් වේ.

එයට ද නොහැකි නම් ඔහු ඉල පැත්තට ඇළවී, ඔහුගේ මුහුණ කිබ්ලා දෙසට හරවා සලාතය ඉටු කළ යුතුය. පහසු නම්, දකුණු පැත්ත වඩාත් උතුම්ය. එහිදී රුකූ හා සුජූද් සංඛේතවත් කරමින් ඉටු කළ යුතුය.

5- ඔහුට ඉල පැත්තට ඇළවී සලාතය ඉටු කිරීමට නොහැකි නම්, ඔහුගේ කකුල් කිබ්ලා දෙසට යොමු කරමින් ඔහුගේ පිට මත උඩුබැලිව හිඳ සලාතය ඉටු කළ යුතුය. රුකූ හා සුජූද් සඳහා ඒවා සංඛේතවත් කරමින් ඉටු කළ යුතුය.

6- ඔහුගේ ශරීරය රුකූ හා සුජූද් සඳහා සෙලවීමට නොහැකි නම්; ඔහු තම හිසෙන් සංඛේතවත් කළ යුතුය. එය ද අපහසු නම්;  සංඛේත කිරීමෙන් ද ඔහු නිදහස් වේ. ඔහුගේ සිතින් සලාතයේ කටයුතු ඉටු කරයි. එනම්, ඔහුගේ තත්ත්වය අනුව රුකූ, සුජූද්, වාඩි වීම ආදී සලාතයේ ඉරියව්වන් සිතින් සිතා, අදාළ ප්‍රාර්ථනාවන් එහි ගෙන එමින් සලාතය ඉටු කරයි.

7- රෝගියාගේ හැකියාව අනුව සලාතයේ කොන්දේසි ඔහු ඉටු කළ යුතුය. උදාහරණයක් ලෙස: කිබ්ලා දෙසට මුහුණ ලෑම, ජලයෙන් වුළු කිරීම හෝ නොහැකි වූ විටෙක තයම්මුම් කිරීම, හා කිලිටි දැයින් පවිත්‍ර වීම යනාදියයි. ඒවා කිසිවක් ඉටු කිරීමට නොහැකි නම්, එය ඔහුගෙන් ඉවත් වෙයි. ඔහුගේ තත්ත්වය අනුව සලාතය ඉටු කළ යුතු අතර සලාතය අදාළ වේලාවෙන් ප්‍රමාද නොකළ යුතුය.

8- නබි පිළිවෙත වනුයේ රෝගියා සිට ගැනීමේ සහ රුකුඋ අවස්ථාවලදී එරමිණි ගොතාගෙන වාඩි වීම හා අනෙකුත් අවස්ථාවලදී ඉෆ්තිරාෂ් ක්‍රමයට වාඩි වීමය.

දෙවැන්න: මගියාගේ සලාතය:

1- නිදහසට හේතුසාධක ඇති උදවිය අතරින්: මගියා ද එක් අයෙකි. ඔහුට රකආත් හතරේ සලාතය රකආත් දෙක දක්වා කෙටි කිරීමට ආගමානුගත කර ඇත.  එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය:

﴿وَإِذَا ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَقۡصُرُواْ مِنَ ٱلصَّلَوٰةِ...﴾

"නුඹලා භූමියෙහි ගමන් කළ විට, සලාතය කෙටි කිරීම නුඹලාට වරදක් නැත..." (අන් නිසා: 101)

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. 

«خَرَجْنَا مَعَ النَّبِيِّ ﷺ مِنَ الْمَدِينَةِ إِلَى مَكَّةَ، فَكَانَ يُصَلِّي رَكْعَتَيْنِ رَكْعَتَيْنِ، حَتَّى رَجَعْنَا إِلَى الْمَدِينَةِ».

"අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමඟ මදීනාවෙහි සිට මක්කාහ් ව වෙත පිටත් ව ගියෙමු. මදීනාවට අපි නැවත පැමිණෙන තෙක් එතුමාණන් රකආත් දෙක දෙක බැගින් සලාතය ඉටු කරන්නෙකු වූහ." 38

මගීන් හට සලාතය කෙටි කිරීම සඳහා අල්ලාහ් අවස්ථාව සලසා ඇති බැවින්, ගමන්කරු තම නගරයෙන් පිටවීමෙන් පසු සලාතය කෙටි කිරීමට ආරම්භ කරයි. තම නගරයෙන් පිටවීමට පෙර තත්ත්වය නම්, ඔහු භූමියෙහි ගමන් කරන අයෙකු ලෙස හෝ මගියෙකු ලෙස හෝ සලකනු නොලැබේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගමනක් ආරම්භ කළ විට පමණක් සලාතය කෙටි කර ඇත්තාහ.

2- මගියකු සලාතය කෙටි කිරීම සඳහා ගමන් කළ යුතු දුර ප්‍රමාණය සාමාන්‍යයෙන් කිලෝමීටර් අසූවක් පමණ වේ.

3. ගමනින් නැවත පැමිණෙන ඔහු පිටව ගිය නගරයට නැවත ඇතුළු වන තෙක් සලාතය කෙටි (කසර්) කළ හැක.

4- මගියා යම් නගරයකට පැමිණ එහි පදිංචි වීමට අදහස් කළේ නම්; ඔහුට තත්ත්වයන් තුනක් ඇත.:

(අ) දින හතරකට වඩා වැඩි කාලයක් පදිංචි වීමට අදහස් කරන්නේ නම්, ඔහු පළමු දින සිට සලාතය සම්පූර්ණ කළ යුතුය; ගමනකදී ලැබෙන අවකාශය ඔහුට නොලැබෙනු ඇත.

(ආ) දින හතරක් හෝ ඊට අඩු කාලයක් පදිංචි වීමට අදහස් කරන්නේ නම්, සලාතය කෙටි කිරීමට ඔහු අවසරය ලබන අතර ගමන් සම්බන්ධව පවතින වරප්‍රසාද යොදා ගැනීමට ද අවසරය ඇත.

(ඇ) නියමිත දින ගණනක් පදිංචිව සිටීම අරමුණු නොකර අදාළ ස්ථානය අනුව එක් දිනක් හෝ දින දහයක් හෝ පදිංචිව සිටීම. එසේ නැතහොත් ඔහු යම් ප්‍රතිකාරයක් හෝ වෛද්‍යවරයෙකු නැවත හමු වීමේ අරමුණක් ඇතිව සිටීම. එම අරමුණ අවසන් වූ විට ඔහුගේ රටට ආපසු යන තත්ත්වයක් නම්... එවිට ඔහු නැවත පැමිණෙන තුරු, ඔහුගේ රැඳී සිටීමේ කාලය දින හතර ඉක්මවා ගිය ද සලාතය කෙටි කිරීමට හා ගමන් සදහා ඇති සහන භාවිතා කිරීමට ඔහුට අවසරය ඇත. 

5- මගියා ස්ථිරව සිටින ඉමාම්වරයෙකු පිටුපස සලාතය ඉටු කරන විට, සලාතය සම්පූර්ණ කිරීම ඔහුට අනිවාර්ය වේ. ඔහු සමග අවසන් තෂහ්හුද් පමණක් හිමි වුව ද එලෙසමය.

6- පදිංචිකරුවෙක් සලාතය කෙටි කරන මගියකු පිටපුස සිට සලාතය ඉටු කරන විටෙක, ඉමාම් වරයාගේ සලාමයට පසු පදිංචිකරු තම සලාතය සම්පූර්ණ කළ යුතුය.

දහසය වැන්න: ඊද් හෙවත් උත්සව දෙකෙහි සලාතය:

මුස්ලිම්වරුන්ගේ උත්සව දිනවල් අල්ලාහ් විසින්ම ආගමානුගත කළ දිව්‍ය උත්සව වේ. ඒවා ඔවුන් විසින් තමන්ගේම අදහස් අනුව නියම කරන ලදක්ක් නොවේ. ඔවුන්ට ඇති එකම උත්සව දෙක වන්නේ: ඊදුල් ෆිතර් සහ ඊදුල් අළ්හා වේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ උත්සව හෝ අලුතින් බිහි වූ සැමරුම්, උත්තරීතර අල්ලාහ් විසින් ආගමානුගත නොකළ හා නියම නොකළ දෑ වන අතර ඒවා ඔවුන් විසින් නිර්මාණය කළ දෑ වේ.

ඊද් හෙවත් උත්සව දෙකෙහි සලාතයේ නීති රීති:

මෙය පිරිසක් විසින් සිදු කළ විට එහි වගකීම පූර්ණවත් වන ෆර්ළු කිෆායා ගණයට අයත් නැමදුමකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය අඛණ්ඩව සිදු කර ඇති අතර, පසු පැමිණි 'කුළෆාඋර් රාෂිදූන්' හෙවත් ප්‍රදාන පෙළේ පාලකයින්ද (රළියල්ලාහු අන්හුම්)  එය අඛණ්ඩව සිදු කර ඇත්තාහ. එය ආගමික සළකුණුක් වන අතර එහි ප්‍රසිද්ධ සංඛේතයන් අතරින් වේ.

අවුරුදු සලාත් දෙකේ වේලාව: හිරු උදාවෙන් පසුව හීයක තරම් උසට හිරු නගින විට, එනම් හිරු උදාවෙන් පසුව පැය කාලක් (විනාඩි පහලොවක්) පමණ ගත වූ පසු එය ආරම්භ වේ. එහි අවසාන වේලාව හිරු මුදුණින් බැස යාමෙන් අවසන් වේ.

ඊද් හෙවත් උත්සව දෙකෙහි සලාතය ඉටු කරන ආකාරය

1- පළමු රකආතයේදී තක්බීරතුල් ඉහ්රාම් පවසා, පසුව දුආ අල්-ඉස්තිෆ්තාහ් කියවයි. පසුව තක්බීර් හය පවසා, සෑම තක්බීරයකදීම දෑත් ඔසවා, අල්ලාහ්ට පැසසුම් කර ප්‍රශංසා කරයි. තක්බීර් අතර නබි ﷺ වෙනුවෙන් සලවාත් පවසයි. පසුව අඌදු හා බිස්මි පවසමින් අල් කුර්ආන් පාරායනය ආරම්භ කරයි.

2- දෙවන රකආතයේදී මාරු වීමේ තක්බීරයෙන් පසු තක්බීර් පහක් පවසයි. පසුව අඌදු බිස්මි  පවසා කුර්ආන් පාරායනය ආරම්භ කරයි. පළමු රකආතයේදී අල්-ෆාතිහා පරිච්ඡේදයට පසු ව සූරා අඃලා කියවීම හා දෙවන රකආතයේදී සූරා අල්-ගාෂියාහ් කියවීම ප්‍රියජනක වේ.

3- ඉමාම්වරයා සලාම් පැවසූ පසු, මින්බර් මතට නැගී කුත්බා (දේශනා) දෙකක් පවත්වයි. ඒ අතර ජුමුආ දේශනාවෙහි මෙන් කෙටි ඉඳුමක් වාඩි වෙයි. 

අවුරුදු සැමරුමේ සුන්නත් (අතිරේක) පිළිවෙත්:

අ- ස්නානය කිරීම.

ආ- පිරිසිදු වීම හා සුවඳවිලවුන් ගල්වා ගැනීම.

ඇ- ඊදුල් ෆිත්ර් දින පිටත් වීමට පෙර ආහාර ගැනීම, සහ ඊදුල් අළ්හා දින ඔහුට කුර්බාන් දීමට තිබේ නම්, ඉන් පසු ආහාර ගැනීම.

ඈ- පා ගමනින් පිටත්ව යාම.

ඉ- එක් මාර්ගයකින් ගොස්, වෙනත් මාර්ගයකින් නැවත පැමිණීම.

ඊ- මඃමූම් ඉමාම්ට පෙර මස්ජිදයට වේලාසනින් යාම.

තක්බීරය:

අවුරුදු දෙදින පෙර රාත්‍රියේ, දුල් හිජ්ජා මස මුල් දින දහයේ සහ තෂ්රීක් දිනවල ද තක්බීර් පැවසීම සුන්නාවකි. එය වර්ග දෙකකි:

පළමු වර්ගය: සාමාන්‍ය පොදු තක්බීරය: එය කාලයක් නියම නොකළ තක්බීරයයි.

1- ෆිත්ර් අවුරුදු දින: හිරු අවරයට යාමත් සමග 'ඊද්' නොහොත් උත්සව රාත්‍රිය ආරම්භ වී, උත්සව සලාතය ආරම්භ වන තෙක්.

2- අල්හා අවුරුදු දින: දුල් හජ් මස පළමු දිනයේ රාත්‍රියේ හිරු බැසීමේ සිට අය්යාමුත් තෂ්රීක් අවසාන දිනයේ හිරු බැසීම දක්වා.

දෙවන වර්ගය: නියම කරන ලද තක්බීරය: එය අනිවාර්යය සලාතයන්ට පසු නියම කරන ලද තක්බීර් ය.

1- ඉහ්රාමය පැළඳ නොගත් අයකු: අරෆා දින ෆජ්ර් සලාතයේ සිට අය්යාමුත් තෂ්රීක් අවසාන දින අසර් සලාතය දක්වා.

2- ඉහ්රාම් පැළඳගත් අයකු: උත්සව දිනයේ ළුහර් සලාතයේ සිට අය්යාමුත් තෂ්රීක් අවසාන දිනයේ අසර් සලාතය දක්වා.

දහ හත්වැන්න: ක්හුසූෆ් (ග්‍රහණ) සලාතය:

'ක්හුසූෆ්' හා 'කුසූෆ්' යන පදවල අර්ථය:

ක්හුසූෆ් (චන්ද්‍ර ග්‍රහණය) යනු: එය රාත්‍රියේ සඳුගේ හෝ එහි කොටසක ආලෝකය ඉවත් වීමයි.

ක්හුසූෆ් (සූර්යග්‍රහණය) යනු: එය දහවලෙහි හිරු හෝ එහි කොටසක ආලෝකය ඉවත් වීමයි.

ග්‍රහණ සලාතයේ නීති රීති:

මෙය වැදගත් සුන්නාවකි, එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ක්‍රියාවෙන් පෙන්වා දී ඇත. එතුමාණන්ගේ සමයේ සූර්යග්‍රහණයක් ඇති වූ විට එතුමාණෝ එය ඉටු කළහ. එය ගැන නියෝග කර ඇති බැවින්, විද්වත්හු ඒකමතිකව එය ආගමානුගත කරුණක් බවට අදහස් දක්වා ඇත්තාහ. 

එහි වේලාව:

සූර්යග්‍රහණය හෝ චන්ද්‍රග්‍රහණය ආරම්භ වීමේ සිට එය නිමාවී පැහැදිලි වන තෙක්, එනම් සූර්යග්‍රහණය හෝ චන්ද්‍රග්‍රහණය ඉවත් වන තෙක්.

එය ඉටු කිරීමෙහි ක්‍රමය:

මෙහි රකආත් ගණන රකආත් දෙකක් වන අතර, ඒ දෙකෙහිම කුර්ආනය හඬ නඟා පාරායනය කරනු ඇත. එහි ක්‍රමය පහත පරිදි වේ:

අ- 'අල්ලාහු අක්බර්' යැයි ප්‍රාරම්භක තක්බීරය පවසයි. පසුව ආරම්භක ප්‍රාර්ථනාව උසුරා අඌදු හා බිස්මි පවසා පසුව සූරා අල්ෆාතිහා කියවා පසුව දීර්ඝ අල්-කුර්ආන් පාරායනයක් සිදු කරයි.

ආ- පසුව දිගු වේලාවක් රුකූඋ කරයි.

ඇ- පසුව රුකූඃහි සිට නැගිට සිටිමින් ‘සමිඅල්ලාහු ලිමන් හමිදා’ යැයි පවසයි. පසුව ෆාතිහා පරිච්ඡේදය කියවයි. පසුව පළමු වර කියවූ දිගු පාරායනයට වඩා කෙටි පාරායනයක් සිදු කරයි.

ඈ- පසුව පළමු දිගු රුකූඋවට වඩා කෙටි රුකූඋවක් සිදු කරයි.

ඉ- පසුව රුකූඋ ඉරියව්වේ සිට "සමිඅල්ලාහු ලිමන් හමිදා"යැයි පවසා නැගිටියි.

ඊ- පසු ව දිගු සජදා දෙකක් ඉටු කරයි.

උ- පසුව දෙවන රකආතය සඳහා නැගිට සිටියි. එය පළමු රකආතය මෙන්ම වන නමුත් එය ඊට වඩා මදක් කෙටි වේ.

එහි සුන්නා පිළිවෙත්:

අ) (අස්සලාතු ජාමිආ) යනුවෙන් පවසමින් ඒ සඳහා ඇරයුම් කිරීම. 

‌ආ) සමූහ සලාතයක් ලෙස ඉටු කිරීම.

ඇ) සලාතයේදී කියාම්, රුකූඃ හා සුජූද් යන ඉරියව්වන් දිගු කිරීම.

ඈ) දෙවන රකආතය පළමු රකආතයට වඩා කෙටි වීම.

ඉ) ඉන් පසු දේශනය කිරීම, යහපත් කටයුතු සිදු කිරීමටත් අයහපත් කටයුතු වලින් වැළකී සිටීමටත් දිරි ගැන්වීම.

ඊ) දුආ ප්‍රාර්ථනාවන්, කන්නලව් කිරීම්, ඉස්තිග්ෆාර් සහ දන් දීම වැනි කරුණු අධිකව කිරීම.

දහඅට වැන්න: 'සලාතුල් ඉස්තිස්කා' හෙවත් වර්ෂාව පතා කරනු ලබන සලාතය:

1) ඉස්තිස්කා: වියළි කාලවලදී වර්ෂාව පහළ කර දෙන මෙන් පතා උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීම.

වර්ෂාව පතා ඉටු කරනු ලබන සලාතය සඳහා ආගමානුගත කර ඇති වේලාව:

භූමිය වියළී, වර්ෂාව නතර වී, ඒ හේතුවෙන් හානිය ඇති වූ විටෙක, වර්ෂාව පතා කරනු ලබන සලාතය ඉටු කිරීම ආගමානුගත කරන ලද්දකි.  තමන්ගේ පරමාධිපතියාණන් වෙත කණ්ණලව් කරමින් ජලය හා වර්ෂාව පතා ප්‍රාර්ථනා කිරීම හැර වෙනත් මාර්ගයක් අපට නොමැත.

අ- - විටෙක සමූහ වශයෙන් හෝ තනිව හෝ එම සලාතය ඉටු කිරීම.

ආ- ජුමුආ දේශනාවේ දුආ ප්‍රාර්ථනාවත් සමග, දේශකයා ඒ ගැන ද ප්‍රාර්ථනා කරයි. ඒ අතර මුස්ලිම්වරුන් ඔහුගේ දුආවට ආමීන් කියති.

ඇ - විටෙක සලාතයක් හෝ දේශනාවක් හෝ නොමැතිව, කවර හෝ වේලාවක දුආ ප්‍රාර්ථනා කිරීම.

වර්ෂාව පතා ඉටු කරනු ලබන සලාතයේ නීති රීති:

ඒ සඳහා සාධක අවශ්‍ය වූ විටෙක එය සිදු කළ යුතුය. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය සිදු කර ඇති බැවිනි.  අබ්දුල්ලාහ් බින් සයිද් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසයක මෙසේ සඳහන් වේ:

«خَرَجَ النَّبِيُّ ﷺ إِلَى الْمُصَلَّى، فَاسْتَسْقَى، وَاسْتَقْبَلَ الْقِبْلَةَ، وَقَلَبَ رِدَاءَهُ، وَصَلَّى رَكْعَتَيْنِ».

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මුසල්ලාව (සලාත් ඉටු කරනු ලබන ස්ථානය) වෙත පිටත්ව ගොස් වර්ෂාව පතමින් ප්‍රාර්ථනා කළහ. කිබ්ලාවට මුහුණ ලා තම උඩු සළුව කනපිට පෙරලූහ. පසුව රකආත් දෙකක් සලාතය ඉටු කළහ. 39

වර්ෂාව පතා සලාතය ඉටු කරන ආකාරය:

වර්ෂාව පතා ඉටු කරනු ලබන සලාතය ඉටු කරන ආකාරය නම්, එය ස්ථානයෙන් අවුරුදු සලාතය මෙන් වේ. ඒ අනුව ඊද් (අවුරුදු) සලාතය මෙන් එය 'මුසල්ලා' සලාත් ඉටු කරනු ලබන ස්ථානයක වීම වඩාත් සුදුසුය. එහි නීති ද ඊද් සලාතයේ නීති හා සමානය. රකඅත් ගණන, ශබ්ද නඟා පාරායනය කිරීම, දේශනාවට පෙර සලාතය ඉටු කිරීම, පළමු හා දෙවන රකආතයේ පාරායනයට පෙර අතිරේක තක්බීර් පැවසීම වැනි දෑය. මෙය ඊද් හෙවත් උත්සව දෙකෙහි සලාතය පිළිබඳව පෙර පැහැදිලි කළ පරිදි ය. එක් දේශනාවක් පමණක් දේශනා කරයි.

දහනව වන කරුණ: 'අල්-ජනාසා' හෙවත් මරණ කටයුතු සම්බන්ධ නීති රීති.

පළමුව: මිය යන අය අසළ සිටින අයට:

1- මරණාසන්න පුද්ගලයෙකු අසළ සිටින අයෙකුට "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" යන ප්‍රකාශය සිහි කර දීම සුන්නා පිළිවෙතකි.

2- කිබ්ලාව දෙසට මුහුණලා ඔහු ව තැබීම ද සුන්නා පිළිවෙතකි.

3- ඔහුගේ ඇස් වැසීම සතුටු දායක ක්‍රියාවකි.

4. මිය ගිය පසු මෘත දේහය රෙදි කඩකින් වසා තැබීම ද සුන්නා පිළිවෙතක් වේ.

5- ඔහුගේ ජනාසා කටයුතු සිදු කිරීමට සුහුසුළු විය යුතුය.  

6- ඔහුගේ ණය පියවීමට යුහුසුළු විය යුතුය.

7. මෘත දේහය ස්නානය කරවා කෆන් කරනු (රෙදි කඩවලින් ඔතනු) ලබයි. එසේ ඒ දෙක සිදු කිරීම (ෆර්ළ් කිෆායා නම් කිහිප දෙනෙකුට පමණක් නියම වන) වගකීමකි.

දෙවැන්න: මිය ගිය ඇත්තන් සඳහා සලාතය ඉටු කිරීමේ නීති රීති:

එහි නීතිය: ‘ෆර්ලු කිෆායා’(කිහිප දෙනෙකුට පමණක් නියම වන) වගකීමකි.

ඒ සඳහා වූ කොන්දේසි:

1. කිබ්ලාව දෙසට හැරී සිටීම.

2. නිරුවත වසා ගැනීම.

3) නජීස් වලින් වැළකී සිටීම.

4) සලාත් ඉටු කරන්නා සහ සලාත් ඉටු කරවනු ලබන්නා පිරිසිදු වීම.

5) සලාත් ඉටු කරන්නා සහ සලාතය ඉටු කරවනු ලබන අය ඉස්ලාමය වැළඳගෙන තිබීම.  

6) තමන් එම නගරයේ සිටී නම්, ජනාසා කටයුතුවලට සහභාගී වීම.

7) වගකීම් පැවරුණු (වැඩි වියට පත්) අයෙකු වීම.

එහි මූලිකාංග:

1) එහි දී සිටගෙන සිටීම.

2) 'අල්ලාහු අක්බර්' යැයි පවසන තක්බීරයන් හතර.

3) සූරතුල් ෆාතිහා පාරායනය කිරීම.

4) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පැවසීම.

5- මිය ගිය ඇත්තන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම.

6) (මේවායෙහි) අනු පිළිවෙල.

7) සලාම් පැවසීම.

එහි සුන්නා පිළිවෙත්:

1. සෑම තක්බීරයක් සමගම දෙඅත් එසවීම.

2) ආරක්ෂාව පැතීම.

3- තමන්ටත් මුස්ලිම්වරුන්ටත් දුආ ප්‍රාර්ථනා  කිරීම.

4. එහි කෙරෙන පාරායනයන් ශබ්ද නැගීමෙන් තොර ව පාරායනය කිරීම.

5) සිව්වන තක්බීරයට පසු, සලාම් පැවසීමට පෙර කෙටි වේලාවක් නතර වීම.

6) දකුණත වමතෙහි මතුපිටින් පිහිටන සේ තබා පපුව මත තැබීම.

7) සලාම් පැවැසීමේදී දකුණු දෙසට හැරී සලාම් පැවැසීම.

එහි ක්‍රමය:

ඉමාම්වරයා සහ තනි පුද්ගලයා පිරිමි දේහයේ පපුවට හා කාන්තා දේහයේ මැදට සමාන්තරව සිටගත යුතුය. තක්බීර් පවසා, ප්‍රාරම්භක ප්‍රාර්ථනාවෙන් තොරව, අඌදු හා බිස්මි පවසා ෆාතිහා පරිච්ඡේදය කියවිය යුතුය.

පසුව තක්බීර් පවසා, ඉන් පසු දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උදෙසා සලවාතය පැවසිය යුතු ය. පසුව තක්බීර් පවසා, මිය ගිය පුද්ගලයා වෙනුවෙන් පැමිණ ඇති ප්‍රාර්ථනාවන් පැවසිය යුතු ය. එතුමාණන්ගේ (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්)  ප්‍රකාශයක් මෙසේ ය:

«اللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا، وَصَغِيرِنَا وَكَبِيرِنَا، وَذَكَرِنَا وَأُنثَانَا، وَشَاهِدِنَا وَغَائِبِنَا، اللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الإِيمَانِ، وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى الإِسْلَامِ، اللَّهُمَّ لَا تَحْرِمْنَا أَجْرَهُ، وَلَا تُضِلَّنَا بَعْدَهُ».

අල්ලාහුම්මග්ෆිර් ලිහය්යිනා වමය්යිතිනා, වසගීරිනා වකබීරිනා, වදකරිනා වඋන්සානා, වෂාහිදිනා වගාඉබිනා. අල්ලාහුම්ම මන් අහ්යය්තහූ මින්නා ෆඅහ්යිහී අලල් ඊමාන්. වමන් තවෆ්ෆය්තහූ මින්නා ෆතවෆ්ෆහූ අලල් ඉස්ලාම්. අල්ලාහුම් ලා තහ්රිම්නා අජ්රහූ වලා තුළිල්ලනා බඃදහූ.(අහෝ දෙවිඳුනි, අපගේ ජීවතුන් අතර සිටින අයට සහ මියගිය අයට, අපගේ කුඩා අයට සහ මහලු අයට, අපගේ පිරිමින්ට සහ කාන්තාවන්ට, අප අතර සහභාගී වූ සහ සහභාගී නොවූ අයට සමාව දෙනු මැනව. අහෝ දෙවිඳුනි, ඔබ අප අතර ජීවත් කරවන ඕනෑම කෙනෙකුව, ඔබේ විශ්වාසය මත පදනම්ව ජීවත් කරවනු මැනව, තවද ඔබ අප අතර මරණයට පත් කරන ඕනෑම කෙනෙකුව, ඉස්ලාමය මත පදනම්ව මරණයට පත් කරනු මැනව. අහෝ දෙවිඳුනි ඔහුගේ විපාකය අපට අහිමි නොකරනු මැනව, ඔහුගෙන් පසු අපව නොමඟ නොයවනු මැනව.)40

එතුමාණන්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:

«اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ، وَعَافِهِ وَاعْفُ عَنْهُ، وَأَكْرِمْ نُزُلَهُ، وَوَسِّعْ مَدْخَلَهُ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثلْجِ وَالْبَرَدِ، وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الْأَبْيَضَ مِنَ الدَّنَسِ، وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ، وَأَهْلًا خَيْرًا مِنْ أَهْلِهِ، وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ، وَأَدْخِلْهُ الْجَنَّةَ، وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ عَذَابِ النَّارِ».

අල්ලාහුම්මග්ෆිර් ලහූ වර්හම්හු, වආෆිහි වඃෆු අන්හු, වඅක්රිම් නුzසුලහු, වවස්සිඃ මුද්ඛලහු, වග්සිල්හු බිල්මාඉ වස්සල්ජි වල්බරද්, වනක්කිහි මිනල් ඛතායා කමා නක්කයිතස් සව්බල් අබ්යළ මිනද්දනස්, වඅබ්දිල්හු දාරන් ඛයිරන් මින් දාරිහි, වඅහ්ලන් ඛයිරන් මින් අහ්ලිහි, වසව්ජන් ඛයිරන් මින් සව්ජිහි, වද්ඛිල්හුල් ජන්නත, වඅඉද්හු මින් අදාබිල් කබ්ර්, වමින් අදාබින් නාර්."(අහෝ දෙවිඳුනි, ඔහුට පාපක්ෂමාව දෙනු මැනව, ඔහුට අනුකම්පා කරනු මැනව, ඔහුට සමාව දෙන්න, ඔහුට ගෞරවය ලබා දෙනු මැනව, ඔහුගේ වාසස්ථානය ගෞරවය කරනු මැනව, ඔහුගේ පිවිසුම පුළුල් කරනු මැනව, ජලයෙන්, පිණිකැට සහ සීත ජලයෙන් ඔහුව සෝදා හරිනු මැනව, ඔබ සුදු ඇඳුමක් කිලිටි පිරිසිදු කරන ආකාරයට ඔහුව පිරිසිදු කරනු මැනව. ඔහුගේ නිවසට වඩා හොඳ නිවසක් ද, ඔහුගේ පවුලට වඩා හොඳ පවුලක් සහ ඔහුගේ බිරිඳට වඩා හොඳ බිරිඳක් ද ඔහුට ලබා දෙනු මැනව, ඔහුව ස්වර්ගයට ඇතුළත් කර මිනීවලෙහි දඬුවමෙන් සහ ගින්නේ වේදනාවෙන් ආරක්ෂා කරනු මැනව.)41 පසු ව තක්බීර් පවසා, මදක් නතර වී, තම දකුණත පැත්තට එක් සලාමයක් දිය යුතු ය.

 

තුන්වන විමසුම: සකාත්:

1- සකාතය සහ එහි ස්ථාවරය පිළිබඳ හැඳින්වීම:

සකාත් යන පදයේ භාෂාමය අර්ථය: වර්ධනය හා වැඩිවීම.

සකාත් යන පදයේ ආගමික අර්ථය : ආගමික නීතියට අනුව, නියමිත මුදල් මත නියමිත පාර්ශවයකට අනිවාර්යය වන වගකීමකි.

මෙය ඉස්ලාමයේ මූලිකාංග අතරින් තෙවන මූලිකාංගය වේ. එය සලාතය සමග සම්බන්ධ කරමින් අල්-කුර්ආනයේ ස්ථාන අසූ දෙකක් සඳහන් වන අතර, එය එහි මහත් වැදගත්කම පෙන්වයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ...﴾

"තවද නුඹලා සලාතය ස්ථාපිත කරනු. zසකාතය ද දෙනු." (අල් බකරා: 43)

නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණෝ මෙසේ පැවැසූහ.

«بُنِيَ الإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّـهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّـهِ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ الْبَيْتِ، وَصَوْمِ رَمَضَانَ».

"ඉස්ලාමය කරුණු පහක් මත ගොඩනැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම." 42

සමස්ත මුස්ලිම්වරුන්ගේ ඒකමතික තීන්දුව එය අනිවාර්යය වගකීමක් යන්නය.  එමෙන්ම එහි අනිවාර්යතාවය ප්‍රතික්ෂේප කළ අය කුෆ්ර් (දේවත්වය ප්‍රතික්ෂේප) කළ අය වේ. එය නිකුත් කිරීම වළක්වන අය සමග අරගල කළ යුතු වේ.

2- සකාත් අනිවාර්යය වීම සඳහා තිබිය යුතු කොන්දේසි:

(අ) නිදහස් පුද්ගලයකු වීම: එය වහලුන්ට අනිවාර්යය නොවේ; මන්ද ඔහුට කිසිදු දේපලක් සතු නොවන අතර ඔහුගේ සතු සියලු දෑ ඔහුගේ ස්වාමියාගේ දේපල වන බැවිනි. එබැවින් ඔහුගේ සකාතතය ඔහුගේ ස්වාමියා මත පිහිටයි.

ආ) ඉස්ලාමය වැළඳගෙන තිබීම: එය (දේවත්වය ප්‍රතික්ෂේප කරන) කාෆිර්වරයෙකුට අනිවාර්ය නොවේ. මක්නිසාදයත් එය දෙවියන්ට සමීපවීමක් සහ ඔහුට අවනත වීමක් ලෙස ඉටු කරනු ලබන්නක් වන බැවිනි. (දේවත්වය ප්‍රතික්ෂේප කරන) කාෆිර්වරයා දෙවිඳුන්ට සමීප හෝ ඔහුට අවනත වන අයකු නොවේ.

ඇ) නිසාබ් හි ප්‍රමාණය හිමිව තිබීම: නිසාබ් ප්‍රමාණයට අඩු ධනයෙහි සකාත් අනිවාර්ය නොවේ. නිසාබ් යනු නියම කරන ලද ප්‍රමාණයකි.

සම්පූර්ණ අයිතිය හිමිව තිබීම:  පුද්ගලයෙකු සතුව ධනයේ පූර්ණ හිමිකාරත්වය හා අයිතිය  තිබිය යුතුය. අයිතිය ස්ථිර නොවූ ධනයෙහි සකාත් නොමැත.

ඇ) මුදල් සම්බන්ධයෙන් නම් එයට වසරක් ගතවී තිබිය යුතුය: එය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කළ හදීසයකට අනුවය.

«لَا زَكَاةَ فِي مَالٍ حَتَّى يَحُولَ عَلَيْهِ الْحَوْلُ».

"කිසිදු ධනයක වසරක් පූර්ණ වන තෙක් zසකාත් නොමැත."43.

3- සකාත් අනිවාර්යය වන සම්පත්:

පළමුව: ගොවිපළ සතුන්,

ඒවා නම්, ඔටු, ගව හා එළුවන්ය. ඒවා සඳහා සකාත් අනිවාර්ය වන්නේ කොන්දේසි දෙකක් යටතේය:

1- කිරි සහ බෝ කිරීම සඳහා ගනු ලබන සතුන් විය යුතුය. වැඩට යොදවන සතුන් නොවිය යුතුය.

2- සතුන් තම හිමිකරුට වියදමක් නොමැතිව ස්වභාවික තණබිම් වලින් අනුභව කරන සතුන් විය යුතුය. ආහාරය මිලදී ගෙන හෝ තණකොළ හෝ වෙනත් දෑ එකතු කර ආහාර සපයනු ලබන සතුන් මත සකාත් අනිවාර්යය නොවේ. මුළු වසර පුරාවටම හෝ වැඩි කාලයක් හෝ නොව වසරේ සුළු කාලයක් ආහාර සපයා රැකබලාගන්නා සතුන් මත ද සකාත් නොමැත.

4- ගොවිපළ සතුන්ගේ නිසාබ් (නියම කරන ලද) ප්‍රමාණය.

1- ඔටුවන් සම්බන්ධයෙන් වූ සකාත්:

කොන්දේසි සම්පූර්ණ වී ඇත්නම්; සෑම ඔටුවන් පස් දෙනෙකුටම එළුවෙකු ද දහයකට එළුවන් දෙදෙනකු ද පහළොවකට එළුවන් තිදෙනකු ද විස්සකට එළුවන් හතරදෙනකු ද zසකාත් වශයෙන් දිය යුතු ය. නබි වදන් හා විද්වතුන්ගේ ඒකමතික තිරණය ඒ බව දන්වා ඇත. එසේම ඔටු සංඛ්‍යාව විසි පහක් සම්පූර්ණ වූ විට, එහි දී 'බින්ත් මුඛාද්' ලෙස හැඳින්වෙන ඔටු දෙනක් පිරිනැමිය යුතු වේ. එනම් වසරක් සම්පූර්ණ වී දෙවන වසරට ඇතුල් වූ ඔටු දෙනකි. එය නොමැති නම්, ඉබ්න් ලබූන් (වසර දෙකක් සම්පූර්ණ වූ) වර්ගයේ ඔටුවෙකු නිකුත් කිරීමට අනුමැතිය ඇත.

ඔටු සංඛ්‍යාව තිස් හයක් වූ විට, එහි දී දෙවසරක් සම්පූර්ණ වූ බින්තු ලබූන් නම් ඔටු දෙනක් නිකුත් කළ යුතු වේ.

උන්ගේ සංඛ්‍යාව හතළිස් හයක් වූ විට, වසර තුනක් සම්පූර්ණ වූ හික්කා නම් ඔටු දෙනක් නිකුත් කළ යුතුය.

ඔටු සංඛ්‍යාව හැට එකක් වූ විට, සිව් වසරක් සම්පූර්ණ වූ ජස්ආ නම් ඔටු දෙනක් නිකුත් කළ යුතුය.

ඔටු සංඛ්‍යාව හැත්තෑ හයක් දක්වා වර්ධනය වූ විට, බින්තු ලබූන් හෙවත් දෙවසරක් සම්පූර්ණ වූ ඔටු දෙනුන් දෙදෙනෙක් නිකුත් කළ යුතුය.

උන්ගේ සංඛ්‍යාව අනූ එකක් වූ විට, එහිදී (වසර තුනක් සම්පූර්ණ වූ) හික්කා දෙකක් නිකුත් කළ යුතුය.

ඔටු සංඛ්‍යාව 120 ට වඩා එක් ඔටුවකු වැඩි වූ විට, එහිදී බින්තු ලබූන් හෙවත් දෙවසරක් සම්පූර්ණ වූ ඔටු දෙනුන් තුන්දෙනෙක් නිකුත් කළ යුතුය. පසුව සෑම 40ක් පාසාම බින්තු ලබූන් හෙවත් දෙවසරක් පූර්ණ වූ ඔටු දෙනක් බැගින් ද සෑම 50ක් පාසාම හික්කත් හෙවත් තෙවසරක් සම්පූර්ණ වූ ඔටු දෙනක් බැගින් ද නිකුත් කළ යුතු වේ.

2- ගවයින් සම්බන්ධයෙන් වූ සකාත්:

නියමිත කොන්දේසි සම්පූර්ණ වී, ගව සංඛ්‍යාව තිහකට ළඟා වූ විට, එක් වසරක් සම්පූර්ණ වී දෙවන වසරට ඇතුළු වූ තබීඃ නම් වර්ගයේ ගවයෙකු හෝ තබීආ නම් වර්ගයේ ගව දෙනෙකු නිකුත් කළ යුතු වේ.

තිස් දෙනෙකුට වඩා අඩු ගව සංඛ්‍යාවක් සඳහා කිසිවක් නැත.

ගව සංඛ්‍යාව හතළිහක් සම්පූර්ණ වූ විට, එහිදී වසර දෙකක් සම්පූර්ණ වූ මුසින්නා නම් ගව දෙනෙකු නිකුත් කළ යුතුය.

එසේම ගවයන්ගේ මුළු සංඛ්‍යාව 40 ඉක්ම වූ විට, සෑම 30ක් සඳහාම තබීආ හෙවත් වසරක් පූර්ණ වූ ගවයෙකු හෝ ගව දෙනක් සහ සෑම 40ක් සඳහාම මුසින්නා හෙවත් දෙවසරක් සම්පූර්ණ වූ ගව දෙනක් නිකුත් කළ යුතුය.

3- එළුවන් සම්බන්ධයෙන් වූ සකාත්:

එළුවන් හෝ බැටළුවන් සංඛ්‍යාව 40ක් සම්පූර්ණ වූ විට, එහි දී 'ජසආ' වර්ගයේ බැටළුවෙක් හෝ 'මඃස්' වර්ගයේ එළුවෙකු හෝ නිකුත් කළ යුතුය.

එළුවන් සංඛ්‍යාව 40 කට අඩු නම්, එහිදී සකාත් නොමැත. එළුවන් සංඛ්‍යාව 121 දක්වා වර්ධනය වී ඇත්නම්, එහි දී එළුවන් දෙදෙනකු නිකුත් කළ යුතුය. එම සංඛ්‍යාව දෙසිය එකක් වූ විට; එහි දී එළුවන් තිදෙනෙකු නිකුත් කළ යුතුය.

පසුව මෙම ප්‍රමාණයෙන් පසු නිකුත් කළ යුතු දෑ ස්ථිර වේ. ඒ අනුව, සෑම එළුවන් සියයකටම එළුවකු බැගින් විය යුතුය. එනම් එළුවන් හාරසීයකට එළුවක් හතරක් නිකුත් කළ යුතු වේ.  

දෙවැන්න: පොළොවෙන් මතු වූ දෑ සඳහා වූ සකාත්:

පොළොවෙන් මතු වන වස්තු වර්ග දෙකකි:

1) ධාන්‍ය සහ පලතුරු වර්ග.

2) ඛනිජ වර්ග

පළමු වර්ගය: ධාන්‍ය සහ පලතුරු:

ධාන්‍ය සඳහා සකාත් නිකුත් කිරීම අනිවාර්ය වේ. උදාහරණ ලෙස: තිරිඟු බර්ලි හා සහල්. පලතුරු අතර ද සකාත් නිකුත් කිරීම අනිවාර්යය වේ. උදාහරණ ලෙස: රට ඉඳි හා මිදි. එළවළු හා ඵලා වර්ග වැනි අනෙකුත් පැළෑටි සඳහා සකාත් නිකුත් කිරීම අනිවාර්යය නොවේ.

ධාන්‍ය හා පළතුරුවල සකාත් නිකුත් කිරීම අනිවාර්යය වීමේ කොන්දේසි:

1) ගබඩා කර තබා ගැනීමට හැකියාව තිබිය යුතුය.: පළතුරු හා එළවළු වැනි රැස්කර දීර්ඝ කාලයක් තබා ගත නොහැකි දෑහි සකාත් අනිවාර්යය වන්නේ නැත.

2) එය පරිමාවෙන් මනිනු ලබන දෙයක් විය යුතුය. ඒ අනුව ගණන් කිරීමෙන් හෝ බර බැලීමෙන් හෝ විකිණෙන කොමඩු, ලූනු, දෙළුම්, සහ අනෙකුත් දෑ වල සකාත් නැත.

3) නිසාබය ලබා තිබිය යුතුය: එනම් අවුසක් පහකි.එයට වඩා අඩු නම් එහි දී සකාත් නැත.

4) සකාත් අනිවාර්යය වන අවස්ථාවේ දී නියමිත ප්‍රමාණය අයිතිව තිබිය යුතුය.

සකාත් අනිවාර්යය වන කාලය පසු වූ පසු කවරෙකු එය හිමිකර ගන්නේ නම්, ඔහු කෙරෙහි සකාත් අනිවාර්යය නොවේ. එය ඔහු මිලදී ගත් හෝ ඔහුට තෑගි ලෙස ලැබුණු පසු අස්වැන්නක් වුව ද එලෙසම ය. 

එහි සකාත් අනිවාර්යය වන කාලය:

ධාන්‍ය හා පළතුරු වල සකාත් දීම ඒවායේ පරිපූර්ණතාවය (බෝගය සම්පූර්ණයෙන්ම වැඩී භාවිතයට සූදානම් වීම) ආරම්භ වන විට අනිවාර්යය වේ. පරිපූර්ණතාවය ආරම්භ වීමේ සළකුණු පහත සඳහන් අයුරිනි:

අ- ධාන්‍ය වලදී: එය දැඩි, ශක්තිමත් සහ ඝන බවට පත්වන විට,

ආ- පලතුරු වලදී: රතු හෝ කහ පැහැයට පත්වන විට.

ඇ- මිදි වලදී: මෘදු හා කෑමට හෝ භාවිතයට සුදුසු හොඳ රසයක් තිබිය යුතුයි.

එහි නිසාබ් ප්‍රමාණය:

ධාන්‍ය හා පලතුරු සඳහා නිසාබ් (අවම ප්‍රමාණය): වසක් පහකි. "වසක්" එකක් යනු සාඃ හැටකි. නිසාබ් යනු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයට අනුව සාඃ 300ක් වන අතර, එම නිසාබ් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් ගත් කළ එය සාමාන්‍යයෙන් කි.ග්‍රෑම් 900ක් පමණ වේ. 

එහි අනිවාර්ය වන සකාත් ප්‍රමාණය:

වැසි ජලය සහ උල්පත් මඟින් ජලය සපයනු ලබන වගාවන් මෙන්, කිසිදු වැය බරක් නොදරා  ස්වභාවිකව ජලය සපයනු ලැබූ වගාවන් සඳහා නිකුත් කළ යුතු සකාත් ප්‍රමාණය දහයෙන් එක් කොටසකි.  

සතුන් හෝ නවීන යන්ත්‍ර මඟින් ළිං හා ගංගාවලින් ජලය ඇද ඒ සඳහා වැය බරක් සහිතව සපයා ඇත්නම් එහි දහයෙන් එකෙන් අඩක් සකාත් ලෙස නිකුත් කළ යුතු වේ.

දෙවන වර්ගය: ඛනිජ:

මහපොළොවෙන් පිටවෙන තවත් වර්ගයක් වන්නේ: ඛනිජය. එය මහපොළොවෙන් ලබාගන්නා, වගාවට අයිති නොවන රන්, රිදී, යකඩ සහ මැණික් වැනි වර්ග වේ.

එහි සකාත් අනිවාර්යය වන වේලාව:

ඔහුට එය ලැබී ඔහු අයිතියේ එය තිබේ නම්, වහාම ඒ සඳහා සකාත් පිරිනැමිය යුතුය. ඒ සඳහා වසරක් සම්පූර්ණ වීමේ කොන්දේසිය අදාළ වන්නේ නැත. එහි නිසාබ් ප්‍රමාණය වනුයේ රන් සහ රිදී සඳහා වන නිසාබ් ප්‍රමාණයම ය. එහි වටිනාකමෙන් දහයෙන් හතරෙන් එකක් නිකුත් කළ යුතුය.

තෙවනුව: මිල කරන දෑ හි සකාත් නිකුත් කිරීම:

මිල කරන දෑ වනුයේ: රන්, රිදී කාසි සහ නෝට්ටු වේ. ඒවා සඳහා සකාත් නිකුත් කිරීම අනිවාර්යය. මෙය සම්බන්ධව, අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය:

﴿...وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ 34﴾

"තවද රන් රිදී ගොඩ ගසා අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නො කරන අය වනාහි වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු." (34) (අත්-තව්බා: 34)

හදීසයේ මෙසේ සඳහන් වේ:

«مَا مِنْ صَاحِبِ ذَهَبٍ وَلَا فِضَّةٍ لَا يُؤَدِّي فِيهَا حَقَّهَا؛ إِلَّا إِذَا كَانَ يَوْمَ الْقِيَامَةِ صُفِّحَتْ لَهُ صَفَائِحُ مِنْ نَارٍ».

"රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) වගකීම ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ."44

රන් හා රිදී සඳහා සකාත් අනිවාර්ය බවටත් මුදල් නෝට්ටු වනාහි රන් හා රිදී සඳහා වන නීතිය එයට ද අදාළ බවටත් සියලුම විද්වතුන් ඒකමතිකව එකඟ වී ඇත. මක්නිසාදයත් මුදල් හුවමාරු කටයුතුවලදී පැරණි රන් හා රිදී ක්‍රමයට වර්තමානයේ නෝට්ටු භාවිත වන බැවිනි.

මිල කරනු ලබන දෑහි නිකුත් කරනු ලබන සකාත් ප්‍රමාණය හා එහි අනිවාර්යය වන නියමිත ප්‍රමාණය:

එය රන් හෝ රිදී සඳහා වන නිසාබ් ප්‍රමාණයම වේ; එය මුදල් වශයෙන් ඒවාට සමාන වන බැවිනි. ඒවායේ නිසාබ් ප්‍රමාණය ලැබූ විට සකාත් අනිවාර්යය වේ. වර්තමානයේ සල්ලිවල නිසාබ් ප්‍රමාණය බොහෝ විට රිදී මත පදනම් කළ හැකිය; මක්නිසාදයත් එය රනට වඩා අඩු මිලක පවතින බැවින් හා ඊට පෙර මෙහි නිසාබ් ප්‍රමාණය ලබන බැවිනි. මුස්ලිම්වරයකු සතුව රිදී ග්‍රෑම් 595කට සමාන වටිනාකමක් තිබී වසරක් සම්පූර්ණ වූ විට එහි සකාත් අනිවාර්යය වේ. ග්‍රෑම් 1ක රිදී වටිනාකම කාලයෙන් කාලයට වෙනස් වේ. කෙනෙකුට අඩු මුදලක් තිබේ නම්, එය නීසාබයට සමාන ද යන්න ගැන නොදන්නේ නම්, ඔහු රිදී වෙළඳුන්ගෙන් ග්‍රෑම් 1ක රිදීයේ වටිනාකම විමසිය යුතුය. පසුව එය (595) කින් ගුණ කළ යුතුය. ඉන් ලැබෙන ප්‍රතිඵලය නිසාබය වේ.

ප්‍රයෝජනය නම්: තම මුදලේ සකාත් නිකුත් කිරීමට ඔහු සිතූ විට, නිසාබය හතළිහකට බෙදා, ඉන් ලැබෙන ප්‍රමාණය නිකුත් කිරීමට අනිවාර්යය වන ප්‍රමාණයයි.

හතර වැන්න: ව්‍යාපාරික භාණ්ඩ සඳහා වන සකාතය.:

එය ලාභ ලැබීමේ අරමුණින් විකුණුම් හා ගැණුම් සඳහා සූදානම් කරන ලද්දකි. ව්‍යාපාරික භාණ්ඩ සඳහා වන සකාතයට මුදල් නොවන මෝටර් රථ, ඇඳුම්, රෙදිපිළි, යකඩ, ලී සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද අනෙකුත් සියලුම වර්ග අයත් වේ.

ව්‍යාපාරික භාණ්ඩ සඳහා සකාත් අනිවාර්යය වීමේ කොන්දේසි:

1- විකිණීම, කුලියට දීම සහ වෙනත් ආකාරයේ ඉපැයීම් වැනි ඔහුගේම ක්‍රියාවන් හරහා එය අයිති කරගෙන තිබීම.

2- වෙළඳාම් කිරීමේ අදහසින් ඔහු එය හිමිකරගෙන තිබීම; එනම්, ඔහු එයින් ලාභයක් ලබා ගැනීමට අදහස් කිරීමය. මන්ද ක්‍රියාවන් චේතනාවන් මත පදනම් වන අතර වෙළඳාම යනු ක්‍රියාවකි, එබැවින් අනෙක් සියලුම ක්‍රියාවන් මෙන් චේතනාව ඒ සමඟ සම්බන්ධ කළ යුතුය.

3- එහි වටිනාකම, මුදල් වර්ග දෙකින් එකක් නිසාබ් මට්ටමට ළඟා වී තිබිය යුතුය.

4- වසරක් සම්පූර්ණ වී තිබිය යුතුය, එනම් වසරක් ගත වී තිබිය යුතුය. 

ව්‍යාපාරික භාණ්ඩ සඳහා සකාත් නිකුත් කිරීමේ ක්‍රමය:

අවුරුද්දක් සම්පූර්ණ වූ විට, ව්‍යාපාරික භාණ්ඩ රන් හෝ රිදී යන මුදල් වර්ග දෙකින් එකකට තක්සේරු කළ යුතුය. එය තක්සේරු කර එහි වටිනාකම මුදල් වර්ග දෙකින් එකක නිසාබ් සීමාවට ළඟා වූ විට, එහි වටිනාකමෙන් දහයෙන් එකෙන් හතරෙන් එකක් (zසකාත් ලෙස) නිකුත් කළ යුතුය.

පස් වැන්න: සකාතුල් ෆිත්ර්

එය රමළාන් මාසය අවසානයේදී ලබා දිය යුතු අනිවාර්ය දානයකි. මෙය අනිවාර්ය කරන ලද්දේ හිජ්රි දෙවන වසරේදීය. 

එහි නීති ස්වභාවය:

සකාතුල් ෆිත්ර් සෑම මුස්ලිම්වරයකුටම අනිවාර්යය වේ. එසේ අනිවාර්ය වනුයේ අවුරුදු දින සහ එදින රාත්‍රියේ ඔවුන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට ප්‍රමාණවත් ආහාරයට අමතරව යමක් තිබේ නම් පමණි. සෑම මුස්ලිම් පිරිමි හා කාන්තාවකටම, ළමා හෝ වැඩිහිටියකුටම, නිදහස් හෝ වහලෙකුටම අනිවාර්ය වේ. එය නබි වදනකට අනුවය:

«فَرَضَ رَسُولُ اللَّهِ ﷺ زَكَاةَ الْفِطْرِ عَلَى الْعَبْدِ وَالْحُرِّ، وَالذَّكَرِ وَالْأُنثَى، وَالصَّغِيرِ وَالْكَبِيرِ، مِنَ الْمُسْلِمِينَ».

"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මුස්ලිම්වරුන් අතර සිටින වහලා හා නිදහස් පුද්ගලයා, පිරිමියා හා කාන්තාව, කුඩා හා වැඩිහිටි අය කෙරෙහි සකාතුල් ෆිත්ර් අනිවාර්යය කළහ."45. අනිවාර්යය කළහ යනු  නියම කළේය වගකීමක් බවට පත් කළේය යන්නයි.

එය ආගමානුගත කිරීමට හේතුව:

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

«فَرَضَ رَسُولُ اللَّهِ ﷺ زَكَاةَ الْفِطْرِ؛ طُهْرَةً لِلصَّائِمِ مِنَ اللَّغْوِ وَالرَّفَثِ، وَطُعْمَةً لِلْمَسَاكِينِ».

"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නොමනා වචනයෙන් හා නොමනා ක්‍රියාවෙන් උපවාසකරු පිවිතුරු කිරීම පිණිස හා දුගියන්ට ආහාරයක් වනු පිණිස, සකාතුල් ෆිත්ර් අනිවාර්යය කළහ.46

එය අනිවාර්ය වීමේ සහ නිකුත් කිරීමේ වේලාව:

අවූරුදු දින රාත්‍රියේ සූර්යයාස්තමනයෙන් පසු සකාතුල් ෆිත්ර් අනිවාර්යය වේ. අවුරුදු සලාතය වෙත යෑමට පෙර උත්සව දින එය නිකුත් කිරීම සතුටුදායකය. අවුරුදු සලාතය ඉටු කිරීමෙන් පසු එය ප්‍රමාද කිරීම සුදුසු නැත. එය අවුරුදු සලාතයෙන් පසු ප්‍රමාද කළේ නම්, එය නැවත ඉටු කිරීම අනිවාර්ය වන අතර, නියමිත කාලය ඉවත්වීමෙන් එය ප්‍රමාද කිරීමෙන් ඔහු පාපියෙකු වන්නේය.

උත්සවයට පෙර දිනකට හෝ දින දෙකකට පෙර එය නිකුත් කිරීමට අවසරය ඇත.

ඒවායේ ප්‍රමාණය සහ නිකුත් කරනු ලබන දෑ:

හාල්, රටඉඳි, තිරිඟු හෝ එවැනි රටක ජනතාවගේ සාමාන්‍ය ප්‍රධාන ආහාර වර්ග වලින්  සාඃ එකක ප්‍රමාණයක්; සාඃ එකක ප්‍රමාණය: කිලෝග්‍රෑම් තුනක් පමණ වේ. එසේම එහි වටිනාකම වෙනුවට මුදල් ලබා දීමෙන් සකාත් නිකුත් කිරීම සුදුසු නොවන්නේය; එය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නියෝගයට පටහැනිය.

සකාත් නිකුත් කිරීම සහ සකාත් ලැබීමට නියමිත අයවලුන්:

එය නිකුත් කිරීමේ වේලාව:

සකාත් නිකුත් කිරීමේ කාලය පැමිණි විට වහාම එය නිකුත් කිරීම අනිවාර්යය වේ. යම් අත්‍යවශ්‍ය කරුණකට හැර එය ප්‍රමාද කිරීම සුදුසු නොවේ. උදාහරණයක් ලෙස මුදල් ඔහු සිටින ස්ථානයෙන් දුර බැහැර ප්‍රදේශයක තිබීම, එය භාර දිය හැකි කෙනෙකු නොලැබීම වැනි අවස්ථාවන් දැක්විය හැක.

එය නිකුත් කරන ස්ථානය:

මුදල් පවතින ප්‍රදේශයේම එම සකාත් නිකුත් කිරීම වඩාත් සුදුසුය. එම මුදල් පවතින ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යැවීම පහත සඳහන් අවස්ථාවන්හිදී අනුමත වේ:

අ- සකාත් සඳහා අවශ්‍යතාවක් නොමැති ප්‍රදේශයක් වූ විටෙක.

ආ- වෙනත් ප්‍රදේශයක සමීප ඥාතියෙකු සිටින විටෙක.

ඇ - ආගමික වශයෙන් යහපත් හේතුවක් පවතින විටෙක, එය මාරු කිරීම සුදුසුය. උදාහරණයක් ලෙස: කුසගින්නෙන් පෙළෙන ගංවතුර වැනි ව්‍යසනවලින් පීඩාවට පත් මුස්ලිම් ප්‍රදේශ වෙත එය මාරු කිරීම.

පොදුවේ පවතින සාධක අනුව, ළමුන්ගේ සහ මානසික රෝගී බවින් පෙළෙන්නන්ගේ මුදල් මත ද සකාත් අනිවාර්ය වේ. ඔවුන් වෙනුවෙන් එය නිකුත් කිරීම ඔවුන්ගේ මුදල් භාරකරු විසින් සිදු කළ යුතුය. සකාත් නිකුත් කිරීමේදී නිය්යත් හෙවත් චේතනාවෙන් තොරව එය නිකුත් කිරීම සුදුසු නොවන්නේය. එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුවය: 

«إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ».

‘සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය’47.

සකාත් හිමිවිය යුතු අයවලුන්:

සකාත් පිරිනමනු ලැබිය යුතු කණ්ඩායම් අටකි:

පළමුව කණ්ඩායම: දිළිඳුන්:

ඔවුහු තමන්ගේ මූලික අවශ්‍යතා වන නිවස, ආහාරය සහ ඇඳුම් සපයා ගැනීමට පවා නොහැකි අය වෙති. සකාත් ලෙස පිරිනමන ප්‍රමාණය, ඔවුන්ට සහ ඔවුන්ගෙන් යැපෙන උදවියට වසරකට ප්‍රමාණවත් වන පරිදි තිබිය යුතුය.

දෙවන කණ්ඩායම: දුප්පතුන්:

ඔවුහු ප්‍රමාණවත් තරමට වඩා වැඩි යමක් සොයා ගන්නා නමුත් එහි පූර්ණත්වය සොයා නොගන්නා අය වෙති. උදාහරණයක් ලෙස: ඔහුට වැටුපක් ඇති නමුත් එය වසරකට ප්‍රමාණවත් නොවන අයයි.

ඔවුන්ට සකාත් ලෙස පිරිනමන ප්‍රමාණය: වසරකට ඔවුන්ගේ සහ ඔවුන් නඩත්තු කරන අයගේ අවශ්‍යතා සම්පූර්ණ වන තරමට විය යුතුය.

තුන්වන කණ්ඩායම: එය සම්බන්ධව කටයුතු  කරන උදවිය:

ඔවුන් වනාහි, සකාත් එකතු කිරීම සඳහා හෝ එය ආරක්ෂා කිරීම සඳහා හෝ එය අවශ්‍යතා ඇත්තන්හට පිරිනැමීම සඳහා කටයුතු භාර උදවිය විසින් පවරා එහි වගකීම භාරගත් උදවිය වෙති.

ඔවුනට සකාත් ලෙස පිරිනමනු ලබන ප්‍රමාණය: ඔවුන්ගේ කාර්යය සඳහා හිමි විය යුතු වේතනයේ ප්‍රමාණයට විය යුතුය. එය රජයෙන්  ඔවුන්ට පඩි හෝ වැටුප් නොලැබෙන කල්තාක්ය.

සිව්වන කණ්ඩායම: 'අල්මුඅල්ලෆතුල් කුලූබ්' හෙවත් ඉස්ලාමය වෙත හදවත් නැඹුරු වූ උදවිය:

එය ප්‍රදානය කිරීම හේතුවෙන් ඔවුුුන් ඉස්ලාමය පිළිගන්නට හෝ ඔවුන්ගේ විශ්වාසය ශක්තිමත් වන්නට හෝ ඔවුන් විසින් මුස්ලිම්වරුන්ට වන හානිය වළක්වන්නට අවස්ථාවක් උදාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔවුන්ට සකාත් ලෙස පිරිනැමිය යුතු ප්‍රමාණය: ඔවුන්ගේ ලෙන්ගතුකම හට ගන්නට අවශ්‍ය ප්‍රමාණයක් නිකුත් කිරීමය.

පස්වන කණ්ඩායම: අර්-රිකාබ් හෙවත් වහලුන් සම්බන්ධයෙන්,

එමගින් අපේක්ෂා කරනු ලබන්නේ: වහලුන් හා නිදහස ලැබීම සඳහා අපේක්ෂිත වහලුන් නිදහස් කිරීමය.

අල්-මුකාතිබ් යනු: තම ස්වාමියාගෙන් තමාව මිලදී ගත් වහලාය. යුධ බිමේදී සිරගත වූ මුස්ලිම් සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා වන්දි ලබා දීම ද මෙයට ඇතුළත් වේ.

හයවන කණ්ඩායම: ණයගැත්තතන්, ඔවුන් වර්ග දෙකකි:

පළමුවැන්න: තමන්ගේ අවශ්‍යතාවය සඳහා ණය ලබාගෙන ඇති, නමුත් එම ණය ගෙවීමට කිසිදු මාර්ගයක් නොමැති උදවියයි. ඔහුගේ ණය පියවීමට ප්‍රමාණවත් දේ පිරිනමනු ලැබේ.

දෙවැන්න: ජනයා අතර සමතය ඇති කිරීම සඳහා ඔහු මත ණයක් පැවරුණු උදවිය. ඔහු ධනවත් වුවද ඔහුගේ ණය සපුරාලීම සඳහා ප්‍රමාණවත් ධනය පිරිනමනු ලැබේ.

හත්වන කණ්ඩායම: අල්ලාහ්ගේ මාර්ගයෙහි සිටින්නන් වෙති.

ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් (අරගල) කරන උදවිය වෙති.

සකාත් මගින් ඔවුන්ට ලබා දිය යුතු ප්‍රමාණය: අල්ලාහ්ගේ මාර්ගයෙහි ජිහාද් (අරගල කිරීම) සඳහා ඔවුන්ට ප්‍රමාණවත් වන තමරට වාහන, ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සඳහා නිකුත් කිරීම.

අටවන කණ්ඩායම: ඉබ්නුස් සබීල් හෙවත් අතරමං වූ මගියා:

ඔහු වනාහි, තම ගමන අතරවාරයේ සිය මුදල් අවසන් වූ හෝ සොරකමට ලක් වූ මගියා ය. තම ගම රට බලා පිටත්ව යාමට අවශ්‍ය මුදල් ඔහු සතුව නොමැති තැනැත්තාය.

සකාත් ලබා දිය යුතු ප්‍රමාණය: එය තම ප්‍රදේශය වෙත ළඟාවිය හැකි තරමට විය යුතුය. එහිදී ඔහු පොහොසතුන් අතරේ සිටිය ද එලෙසමය.

සිව්වැනි විමර්ශනය: උපවාසය:

උපවාසය එනම්:

උත්තරීතර අල්ලාහ්ට වන්දනාමාන කිරීමක් ලෙස අළුයම උදාවේ සිට හිරු අවරට යන තෙක් උපවාසය කඩ කරන දේවලින් වැළකී සිටීමය.

එය ඉස්ලාමයේ මූලිකාංග අතරින් එක් කුළුණකි. උත්තරීතර අල්ලාහ්ගේ නියමයෙන් එය අනිවාර්ය වී ඇත. එය අත්‍යවශ්‍ය ආගමික කරුණක් ලෙස හැඳින්වේ. එය අනිවාර්ය බව අල්කුර්ආනය, මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සුන්නා පිළිවෙත සහ මුස්ලිම්වරුන්ගේ සම්මුතිය පෙන්වා දී ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿‌شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُ...﴾

"රමළාන් මාසය වනාහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමඟ පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් එහි අල්-කුර්ආනය පහළ කරනු ලැබී ය. එබැවින් කවරෙකු එම මාසයට ප්‍රවේශ වන්නේ ද ඔහු එහි උපවාසය රකිත්වා..." (අල් බකරා: 185)

රමළාන් උපවාසය අනිවාර්ය වීමේ කොන්දේසි:

1- ඉස්ලාම් වැළඳගෙන තිබීම, මුස්ලිම් නොවන කෙනෙකුගෙන් මෙය වලංගු වන්නේ නැත.

2- වැඩිවියට පත්ව තිබීම: කුඩා අය සඳහා එය අනිවාර්ය වන්නේ නැත. හොඳ නරක වෙන්ව හඳුනා ගත හැකි ළමයාගේ උපවාසය වලංගු වන අතර, එය ඔහුට අමතර කරුණක් ලෙස සැලකේ.

3- සිහි බුද්ධිය: බුද්ධි විකව (ඔල්මාදයෙන්) පෙළෙන අයට උපවාසය අනිවාර්ය වන්නේ නැත, එසේම ඔවුන් චේතනා නොකරන බැවින්, ඔවුන්ගේ උපවාසය වලංගු වන්නේද නැත.

4- ඒ සඳහා වන ශක්තිය ලබා තිබීම. ඒ අනුව එය ඉටු කිරීමට නොහැකි රෝගියකුට එය අනිවාර්ය වන්නේ නැත. මගියා කෙරෙහි ද (අනිවාර්ය වන්නේ) නැත. නිදහසට කරුණු වූ රෝගය හා ගමන අවසන් වූ විට ඒවා නැවත ඉටු කරනු ලබයි. කාන්තාවට එය වලංගු වීමෙහි කොන්දේසිය වනුයේ: ඇයගේ හයිල් හෙවත් ඔසප් කාලය හා නිෆාස් හෙවත් දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිරය නතර වී පිරිසිදු තත්ත්වයට පත්ව තිබීමය.

රමළාන් මාසය ඇතුළත් වීම තහවුරු කරන්නේ කරුණු දෙකක් මගිනි. ඒවා නම්:

අ- රමළාන් මාසයේ නව සඳ දැකීම, එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුවය:

«صُومُوا لِرُؤْيَتِهِ، وَأفْطِرُوا لِرُؤْيَتِهِ».

“එය (මුල් සඳ) දැකීමෙන් උපවාසයේ නිරත වන්න. එමෙන්ම එය දැකීමෙන් උපවාසයෙන් මිදෙන්න.”48.

ආ- රමළාන් මාසයේ නව සඳ දැකිය නොහැකි නම් හෝ වළාකුළු, දූවිලි හෝ එවැනි වෙනත් බාධකයක් හේතුවෙන් එය දැකිය නොහැකි නම්, ෂඃබාන් මාසය දින තිහක් ලෙස සම්පූර්ණ කිරීම, එය නබි ﷺ තුමාණන් පැවසූ පරිදිය:

«فَإِنْ غُمَّ عَلَيْكُمْ؛ فَأَكْمِلُوا عِدَّةَ شَعْبَانَ ثَلَاثِينَ يَوْمًا».

“එය නුඹලා වෙත වැහි වලාවෙන් වැසී ඇත්නම්; ෂඃබාන් මාසයේ දින ගණන තිහක් ලෙස සම්පූර්ණ කරන්න”49.

උපවාසයෙහි නිය්යතය හෙවත් චේතනාව:

උපවාසය, අනෙකුත් නැමදුම් මෙන්, චේතනාවකින් තොරව වලංගු වන්නේ නැත. අනිවාර්ය උපවාසය සඳහා චේතනාව අනිවාර්යය වීමේ කාලය අනෙක් උපවාසයට වඩා වෙනස් වන අතර, එය පහත සඳහන් අයුරිනි:

පළමුව: අනිවාර්ය උපවාසය; රමළාන් උපවාසය, හෝ 'කළා' හෙවත් අතපසු වී නැවත ඉටු කරනු ලබන උපවාසය, භාර උපවාසය වැනි අනිවාර්යය උපවාසයන්, එහි දී අලුයම හිරු උදාවට පෙර රාත්‍රියේ චේතනා තැබිය යුතුය. එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුවය:

«مَن لَمْ يُبَيِّتْ الصِّيَامَ مِنَ اللَّيْلِ فَلَا صِيَامَ لَهُ».

"කවරෙකු රාත්රියේ උපවාසය සඳහා වූ අධිෂ්ඨාන නොකළේ නම් ඔහුට උපවාසය නොමැත."50.

දෙවැන්න: අතිරේක උපවාසය. පුද්ගලයෙකු දහවල් කාලයේ ඒ සම්බන්ධව චේතනා කරගත්තේ නම් එය වලංගු වන්නේය. නමුත් අළුයමෙන් පසු උපවාසය කඩවන කිසිවක් නො කිරීමට ඔහු වග බලාගත යුතුය.

උපවාසය අවලංගු කරන කරුණු:

පළමුවැන්න: අඹු සැමි ලිංගික ඇසුර: අඹු සැමි ලිංගික ඇසුරේ නිරත වූ විටෙක, ඔහුගේ උපවාසය අහෝසි වන අතර, ඔහු අඹු සැමි ලිංගික ඇසුරේ නිරත වූ එම දිනයට අදාළ  උපවාසය නැවත ඉටු කළ යුතුය. ඔහු එය ඉටු කරනවාත් සමගම වන්දි ගෙවීම ද අනිවාර්ය වේ, එනම් වහලෙකු නිදහස් කළ යුතුයි. එසේ නොමැති නම්, ඔහු මාස දෙකක් අඛණ්ඩව උපවාසයේ නිරත විය යුතුය, ෂරීආව තුළ නිදහසට කරුණු දැක්විය හැකි හේතුවක් මත, ඒ සඳහා හැකියාව නොදැරුවේ නම්, ඔහු දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතුය. සෑම දුගියකුටම රටේ ප්‍රධාන ආහාර වේලෙන් 'සාඃ' නම් ඒකකයෙන් අඩක  (කිලෝ ග්‍රෑම් 1.2-1.5 අතර) ප්‍රමාණයක් සැපයිය යුතුය.

දෙවැන්න: ශුක්‍රාණු පිටවීම: එය සිප ගැනීම, ස්පර්ශය, ස්වයං වින්දනය හෝ නැවත නැවත බැලීම හේතුවෙන් වී නම්, එවිට වන්දියකින් තොරව නැවත ඉටු කිරීම පමණක් කළ යුතුය. මක්නිසාදයත් වන්දිය අදාළ වනුයේ ලිංගික පහස විඳීම මත පමණක් පදනම් වී තිබීම හේතුවෙනි. නින්දේ සිටින කෙනෙකු ඉහ්තිලාම් (ශුක්‍ර මෝචනයට පත්) වී, එය පිටවූයේ නම්, ඔහුට කිසිවක් කිරීමට අවශ්‍ය නොවේ. මක්නිසාදයත් ඔහුගේ කැමැත්තෙන් තොරව එය සිදුවූ බැවිනි.  නමුත් ඔහු ජනාබා (මහා කිල්ලට අදාළ) ස්නානය කළ යුතුය.

තුන්වැන්න: හිතාමතාම ආහාර පාන ගැනීම. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුවය:

﴿وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِ...﴾

"අලුයමෙහි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලි වන තෙක් අනුභව කරනු. පසුව රාත්‍රිය දක්වා උපවාසය සම්පූර්ණ කරනු..." (අල්-බකරා: 187)

අමතක වී ආහාර අනුභව කළ හෝ ජලය පානය කළ අයකු කෙරෙහි කිසිවක් නැත; එය එක් හදීසයකට අනුවය:

«مَن نَسِيَ وَهُوَ صَائِمٌ، فَأَكَلَ أَوْ شَرِبَ، فَلْيُتِمَّ صَوْمَهُ، فَإِنَّمَا أَطْعَمَهُ اللَّهُ وَسَقَاهُ».

“කවරෙකු උපවාසයේ නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු ඔහුගේ උපවාසය පූර්ණ කරත්වා! සැබැවින්ම එසේ ඔහුට ආහාර හා ජලය සපයා දී ඇත්තේ අල්ලාහ්ය.”51

සිව්වැන්න: හිතාමතාම වමනය දැමීම. නමුත්, තමන්ගේ කැමැත්තකින් තොරව වමනය ඇති වූ විට, එය ඔහුගේ උපවාසයට බලපාන්නේ නැත. එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුවය: 

«مَنْ ذَرَعَهُ الْقَيءُ فَلَيْسَ عَلَيْهِ قَضَاءٌ، وَمَن اسْتَقَاءَ عَمْدًا فَلْيَقْضِ».

කවරෙකුට හෝ වමණය ඇති වූයේ නම්, ඔහු කෙරෙහි කලා (නැවත කිරීමක්) නොමැත. කවරෙකු (උවමනාවෙන්ම) වමාරන්නේ නම් ඔහු නැවත කලා කිරීම කළ යුතුය."52.

පස්වැන්න: හිජාමා (විත් විඳීම) හෝ ලේ ගැලීම, හෝ රෝගියෙකුට ලේ දන්දීම යනාදී හේතුවකින් රුධිරය පිටවීම. මේ සියලු දැයින් උපවාසය කඩ වී යයි. නමුත් පරීක්ෂණ සඳහා ලබාගන්නා සුළු රුධිර ප්‍රමාණය; එය උපවාසයට බලපෑමක් ඇති නොකරයි, නාසයෙන් ලේ ගැලීම හෝ තුවාල හෝ දත් ඉවත් කිරීමෙන් ලේ ගැලීම වැනි නොදැනුවත්ව (ඔහුගේ කැමැත්තකින් තොරව) රුධිරය වහනය වීම ද එලෙසමය. එය උපවාසයට බලපෑමක් ඇති නොකරයි.

රමළාන් මාසයේදී උපවාසය කඩ කිරීමට අවසර ලැබෙන උදවිය.

පළවෙනි කණ්ඩායම: උපවාසය කඩ කිරීමට අවසරය ඇති නමුත් පසුව එය සම්පූර්ණ කිරීමට අනිවාර්යය වන අය:

පළමුවැන්නා: සුවය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන; උපවාසය නිසා හානියක් සිදුවිය හැකි හෝ අසාද්‍ය තත්ත්වයට පත්විය හැකි රෝගී තත්ත්වයකින් පීඩාවට පත් වූවන්. 

දෙවැන්නා: මගියා; මෙහි දී ගමනේදී ඔහුට අපහසුතාවයක් ඇති වූවද හෝ අපහසුතාවයක් ඇති නොවූවද එක සමානය.

මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් වූ සාධකය උත්තරීතර වූ අල්ලාහ්ගේ ප්‍රකාශයයි:

﴿...وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَ...﴾

"තවද කවරෙකු රෝගියෙකුව හෝ ගමනක නිරතව සිටින්නේ ද එසේ නම් වෙනත් දින ගණන් කර(උපවාසයේ නියැළෙ)ත්වා." (අල් බකරා: 185)

තුන්වැන්නා: ගර්භණී කාන්තාව හෝ මව්කිරි දෙන කාන්තාවය. උපවාසය රැකීම ඔවුන්ට අපහසු වන විට, හෝ ඔවුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හානියක් වන විට, ඔවුන්ද රෝගීන්ගේ නීතියට අදාළ වෙති. ඒ අනුව එවැනි අවස්ථාවලදී උපවාසයෙන් මිදීමට ඔවුනට අවසරය ඇත. එහෙත් වෙනත් කාලයකදී එම උපවාසය නැවත ඉටු කිරීම අනිවාර්යය වේ.

සිව්වැන්න: ඔසප් තත්ත්වයේ සහ පශ්චාත් ප්‍රසව කාලයේ පසුවන කාන්තාවන්, ඔවුන් දෙදෙනා උපවාසය අත්හැරීම අනිවාර්ය වේ. ඔවුන් දෙදෙනාගේ උපවාසය වලංගු වන්නේ නැත. ඔවුන් විසින් උපවාසය අත්හළ දින ගණන් බලා වෙනත් දිනවල නැවත ඉටු කළ යුතු වේ.

දෙවන කණ්ඩායම: උපාවසය කඩ කිරීමට අවසරය ඇති අය වෙති. ඔවුන් එය නැවත ඉටු කිරීමකින් තොරව ඒ වෙනුවට ප්‍රතිකර්මයක් ඉටු කළ යුතුය. ඔවුන් වනාහි: 

පළමුවැන්නා: සුව නොවන අසනීප තත්වයෙන් පසුවන රෝගියා.

දෙවැන්නා: උපවාසය ඉටු කිරීමට නොහැකි මහල්ලා.

මොවුන් උපවාසය අත්හැර, ඒ වෙනුවට රමළාන් මාසයේ සෑම දිනකම දුගියෙකුට ආහාර සපයති.  එහෙත් වැඩිහිටියෙකු වයෝවෘද්ධ තත්ත්වයට පත්වූ විට, ඔහු කෙරෙහි වගකීම ඉවත් වේ; එබැවින් ඔහුට උපවාසයෙන් මිදිය හැකි අතර ඔහු කෙරෙහි කිසිවක් පැවරෙන්නේ නැත.

නැවත ඉටු කිරීමේ වේලාව සහ එය ප්‍රමාද කිරීමේ නීතිය:

රමළාන් මාසය සහ ඊළඟ රමළාන් මාසය අතර කාලය තුළ එම උපවාසය නැවත ඉටු කිරීම අනිවාර්යය වේ. වඩාත් උතුම් වන්නේ, හැකි පමණ ඉක්මණින් එය නැවත ඉටු කිරීම ය.  ඊළඟ රමළානයට පසු දක්වා නැවත ඉටු කිරීම ප්‍රමාද කිරීම සුදුසු නොවේ. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

«كَانَ يَكُونُ عَلَيَّ الصَّوْمُ مِنْ رَمَضَانَ، فَمَا أَسْتَطِيعُ أَنْ أَقْضِيَ إِلَّا فِي شَعْبَانَ لِمَكَانِ رَسُولِ اللهِ ﷺ».

"මට රමළාන් මාසයේ උපවාසය අනිවාර්යය වී තිබිණ. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් සිටි නිසා ෂඃබානයේ හැර වෙනත් කාලයක එය නැවත ඉටු කිරීමට මට හැකියාව නොලැබුනි." 53.

එසේම, දෙවන රමළානයෙන් පසු දක්වා උපවාසය නැවත ඉටු කිරීම ප්‍රමාද කළ අයෙකුට තත්ත්ව දෙකක් ඇත:

1- ආගමික හේතුවක් නිසා ප්‍රමාද වීම, උදාහරණයක් ලෙස: රෝගය දෙවන රමළානය දක්වා දිගටම පවතින්නේ නම්, එවිට පමණක් නැවත ඉටු කළ යුතුය.

2- එය කිසිදු ආගමික හේතුවක් නොමැතිව ප්‍රමාද කිරීම: එහි දී ප්‍රමාද කිරීම හේතුවෙන් පාපය ලබයි. ඔහු අල්ලාහ් වෙත පාප ක්ෂමාවේ නිරත විය යුතුය, නැවත ඉටු කළ යුතුය, සෑම දිනක් සඳහාම දුප්පතෙකුට ආහාර ලබා දිය යුතුය.

නැවත ඉටු කිරීම අනිවාර්යය වූ අයගේ අතිරේක උපවාසය:

රමළාන් මාසයේ උපවාසය සම්පූර්ණ නොකළ කෙනෙකුට, අතිරේක උපවාසය ආරම්භ කිරීමට පෙර එය ඉටු කිරීමට යුහුසුළු වීම වඩාත් සුදුසුය. නමුත් අතිරේක උපවාසය කාලය අතපසු විය හැකි -අරෆා සහ ආෂූරා වැනි- උපවාස නම්; එය අතපසු වූ උපවාසය ඉටු කිරීමට පෙර ඉටු කළ යුතුය; මක්නිසාදයත් අතපසු වූ උපවාසය ඉටු කිරීම සඳහා කාලය පුළුල්ව පවතින අතර, ආෂූරා සහ ආරාෆා උපවාසය අතපසු වී යනු ඇත. නමුත් ෂව්වාල් මස දින හය උපවාසයේ නිරත විය යුත්තේ අතපසු වූ උපවාසය නැවත ඉටු කිරීමෙන් පසුව ය.

උපවසාය තහනම් වන අවස්ථා:

1- ඊද් අල්-ෆිත්ර් (හෙවත් නොම්බි උත්සව දින) සහ ඊද් අල්-අළ්හා (හෙවත් හජ් උත්සව දින) උපවාසයේ නිරත වීම; එය තහනම් කර ඇති බැවිනි.

2- දුල් හිජ්ජා මාසයේ අය්යාමුත් තෂ්රීක් දින තුනේ (දුල් හජ් 11,12,13) උපවාසයේ නිරත වීම. නමුුුත් හජ්හි හද්යු (සත්ව කැපය) ලබා දීමට අවස්ථාවක් නොලැබුණු විටෙක, මුතමත්තිඃ සහ කාරින් යන ක්‍රමයට හජ් ඉටු කරන අය සඳහා පමණක් අවසර ඇත. අය්යාමුත් තෂ්රීක් යනු: දුල් හජ් මාසයේ 11, 12, 13 වන දින වේ.

3- සැකයට තුඩු දෙන සැක සහිත දින: එය ෂඃබාන් මාසයේ තිස්වන දිනයය. එදින නව සඳ දැකිය නොහැකි පරිදි වළාකුළු හෝ දූවිල්ලෙන් පිරී පවතින රාත්‍රියක් වූ විට,

උපවාසයේ යෙදීමට පිළිකුල් සහගත අවස්ථා:

අ- රජබ් මාසය පමණක් උපවාසය සඳහා වෙන් කිරීම. ආ- ජුමුආ දිනයේ උපවාසය තහනම් කර ඇති නිසා එදින පමණක් උපවාසයේ නිරත වීම. එම දිනයට පෙර හෝ පසු දිනක් උපවාසය රැක්කේ නම්, එම තහනම ඉවත් වෙයි.

අතිරේක උපවාස අවස්ථාවන්:

අ- ෂව්වාල් මාසයේ දින හය. ආ- දුල් හජ් මාසයේ දින නවයේ උපවාසය, ඒ අතරින් අරෆා දින උපවාසය සුවිශේෂීය. එහෙත්, හජ් කටයුතු කරන අයට එදින උපවාසයේ නිරත වීම නිර්දේශිත නොවේ. එදින උපවාසයේ නිරත වීම වසර දෙකක පව් සඳහා ප්‍රතිකර්මයක් වනු ඇත.   සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීම, එහිදී වඩාත් යෝග්‍ය වනුයේ: ‘අය්යාමුල් බීළ්’ ලෙස හඳුන්වන මාසයේ දහතුන, දහහතර සහ පහළොව යන දින තුනෙහි උපවාසයේ නිරත වීමය. සෑම සතියකම සඳුදා සහ බ්‍රහස්පතින්දා උපවාසයේ යෙදීම, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එසේ උපවාසයේ යෙදුණහ. එම දිනවලදී ගැත්තන්ගේ ක්‍රියාවන් (අල්ලාහ් වෙත) ඉදිරිපත් කරනු ලැබේ. 

ස්වෙච්ඡාවෙන් රකින අතිරේක උපවාසය:

අ- දාවූද් (අලයිහිස් සලාම්) තුමාගේ උපවාසය, එතුමා දිනක් උපවාසයේ නිරත වූ අතර දිනක් උපවාසයෙන් මිදී සිටියහ.

ආ- අල්ලාහ්ගේ මාසය නමින් හඳුන්වන මුහර්රම් මාසයේ උපවාසය, එය උපවාසය සඳහා වඩාත්ම සුදුසු මාසයයි. එහිදී වඩාත්ම වැදගත් වනුයේ ආෂූරා දිනයේ උපවාසයයි, එනම් මුහර්රම් මාසයේ දසවැනි දිනයයි, ඒ සමග නවවැනි දිනයේ ද උපවාසයේ නිරත වෙයි. එය නබි ﷺ තුමාණන්ගේ ප්‍රකාශයකට අනුවය.:

«لَئِنْ بَقِيتُ إِلَى قَابِلٍ لَأَصُومَنَّ التَّاسِعَ».

"එළැඹෙන වසර තෙක් මා සිටියේ නම් සැබැවින්ම මම නව වැනි දින ද උපවාසය රකිමි."54. එය ඊට පෙර පැවති වසරේ පාපයන් සඳහා ප්‍රතිකර්මයක් වන්නේය.

පස්වන විමර්ශනය: හජ් සහ උම්රා

හජ් යන්නෙහි භාෂාමය අදහස පැතුමයි. ආගමික අදහස වනුයේ: අල්ලාහ්ගේ ශුද්ධ වූ නිවස සහ ශුද්ධ වූ සංඛේතාත්මක ස්ථාන වෙත, නියමිත වේලාවක, නියමිත වන්දනාමාන ඉටු කිරීම සඳහා අපේක්ෂාවෙන් යන වන්දනා ගමනයි.

උම්රා: භාෂාමය අර්ථය වනුයේ හමුවීම, බැහැදැකීම.

ආගමික අදහස අනුව: ඕනෑම වේලාවක ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවස වෙත ගොස්, නිශ්චිත වන්දනාමාන පිළිවෙතක් ඉටු කිරීම.

හජ් යනු ඉස්ලාමයේ මූලිකාංග අතරින් එකක් වන අතර, එය මහා කුළුණු අතරින් එකකි, හිජ්රි වර්ෂ අනුව මෙය නව වැනි වසරේදී අනිවාර්ය කරන ලදි. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හජ් වන්දනාවක් පමණක් ඉටු කර ඇති අතර එය හජ්ජතුල් වදා නම් සමුගැනීමේ හජ් වන්දනාව ය.

හජ් යනු හැකියා ව ඇති අයට ජීවිතයේ එක් වරක් පමණක් අනිවාර්යය වන්නකි.  ඊට අමතරව සිදු කරන දෑ 'තතව්වුඃ' හෙවත්  ස්වෙච්චාවෙන් ඉටු කරන අතිරේක දෑ වේ. උම්රා සම්බන්ධයෙන් වනාහි, විද්වතුන් බොහෝ දෙනෙකුගේ මතය අනුව එය අනිවාර්ය ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන්: "කාන්තාවන් විසින් ජිහාද් (හෙවත් අරගල) කළ යුතු ද?" යනුුුුවෙන් විමසූ විට, එයට පිළිතුරු දෙමින්:

«نَعَمْ، عَلَيْهِنَّ جِهَادٌ لَا قِتَالَ فِيهِ: الْحَجُّ وَالْعُمْرَةُ».

"එසේය, ඔවුන් විසින් ජිහාද් (අරගල) කළ යුතු ය. නමුත් එහි සටන් කිසිවක් නැත. එය හජ් සහ උම්රා මෙහෙයන් ඉටු කිරීම ය."55.

හජ් සහ උම්රා අනිවාර්යය වීම සඳහා තිබිය යුතු කොන්දේසි:

1- ඉස්ලාමය (ඉස්ලාමය පිළිගෙන තිබීම)

2. සිහි බුද්ධියෙන් පසුවීම.

3- වැඩිවියට පත්වීම.

4- වහල් නොවන නිදහස් අයකු වීම.

5- හැකියාව

කාන්තාවන් සඳහා අමතරව හයවන කොන්දේසියක් ද පවතී; එනම් ඇය සමඟ ගමන් කරන මහ්රම් අයකුගේ අවශ්‍යතාවයි.  මහ්රම් අයකු නොමැතිව ඇයට හජ් ගමන හෝ වෙනත් ගමනක් යාම අනුමත නොවේ. එය නබි (සල්ලල්ලාහු අලෙයිහව සල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුවය:

«لَا تُسَافِرُ الْمَرْأَةُ إِلَّا مَعَ ذِي مَحْرَمٍ، وَلَا يَدْخُلُ عَلَيْهَا رَجُلٌ إِلَّا وَمَعَهَا مَحْرَمٌ».

"කාන්තාවක් මහ්රම් සමඟ මිස ගමන් නොකළ යුතුය, මහ්රම් නොමැතිව පිරිමියෙකු ඇය වෙත නො පිවිසිය යුතුය."56.

කාන්තාවකගේ මහ්රම් වන්නේ, ඇගේ සැමියා හෝ කවදත් ඇය සමඟ විවාහ වීමට තහනම් වන අයයි; එය ඥාතිත්වයෙන් විය හැක. උදාහරණ ලෙස ඇගේ සහෝදරයා, පියා, මහප්පා, සහෝදරයාගේ පුතා, හා මාමා. සම්මත හේතුවක් නිසා විය හැක උදාහරණ ලෙස: කිරි බීමෙන් වූ සහෝදරයෝ වැන්නන්. එසේත් නොමැති නම්, විවාහ සම්බන්ධතාවයක් නිසා විය හැක. උදාහරණ ලෙස: ඇගේ මවගේ සැමියා හෝ ඇගේ සැමියාගේ පුතා වැන්නන්.

හැකියාව යනු: භෞතික හා ශාරීරික හැකියාවයි, එනම් ගමන් කිරීමේ හැකියාව ඇති වීම හා ගමනේ දුෂ්කරතා දරා ගැනීම, සහ ගමන් කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා තිබීමයි.  එසේම ඔහුගේ දරුවන්ට සහ ඔහුගේ නඩත්තුවට යටත් අය සඳහා ඔහු නැවත ඔවුන් වෙත පැමිණෙන තුරු ප්‍රමාණවත් වියදම් ලබා තිබීම.

හජ් ගමන ඔහුගේ ජීවිතයට හා ඔහුගේ ධනයට ආරක්ෂාකාරී විය යුතුය.  

තමන්ගේ ශරීරයෙන් නොව, තම ධනයෙන් හැකියාවක් ඇති, මහලු වැඩිහිටි හෝ කිසිවිටක සුව නොවන නිදන්ගත රෝගයකින් පෙළෙන අය, ඔහු වෙනුවෙන් හජ් සහ උම්රා ඉටු කිරීමට කෙනෙකු පත් කළ යුතුය.

හජ් සහ උම්රා සඳහා නියෝජනය කිරීම පිළිගැනීමට පහත කොන්දේසි දෙක සම්පූර්ණ කර තිබිය යුතුය:

1- හජ් වගකීම ඉටු කිරීමට සුදුසු කෙනෙකු විය යුතුය. එනම් මුස්ලිම්, වැඩිවියට පත්, සිහි බුද්ධියෙන් යුත් අයෙකු විය යුතුය.

2- ඔහුට පැවරී ඇති හජ් වගකීම (පළමුව) ඔහු ඉටු කර තිබිය යුතුය. 

ඉහ්රාම් සීමා මාඉම්:

මවාකීත් යනු මීකාත් නම් අරාබි පදයේ බහුවචනය වන අතර, එහි භාෂාමය අදහස: සීමාව යන්නයි. ආගමික අදහස එය වන්දනාවේ ස්ථානය හෝ කාලය යන්නයි.

හජ් සඳහා කාලීය හා ස්ථානීය සීමා මාඉම් ඇත:

අ- කාලීය සීමාවන්: අල්ලාහ් ඒ පිළිබඳව මෙසේ පවසයි:

﴿ٱلۡحَجُّ أَشۡهُرٞ مَّعۡلُومَٰتٞۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلۡحَجَّ...﴾

"හජ් වන්දනාව හඳුනන මාසයන්හි ය. එබැවින් ඒවායෙහි කවරෙකු හජ් වන්දනාව අනිවාර්ය කරගත්තේ ද..." (අල් බකරා: 197)

එම මාස වන්නේ: ෂව්වාල්, දුල් කඃදා, සහ දුල් හිජ්ජා මාසයේ දින දහය වේ.

ආ- අල්-මවාකීතුල් මකානිය්යා (ස්ථානීය සීමාවන්): එය මක්කා වෙත ඉහ්රාම් බැඳීමකින් තොරව පසුකර යාමට හජ් ඉටු කරන්නාට අනුමත නොවන සීමා ස්ථාන වේ. එය පහත සඳහන් අයුරිනි.

1- 'දුල් හුලෙයිෆා: මදීනා වාසීන් සඳහා ස්ථානීය සීමා මාඉම.

2- 'අල් ජුහ්ෆා' සිරියානු, මිසර සහ බටහිර ජනයා සඳහා වන ස්ථානීය සීමා මාඉම.

3- ‘කර්න් අල් මනාසිල්’ නජ්ද් වැසියන් සඳහා වන ස්ථානීය සීමා මාඉම. වර්තමානයේ අස්-සෙයිල් ලෙස හැඳින්වේ.

4- දාතු ඉර්ක්: ඉරාක වැසියන් සඳහා වන  ස්ථානීය සීමා මාඉම. 

5- 'යලම්ලම්': යමන් වාසීන් සඳහා වන සීමා මාඉම. 

මෙම සීමා මාඉම් වලට අඩු දුරින් පදිංචි කවරෙකු හෝ වෙත්නම් ඔහු හජ් සහ උම්රා ඉටු කිරීම සඳහා ඔහුගේ පදිංචි ස්ථානයේ සිටම ඉහ්රාම් බැඳ ගනී. මක්කා වැසියන් නම්, ඔවුන් මක්කාවෙන්ම ඉහ්රාම් බැඳ ගනිති. ඉහ්රාම් සඳහා සීමා මාඉම වෙත පිටව යාම ඔවුන්ට අවශ්‍ය වන්නේ නැත. උම්රා සඳහා වනාහි; ඔවුහු දුරින් අඩුම ස්ථානීය සීමාව වෙත පිටව ගොස් එහි ඉහ්රාම් බැඳ ගනිති. හජ් හෝ උම්රා ඉටු කිරීමට කැමති කවරෙකු හෝ වේවා ඔහු නබි ﷺ තුමා විසින් නියම කළ ස්ථානවලින් ඉහ්රාම් බැඳගත යුතුය. එනම් පෙර සඳහන් කළ ස්ථානීය සීමා මාඉම් වෙති.  හජ් හෝ උම්රා ඉටු කිරීමට අදහස් කළ කෙනෙකුට අදාළ ස්ථානීය සීමා මාඉම්වල ඉහ්රාම් සඳහා චේතනා කිරීමෙන් තොරව ඒවා තරණය කිරීම සුදුසු වන්නේ නැත.

අදාළ ස්ථානීය සීමා මාඉම්වලට අයත් නොවන වෙනත් කවරෙකු හෝ වේවා එම සීමා මාඉම් ඔස්සේ පැමිණෙන්නේ නම්, එය ඔහු ඉහ්රාම් බැදගත යුතු ඔහුගේ සීමා මාඉම වේ.

මක්කාවට යන මාර්ගයෙහි සිටින; ඉහත සඳහන් ස්ථානීය සීමා මාඉම් කිසිවක් ගොඩබිමෙන් හෝ මුහුදෙන් හෝ ගුවන් මාර්ගයෙන් පසු නොකරන කෙනෙකු නම්, ඔහු ළඟම පිහිටි සීමා මාඉම සමීප වූ විට, ඉහ්රාම් බැඳ ගත යුතුය. එය උමර් ඉබ්නුල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමාණන්ගේ ප්‍රකාශයකට අනුවය: “ඔබේ මාර්ගයෙහි ඒවාට සමාන්තරව අනුගතවීම ගැන අවධානය යොමු කරන්න” (57)57

- හජ් හෝ උම්රා කටයුතු ඉටු කිරීම සඳහා ගුවන් යානයෙන් ගමන් කරන කෙනෙකු, එම ගුවන් යානය මාර්ගයේ පිහිටි සීමා මාඉමට සමාන්තරව පිහිටන විට ඉහ්රාම් බැඳිය යුතුය. ගුවන් තොටුපළේ ගුවන් යානයෙන් බසින තෙක් ඉහ්රාම් බැඳ ගැනීම ප්‍රමාද කිරීම සුදුසු නැත.

ඉහ්රාම් තත්ත්වයට පිවිසීම:

එනම් හජ් පිළිවෙත් තුළට පිවිසීම සඳහා තබන චේතනාවයි. හජ් හි නම්, එය හජ් වන්දනාව තුළට පිවිසෙන බවට තබන චේතනාවයි.  උම්රාහි නම්, එය උම්රා වන්දනාව තුළට පිවිසෙන බවට තබන චේතනාවයි.  වන්දනාව තුළට පිවිසීමේ චේතනාව නොමැතිව ඔහුට ඉහ්රාම් තත්ත්වයට පත් විය නොහැක.  ඉහ්රාම් ඇඳුම් පැළඳීමේ චේතනාව නොමැතිව එම ඇඳුම පැළඳීමෙන් පමණක් ඉහ්රාම් තත්ත්වයට පත් වන්නේ නැත.

ඉහ්රාම් හි පිළිපැදිය යුතු සතුටු දායක කරුණු :

1. ඉහ්රාම් සඳහා මුළු ශරීරයම ජලස්නානය කිරීම.

2- පිරිමියෙකු නම්, ඔහුගේ සිරුරට සුවඳවිලවුන් (අත්තර්) ආලේප කිරීම, එහෙත් ඉහ්රාම් ඇඳුමට ආලේප නොකළ යුතුය.

3. සුදු පැහැති යටි හා උඩු සළු දෙකක් මෙන්ම  සපත්තු යුගලක් මඟින් ඉහ්රාම් කිරීම.

4. යමෙකු වාහනයක ගමන් කරමින් සිටින තත්ත්වයේ කිබ්ලා දෙසට මුණලමින් ඉහ්රාමය තත්ත්වයට පැමිණීම.

හජ් පිළිවෙත්හි වර්ග:

ඉහ්රාමය ඇඳ ගත් පුද්ගලයාට පහත සඳහන් තුන් ආකාරයේ පිළිවෙත් අතරින් කැමති ආකාරයක් තෝරා ගැනීමට නිදහස ඇත:

1- අත්-තමත්තුඃ; එනම්, හජ් මාසවල උම්රා සඳහා ඉහ්රාම් බැඳීම, එය අවසන් කර ගත් පසු එම වසරේම හජ් සඳහා ඉහ්රාම් බැඳීමයි.

2- අල්-ඉෆ්රාද්; එනම් හජ් සඳහා පමණක් අදාළ ස්ථානීය මාඉම්හි සිට ඉහ්රාම් බැඳ හජ් කටයුතු ඉටු කරන තුරු එම ඉහ්රාම් තත්වය පවත්වා ගැනීමයි.

3. අල්-කිරාන්, එනම් හජ් හා උම්රා යන දෙක එකට ඉටු කිරීම සඳහා ඉහ්රාම් බැඳීමය. එසේ නැතහොත් උම්රා සඳහා ඉහ්රාම් බැඳ, පසුව තවාෆ් ආරම්භ කිරීමට පෙර හජ් වන්දනාව ද එහි එකතු කිරීමය. ඒ අනුව ස්ථානීය සීමා මාඉම්හි සිට හෝ උම්රාහි තවාෆ් ආරම්භ කිරීමට පෙර උම්රා හා හජ් සඳහා චේතනාව තබයි. ඒ දෙකෙහිම තවාෆ් හා සඃයු ඉටු කරයි.

තමත්තුඃ ක්‍රමයට හා කිරාන් ක්‍රමයට හජ් ඉටු කරන්නා ෆිද්යා (වන්දියක්) ලබා දිය යුතුය. එය ඔහු මස්ජිද් හරාමට ආසන්නව නොසිටින්නේ නම්ය. 

මෙම පිළිවෙත් තුනෙන් වඩාත් උතුම් වන්නේ තමත්තුඃ පිළිවෙතයි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන්හට එය නියෝග කර ඇති බැවිනි.58. ඉන්පපසු කිරාන් (හජ් හා උම්රා දෙකම එකට සිදු කිරීමේ) පිළිවෙතයි. එය හජ් හා උම්රා දෙකම එකට සිදු කිරීමක් වන බැවිනි. ඉන්පසු ඉෆ්රාද් (හජ් පමණක් සිදු කිරීමේ) පිළිවෙතයි.

ඉහත සඳහන් වන්දනා ක්‍රම අතරින් එකක් සඳහා ඉහ්රාමය ඇඳ ගත් විට, ඉහ්රාමය ඇඳීමෙන් පසු තල්බියා පවසයි. එය මෙසේය:

«لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ، لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ».

"ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලා ෂරීක ලක ලබ්බයික්, ඉන්නල් හම්ද වන්-නිඃමත ලක වල්-මුල්ක ලා ෂරීක ලක."59.(අහෝ දෙවිඳුනි, මම ඔබට පිළිතුරු දෙමින් ඔබ සමීපයට පැමිණියෙමි. මම ඔබට පිළිතුරු දෙමින් ඔබ සමීපයට පැමිණියෙමි. මම ඔබට පිළිතුරු දෙමින් ඔබ සමීපයට පැමිණියෙමි. ඔබට කිසිදු හවුල්කරුවකු නැත. මම ඔබට පිළිතුරු දෙමින් ඔබ සමීපයට පැමිණියෙමි. නියත වශයෙන්ම ප්‍රශංසාව හා ආශිර්වාදය ඔබ සතුය. පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවකු නැත.)

මෙය සුන්නාහ් (නබි පිළිවෙතක්) වන අතර, එය අධිකව කිරීම ප්‍රියජනකය. පිරිමියෙකු නම් එය හඬනගා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු අතර, කාන්තාවන් එය නිහඬව එය කළ යුතුය.

එහි වේලාව: එය ඉහ්රාම් චේතනාව තැබූ පසු ආරම්භ වන අතර, එය අවසන් වන වේලාව පහත සඳහන් අයුරිනි:

පළමුව: උම්රා ඉටු කරන්නා තවාෆ් ආරම්භ කිරීමට පෙර එය නතර කරයි.

දෙවැන්න: හජ් වන්දනාකරු අවුරුදු දිනයේ දී ජම්රතුල් අකබාවට ගල් ගැසීම ආරම්භ කරන විට එය නතර කරයි.

ඉහ්රාම් තත්ත්වයේදී තහනම් කරන ලද කරුණු:

පළමු තහනම: ශරීරයේ ඕනෑම ස්ථානයකින් රෝම බෑම, කොට කිරීම හෝ ඉවත් කිරීම.

දෙවන තහනම: අතේ හෝ පාදයේ හෝ කිසිදු හේතුවකින් තොරව නියපොතු කැපීම හෝ ඒවා කොට කිරීම. නමුත් නියපොත කැඩී එය ඉවත් කළේ නම්, එහි දී කිසිදු වන්දියක් ඔහුට නියම වන්නේ නැත.

තෙවැනි තහනම: පිරිමියෙකුගේ හිසට තදකොට හිස් ආවරණයකින් වසා ගැනීම, උදාහරණයක් ලෙස: තොප්පිය සහ ජටාව.

හතරවන තහනම: පිරිමි පාර්ශවය තම සිරුරේ හෝ එහි කොටසක කමිසයක්, ජටාවක් හෝ සරමක් වැනි මසා නිමකළ ඇඳුමක් ඇඳීම. මසා නිමකළ දෑ යනු සපත්තු, අත්වැසුම් හා මේස් වැනි ශරීරය අවයවයන්හි ප්‍රමාණයට නිර්මාණය කරනු ලැබූ දෑය.   කාන්තාව වනාහි, ඇය ඉහ්රාම් තත්ත්වයේ සිටින විට ආවරණය සඳහා අවශ්‍ය ඇය කැමති ඇඳුමක් ඇඳ ගනී, නමුත් ඇය බුර්කාව නොපැළඳිය යුතුය. පිටස්තර පිරිමින් ඇය අසලින් ගමන් කරන විට, ඇයගේ මුහුණ මොට්ටැක්කිලිය හෝ ජිල්බාබ් වැනි වෙනත් වස්ත්‍රයකින් ආවරණය කරයි. ඇයගේ අත් දෙකට අත් ආවරණ නො පැළඳිය යුතුය. 

පස්වන තහනම: සුවඳ විලවුන් ගැල්වීම; මක්නිසාදයත් ඉහ්රාම් ඇඳගත් තැනැත්තා මෙලොව සුවපහසුකම් හා අලංකාරයෙන් දුරස් වී, මතුලොව වෙත යොමු විය යුතු බැවිනි.

හයවැනි තහනම: ගොඩබිම සතුන් ඝාතනය කිරීම හා දඬයම් කිරීම. ඉහ්රාම් තත්ත්වයේ සිටින්නා ගොඩබිම සතුන් දඬයම් නොකළ යුතු අතර එවන් දඬයම සඳහා උදව් නොකළ යුතුය. එවන් සතුන් මරා නොදැමිය යුතුය.

ඉහ්රාම් තත්ත්වයේ සිටින කෙනෙකුට තමන් දඬයම් කළ දෑ, තමන් වෙනුවෙන් දඬයම් කරන ලද දෑ, හෝ තමන් දඬයම් කිරීමට උදව් කළ දෑ අනුභව කිරීම තහනම් කර ඇත. එය ඔහුට මළ සිරුරක් ලෙස සමාන වේ.

මුහුදු සතුන් වනාහි, උන් දඬයම් කිරීම ඉහ්රාම් තත්ත්වයේ සිටින්නාට තහනම් නොවේ. එසේම, කුකුළු මස් හා ගොවි සතුන් වැනි ගෘහස්ථ සතුන් කැපීම ද ඔහුට තහනම් නොවේ. මක්නිසාදයත් එය දඬයමක් නොවන බැවිනි.

හත්වන තහනම: තමන් වෙනුවෙන් හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් විවාහය ගිවිස ගැනීම, හෝ එම විවාහයේ සාක්ෂිකරුවකු වීම. 

අටවන තහනම: සංසර්ගයයි. කවරෙකු හෝ පළමු මිදීමට පෙර සංසර්ගයේ යෙදුනේ නම්, ඔහුගේ හජ් පිළිවෙත දූෂිත වන අතරම එය ඉදිරියට ගෙන යාම හා සියලුම කර්ම සම්පූර්ණ කිරීම ඔහුට අනිවාර්ය වේ. දෙවන වසරේදී ඔහු එය නැවත ඉටු කළ යුතු අතර සත්ව කැපයක් පිරිනමන්නට ද ඔහුට සිදු වේ. පළමු මිදීමෙන් පසු වූයේ නම්, එය ඔහුගේ හජ් පිළිවෙත දූෂිත නොකරයි. නමුත් ඔහු රුධිර වන්දියක් දිය යුතු වේ.

එමෙන් ම කාන්තාව ද එහි දී පිරිමියා හා සමානය. ඇය එය අවනත වී ඉටු කළ ද එලෙසමය.

නව වන තහනම: ලිංගික ඇසුරෙන් තොරව පහස විඳීම. ඉහ්රාමයේ සිටින පුද්ගලයෙකුට කාන්තාවක් සමඟ කාමුක ලෙස පහස විඳීම තහනම්ය. මන්ද එය සංසර්ගය කරා රැගෙන යන මාර්ගයක් වන බැවිනි. පහස විදීම යනු: කාමුක හැඟීමෙන් යුතුව බිරිය ස්පර්ශ කිරීමය.

උම්රා:

අ- උම්රාහි මූලිකාංග

1- ඉහ්රාම් තත්ත්වයට පිවිසීම.

2- තවාෆ් කිරීම.

3. සඃයු ඉටුකිරීම.

ආ- උම්රාවෙහි අනිවාර්ය කරුණු:

1- යොමු විය යුතු ස්ථානීය මාඉම්වල සිට ඉහ්රාම් තත්වයට පත්වීම.

2- හිසකෙස් බෑම හෝ කොට කිරීම.

ඈ- උම්රා ඉටු කිරීමේ ක්‍රමය.

උම්රා කරන තැනැත්තා ආරම්භ කරන පළමු කරුණ වනුයේ හත් වාරයක් තවාෆ් කිරීමය. එහි දී ඔහු හජරුල් අස්වද් නම් කළු ගලෙන් ආරම්භ කර එතැනින්ම තවාෆය අවසන් කරයි. ඔහු තවාෆ් කිරීමේදී ඉණ සිට දණහිස දක්වා තම රහසඟ ආවරණය කරමින්, පිරිසිදු ව සිටිය යුතුය.  සියලුම තවාෆ් සඳහා ඉල්තිබා ක්‍රමයට ඔහු ඉහ්රාමය සකසා ගැනීම සුන්නාවකි. එනම්, දකුණු උරහිස හෙළි කරමින් සළුව ඊට පහළින් දමා, සළුවෙහි දෙපැත්ත වම් උරහිස මත තැබීම ය. සත්වැනි වටය අවසන් කළ විට; ඉළ්තිබා ක්‍රමය අත්හැර, තම උරහිස් සළුවෙන් ආවරණය කරයි.

හජරුල් අස්වද් ගල දෙසට මුහුණලා, එය සිප ගැනීමට හැකි නම් සිප ගන්නා අතර, එය නොහැකි නම් දකුණු අතෙන් එය ස්පර්ශ කර එම අත සිප ගනියි. එසේම, ඔහුට හජ්රුල් අස්වද් ස්පර්ශ කිරීමේ හැකියාව නොමැති නම්, තම දකුණු අත ඔසවා 'අල්ලාහු අක්බර්' යැයි එක්වරක් පවසමින් එය වෙත සලකුණු කරයි. එහි දී තම අත සිප ගන්නේ නැති අතර එහි නරත වන්නේ ද නැත.  ඉන්පසු ඔහුගේ වම් දෙසට කඃබාව පිහිටන සේ හිඳ තමාගේ තවාෆ් ඉටු කරයි; පළමු වට තුන මඳ වේගයෙන් තවාෆ් කිරීම නබි පිළිවෙතක් වේ. රම්ල් (වේගය): ළඟින් ළඟ පියවර තබමින් ඉක්මනින් ගමන් කිරීමය.

කඃබාවේ සිව්වන කොන වන රුක්නුල් යමානී නම් ස්ථානය අසලින් ගමන් කරන විට, එය ඔහුට පහසුවෙන් ස්පර්ශ කළ හැකි නම්, තක්බීර් පැවසීමෙන් හෝ සිපගැනීමෙන් තොරව දකුණු අතින් ස්පර්ශ කළ යුතුය. එය ස්පර්ශ කිරීම ඔහුට පහසු නොවන්නේ නම්, එය දෙසට සළකුණු කරමින් හෝ තක්බීර් පවසමින් ගමන් කළ යුතු නොවේ. රුකුනුල් යමානි හා හජ්රුල් අස්වද් අතර මෙසේ පවසයි:

﴿...رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ حَسَنَةٗ وَقِنَا عَذَابَ ٱلنَّارِ﴾

"රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතුන් වෆිල් ආකිරති හසනතුන් වකිනා අදාබන්නාර්"(අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අපහට පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව!) (අල් බකරා :201)

තවාෆ් අවසන් වූ විට, මකාම් ඉබ්රාහීම් නම් ස්ථානයට පිටුපසට වී රකආත් දෙකක් ඉටු කිරීමට පහසු නම්, එය ඉටු කරයි. එසේ නොමැතිනම්, මස්ජිදුල් හරාම්හි ඕනෑම ස්ථානයක එය ඉටු කරයි. පළමු රකආතයේ සූරා ෆාතිහා පාරායනයෙන් පසු සූරා (අල් කාෆිරූන්) පාරායනය කිරීම නබි පිළිවෙතකි. දෙවන රකආතයේ, ෆාතිහා පාරායනයෙන් පසු, සූරා 'අල් ඉක්ලාස්' පාරායනය කරයි. ඉන්පසු ඔහු අල් 'මස්ආ' (සඃයු කරන ස්ථානය) වෙත යාමට සූදානම් වෙයි. සෆා සහ මර්වා අතර සඃයු වට හතක් ඉටු කරයි; එසේ යාම එක් වටයක් ලෙස සහ ආපසු පැමිණීම එක් වටයක් සැළකේ.

සඃයු මෙහෙය 'සෆා' සිට ආරම්භ කරයි. එහි නගියි. එසේ නැතහොත් ඒ අසළ නතර වෙයි. 'සෆා' මත නැගීම හැකිනම්, එය වඩාත් යහපත්ය. එම අවස්ථාවේ, ඔහු උත්තරීතර අල්ලාහ්ගේ වදන පාරායනය කරයි:

﴿‌إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِ...﴾

"ඉන්නස් සෆා වල් මර්වත මින් ෂආඉරිල්ලාහ්..." (නියත වශයෙන් ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ්ගේ සංකේත අතුරිනි...) (අල් බකරා: 158)

කිබ්ලාවට මුහුණ ලෑම සතුටුදායක ක්‍රියාවක් වන අතර, එහි දී අල්ලාහ් ව ප්‍රශංසා කරමින්, ඔහුව ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින් තක්බීර් පවසමින් මෙසේ පවසයි:

«لَا إِلٰهَ إِلَّا اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، لَا إِلٰهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا إِلٰهَ إِلَّا اللَّهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَنَصَرَ عَبْدَهُ، وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ».

"ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, යුහ්යී වයුමීතු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු, අන්ජස වඃදහූ, වනසර අබ්දහූ, වහදමල් අහ්සාබ වහ්දහූ."60.(නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් සුදුස්සෙකු නැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සර්ව රාජ්‍යය ඔහු සතුය. සියලු ප්‍රශංසා ඔහු සතුය. ඔහු ජීවත් කරවයි. මරණයට පත් කරයි. ඔහු සියලු දෑහි සර්වබලධාරීය. අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුගේ ප්‍රතිඥාව ඔහු ඉටු කළේය. ඔහුගේ ගැත්තාට උපකාර කළේය. සියලුම සේනාවන් ඔහු තනිව හිට පරාජයට පත් කළේය.) පසුව තම දෙඅත් ඔසවා හැකි පමණින් ප්‍රාර්ථනා කරයි. මෙම අනුවාදයන් සහ ප්‍රාර්ථනා තුන් වරක් නැවත නැවත පවසයි. පසුව ඔහු පහළට බැස, මර්වාහ් වෙත පා ගමනින් යයි, පළමු සලකුණ වෙතට ළඟා වන තුරු එසේ ගමන් කරමින්, එහි සිට දෙවන ලකුණට ළඟා වන තෙක් එම තැනැත්තා වේගයෙන් ගමන් කරයි.  කාන්තාවකට සඃයු කරන විට සලකුණු දෙක අතර වේගයෙන් යාම ආගමානුගත කරුණක් නොවේ. එය ඇය ආවරණය කර ගත යුතු බැවිනි. ඇයට ආගමානුගත වනුයේ සඃයු අතර මුළුමණින්ම සක්මන් කිරීම පමණි. පසුව ඔහු ගමන් කරයි, මර්වා කඳු මුදුනට නගියි. එසේ නැතහොත් ඒ අබියස නතර වෙයි. නැගීම පහසු නම් එය වඩාත් යෝග්‍යය. ඔහු මර්වා කඳු මුදුනේදී සෆා කඳු මුදුනේදී කළ දේවල් හා කී දේවල් සිදු කරයි. නමුත් අදාළ කුර්ආන් පාඨය කියවීම සිදු නොකරයි. එනම්, එය පහත සඳහන් උත්තරීතර අල්ලාහ්ගේ වචනයයි:

﴿‌إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِ...﴾

"ඉන්නස් සෆා වල් මර්වත මින් ෂආඉරිල්ලාහ්..."(නියත වශයෙන් ම සෆා හා මර්වා (නම් කඳු වැටි දෙක) අල්ලාහ්ගේ සංකේත අතුරිනි...) මෙය ආගමානුගත කර ඇත්තේ පළමු වටයේදී සෆා කන්දට නැගීමේදී පමණකි. පසුව ඔහු පහළට බැස, පා ගමනින් යායුතු තැන පා ගමනින් ද වේගයෙන් යායුතු තැන වේගයෙන් ද සෆා වෙත ළඟා වන තුරු සඃයු ඉටු කරයි. මෙසේ මෙය සත් වරක් සිදු කරනු ලැබේ. එහි දී යෑම එක් වටයක් ලෙස හා ආපසු පැමිණීම එක් වටයක් ලෙස සැලකේ.  ඔහුගේ සඃයු අතරවාරයේ, දික්ර් හා පහසු ප්‍රාර්ථනා අධික ලෙස උසුරීම සතුටු දායකය. ඔහු සූළු හා මහා කිලිටිවලින් පිරිසිදු වී සිටිය යුතුය. නමුත් පිරිසිදු භාවයෙන් තොරව ඔහු සඃයු ඉටු කළේ නම්, එය වලංගු වන්නේය. මෙසේම කාන්තාවක් තවාෆ් කිරීමෙන් පසු ඔසප් තත්ත්වයට හෝ පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය වීමේ තත්ත්වයට පත්වන්නේ නම්, ඇය සඃයු මෙහෙය ඉටු කරයි. එය ඇයට වලංගු වනු ඇත. මන්ද සඃයි මෙහෙය සඳහා පිරිසිදුකම කොන්දේසියක් නොවන අතර එය ප්‍රියජනක කරුණක් පමණක් වන බැවිනි.

එසේ සඃයු මෙහෙය සම්පූර්ණ කළ විට; ඔහු හිසකෙස් බෑම හෝ කොට කර ගනී. නමුත් පිරිමියා හිසකෙස් බෑම වඩාත් යෝග්‍ය වේ.

මේ අනුව, උම්රා වන්දනාවේ පිළිවෙත් සම්පූර්ණ වෙයි.

අල්-හජ්:

අ- හජ් හි මූලිකාංග:

1- ඉහ්රාම් තත්ත්වයට පිවිසීම.

2- අරෆාහි රැඳීම.

3. (හජ් වන්දනාවට අදාළ) තවාෆුල් ඉෆාදා ඉටු කිරීම.

4- සඃයු ඉටුකිරීම.

ආ: හජ්හි අනිවාර්ය කරුණු:

1. ස්ථානීය සීමා මාඉම් හි ඉහ්රාම් තත්වයට පත්වීම.

2- දුල්හජ් 9 වන දින අරෆාහි රැඳී සිටීම. දහවල් කාලයේ එහි රැඳී සිටින අය හිරු අවරට යන තෙක් එසේ රැඳී සිටියි.

3- දුල් හජ් මස 10 වන රාත්‍රියේ මුස්දාලිෆාහි රාත්‍රිය ගත කිරීම.

4- තෂ්රීක් දිනවල රාත්‍රියන් මිනාහි ගත කිරීම.

5- ජම්රාත් නම් ගල් ගැසිය යුතු ස්ථානවල ගල් විසි කිරීම.

6- හිසකෙස් බෑම හෝ කොට කිරීම.

7- 'තවාෆුල් විදා' (සමු ගැනීමේ තවාෆය) ඉටු කිරීම.

ඇ: හජ් ඉටුකරන ආකාරය:

මීකාත් හෙවත් ස්ථානීය සීමා මාඉම් වෙත ළඟා වූ විට, කාලය සීමිත වී ඇත්නම් වන්දනාකරු හජ් සඳහා තල්බියා පවසයි. පසුව මක්කාවට පැමිණ තවාෆය හා සඃයු ඉටු කරයි. හජ් මස නවවන අරෆා දින අරෆා වෙත ගමන් කරන තෙක් ඉහ්රාම් ඇඳගෙන සිටියි. හිරු බැසෙන තෙක් එහි රැඳී සිටියි.

පසුව එම ස්ථානයෙන් මුස්දලිෆාව වෙත ලබ්බයික් යනුවෙන් තල්බිය්යා කියමින් පිටව ගොස්, එහි ෆජ්ර් සලාතය ඉටු කරන තෙක් රැඳී සිටියි. පසුව එහි අල්ලාහ් ව දික්ර් කරමින්, ලබ්බයික් කියා තල්බිය්යා කියමින්, ප්‍රාර්ථනා කරමින්, අහස හොඳින් කහ ගැන්වෙන තෙක් රැඳී සිටියි.

හිරු උදාවට පෙර එළිවෙන විට මිනාව වෙත හැරී යයි. පසුව ජම්රතුල් අකබා නම් ගල් ගසන ස්ථානයට ගල් හතක් විසි කරයි. පසුව ඔහුගේ හිස කෙස් මුඩු කර ගනියි හෝ කොට කර ගනියි. මුඩු කිරීම වඩාත් උතුම්ය.

පසුව ඔහු ‘තවාෆුල් ඉෆාළා’ ඉටු කරයි. පළමු සඃයු මෙහෙය ප්‍රමාණවත් වන අතර, එමගින් ඔහුගේ හජ් පිළිවත් සම්පූර්ණ වේ. ඔහු සම්පූර්ණයෙන්ම (තහනම් කරන ලද දැයින්) ලිහිල් වීමේ තත්ත්වය ලබයි. 

එකොළොස් වන දිනයේදී සහ දොළොස් වැනි දිනයේදී, ඔහු කල් ඇතිව අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ජම්රාත් කුළුණු තුනට ගල් ගසයි. සෑම කුළුණකටම ගල් කැට හත බැගින් ගසයි. සෑම ගල් කැටයක් සමගම (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසයි. මස්ජිදුල් හයිෆ් අසලින් ආරම්භ වන ‘ජම්රතුස් සුග්රා’ නම් ස්ථානයෙන් ආරම්භ කර පසුව ‘ජම්රතුල් වුස්තා’වටත් පසුව අවසානයේ ‘ජම්රතුල් අකබා’වටත් ගල් ගසයි. සෑම කුළුණකටම ගල් කැට හත බැගින් ගසයි. දොළොස් වැනි දිනට පසුවත් ප්‍රමාද වීමට කැමති නම්, දහතුන් වැනි දින ද එකොළොස් වැනි දින හා දොළොස් වැනි දින ගල් ගැසූ ආකාරයටම ගල් ගසයි.

ගල් වීසි කිරීමේ වේලාව: දින තුනේම හිරු මුදුණින් අවරට යෑමෙන් පසු.

දොළොස් වැනි දින හිරු අවරට යාමට පෙර මිනාවෙන් පිටව ගියහොත් එහි කිසිදු වරදක් නැත. නමුත් දහතුන් වැනි දින හිරු මුදුනින් අවරට යෑමෙන් පසු ගල් ගසන තෙක් රැඳී සිටියේ නම් එය වඩාත් උතුම්ය. එය අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය: 

﴿‌...فَمَن تَعَجَّلَ فِي يَوۡمَيۡنِ فَلَآ إِثۡمَ عَلَيۡهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثۡمَ عَلَيۡهِۖ لِمَنِ ٱتَّقَىٰ...﴾

"කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බිය බැතිමත් වූවන්හට ය."

(අල් බකරා: 203)

ඔහු ගමන් කිරීමට අපේක්ෂා කළහොත්, සඃයු කිරීමෙන් තොරව සමුගැනීමේ තවාෆය වට හතක් තවාෆ් ඉටු කළ යුතුය.

ඔහු සමඟ සත්ව කැපයක් නොමැති නම්, එහිදී වඩාත් උතුම් වන්නේ: තමත්තුඃ ක්‍රමයට උම්රා සඳහා ඉහ්රාම් ඇඳ ගැනීමය. පසුව දුල් හජ් මස අටවන දින හජ් සඳහා තල්බියා පවසයි. පෙර විස්තර කළ පරිදි හජ්හි කටයුතු ඉටු කරයි. හජ් හා උම්රා යන දෙකටම එකවර ඉහ්රාම් ඇඳ ගත්තේ නම්, එහි වරදක් නැත. එය 'කිරාන්'ලෙස හැඳින් වේ. එනම් උම්රා හා හජ් එක් තවාෆයක් හා එක් සඃයු මෙහෙයක් සමඟ ඉහ්රාම් තත්ත්වයට පත්වන බවට චේතනා තැබීමය.

තුන්වන පරිච්ඡේදය:

ගනුදෙනු හා සම්බන්ධ කරුණු.

අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු දැනුම කවරේද යන්න පිළිබඳ විද්වත්හු පැහැදිලි කර ඇත්තාහ. සෑම මුස්ලිම් කෙනෙකුටම අනිවාර්යය වශයෙන් ඉගෙන ගත යුතු ප්‍රමාණය පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇත්තාහ. ඒ අතරින් ව්‍යාපාරික කටයුතු කරන අය ගනුදෙනු පිළිබඳ ආගමික නීති ඉගෙන ගැනීම අනිවාර්යය බව ද මෙනෙහි කර ඇත.  එය ඔහු නොදැනුවත්ව තහනම් ගනුදෙනු හෝ පොළිය තුළට නොවැටෙනු පිණිස ය.  එය සහතික කරමින් ඇතැම් සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) විසින් වාර්තා කර ඇති කරුණු සඳහන් වී ඇත.  

උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: "ආගමික විෂයයන් පිළිබඳ දැනුම ඇති උදවිය හැර වෙනත් කිසිවකු අපගේ වෙළඳපොළේ වෙළඳාම් නොකළ යුතුය." (61)61

අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ ප්‍රකාශ කර ඇත: «කවරෙකු දහම් දැනුම ලබන්නට පෙර ව්‍යාපාරික කටයුතු වල නිරත වූයේ ද; ඔහු රිබා (පොළිය) තුළ වැටී ඇත, පසුව නැවතත් වැටී ඇත, නැවතත් වැටී ඇත. එහි අර්ථය: ඔහු පොළිය තුළට වැටී ඇත යන්නයි.»62.

අල්ලාමී තුමාගෙන් ලබා ඉබ්නු ආබ්දීන් තුමා මෙසේ පවසයි: සෑම වගකීමක් සහිත පිරිමියෙකුට සහ කාන්තාවකටම, දහම් දැනුම හා මාර්ගෝපදේශය ඉගෙනීමෙන් පසු, වුළූ දෝවනය, ස්නානය, සලාතය, උපවාසය පිළිබඳ දැනුම, සහ සකාත් නිකුත් කිරීම සඳහා වන අවම ප්‍රමාණය ලැබූ අයට එම සකාත් පිළිබඳ දැනුම, හජ් අනිවාර්ය වන අයට හජ් පිළිබඳ දැනුම, වෙළඳුන්ට වෙළඳාම් පිළිබඳ දැනුම අනිවාර්ය වේ. එය ගනුදෙනුවලදී ඇතිවන සැක සහ අනුමත නොකළ පිළිකුල් සහගත කරුණු වලින් වැළකී සිටීමටය. එමෙන්ම කර්මාන්තකරුවන්ට ද එලෙසමය. කුමක් හෝ කටයුත්තක නිරත වන සෑම කෙනෙකුටම, එහි දැනුම සහ නීතිය හැදෑරීම අනිවාර්ය වේ. එමඟින් එහි අනිසි (තහනම්) කටයුතු වලින් වැළකී සිටිය හැකි වේ."63.

නවවි තුමා (රහිමහුල්ලාහ්) මෙසේ පවසයි: "ව්‍යාපාරය, විවාහය සහ ඒවාට සමාන දේ, එහි කොන්දේසි දැන ගැනීමෙන් පසු පමණක් ඉදිරියට යාමට අවසර ඇත, එසේ නොමැතිනම් එය තහනම් වේ." 64.

මෙය මූල්‍යමය ගනුදෙනු සම්බන්ධ නීතිරීති කිහිපයක් සහ ඒ සම්බ්න්ධ ඉස්ලාමීය ආගමික නීතිවල සඳහන් කරුණු කිහිපයකි:

1- අවසර ලත් දේවල් මිලදී ගැනීම සහ විකිණීම, කුලියට දීම සහ 'ෂුෆ්ආ' පූර්ව-භාරය වැනි යහපත ඇති සෑම දෙයකටම අවසර දීම.65.

2- මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා සහතිකයක් වන සියලු දේ ආගමානුගත කොට ඇත. උදාහරණ ලෙස උකස් සහ සාක්ෂි ඉදිරිපත් කිරීම වැනි දෑ.

3- ගනුදෙනුකරුවන් දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් වන සියලු කටයුතු ආගමානුගත කොට ඇත. උදාහරණ ලෙස ඉකාලා නම් එක් පාර්ශ්වයකට කොන්ත්‍රාත්තුවක් අවලංගු කිරීමට හෝ අවසන් කිරීමට අයිතිය ලබා දීම, හියාර් නම් නිශ්චිත කාල සීමාවක් තුළ එක් පාර්ශ්වයකට කොන්ත්‍රාත්තුව තහවුරු කිරීමට හෝ ඉන් ඉවත් වීමට ඇති අයිතිය හා ව්‍යාපාරයේ කොන්දේසි පැනවීම වැනි දෑ.

4- මිනිසුන්ට අගතියක් හා අසාධාරණයක් වන ඔවුන්ගේ සම්පත් අයුතු ලෙස භුක්ති විදින සියලු දෑ තහනම් කර ඇත. උහාරණ ලෙස  පොලිය, මංකොල්ලය හා මිල ඉහළ නැංවීම සහ අසාධාරණ ලෙස ලාභය පැටවීම සඳහා භාණ්ඩ රඳවා තබා ගැනීම වැනි දෑ.

5- යහපත සඳහා උදව්වන සියලු දෑ ආගමානුගත කර ඇත. උදාහරණ ලෙස ණය, කුලියට දීම හා තැන්පතු වැනි දෑ.

6- ප්‍රයෝජනයක් නැති; පරිශ්‍රමයක් නැති; වෙහෙසීමකින් තොරව ධනය උපයන සෑම ක්‍රමවේදයක්ම තහනම් කර ඇත. උදාහරණ ලෙස සූදුව හා පොලිය වැනි දෑ.

7- නොදැනුවත්කම, රැවටීම සහ අවදානම වැඩි ගනුදෙනු සියල්ල තහනම් කර ඇත. උදාරහණ ලෙස අයිතියක් නොමැති දේවල් විකුණා දැමීම සහ නොදන්නා දේවල් විකුණා දැමීම වැනි ය.

8- තහනම් දෙයක් සඳහා ක්‍රියාත්මක කරන සියලුම කුමන්ත්‍රණයන් තහනම් කර ඇත. උදාහරණ ලෙස 'අල්-ඊනා' ව්‍යාපාරය වැනිය.66.

9- අල්ලාහ්ට අවනත වීමෙන් අවධානය වෙනතකට යොමු කරන සියලු දෑ තහනම් කර ඇත. උදාහරණ ලෙස දෙවන ජුමුආ ඇරයුමෙන් පසු වෙළඳාම් කරන්නාක් වැනි ය.

10- මුස්ලිම්වරුන් අතර සතුරුකමට හේතුවන හෝ හානියක් ඇති කරන සෑම දෙයක්ම වළක්වා ඇත. උදාහරණ ලෙස තහනම් කර ඇති භාණ්ඩ විකිණීම, තම සහෝදරයාගේ ව්‍යාපාරයට එරෙහිව පුද්ගලයෙක් ව්‍යාපාර කිරීම වැනි ය.

මුස්ලිම්වරයකුට යම්කිසි කරුණක් පිළිබඳව නීතිමය තීරණ ගැනීම ව්‍යාකූල වූ විට, ඔහු එය විද්වතුන්ගෙන් අසා දැනගත යුතුය. එම කරුණ පිළිබඳව නීත්‍යානුකූල තීරණය දැනගැනීමෙන් පසු පමණක් ඔහු එයට ඉදිරිපත් විය යුතුය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත.:

﴿‌...فَاسْأَلُوا ‌أَهْلَ ‌الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ﴾

"එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් විමසා දැන ගනු." (අන්-නහ්ල්: 43)

මෙය ගොනු කිරීමට හැකි වූ කරුණු කිහිපයක් පමණි. අපට ප්‍රයෝජනවත් දැනුම හා යහපත් ක්‍රියාවන් කිරීමට ආශිර්වාද කරන මෙන් අපි අල්ලාහ් ගෙන් ඉල්ලා සිටිමු. සැබැවින්ම ඔහු ත්‍යාගශීලීය හා මහා ධානපති ය. අපගේ නබි මුහම්මද් තුමාණන් හා එතුමාගේ පවුලේ උදවියටත් එතුමාගේ සහගාමීන්ටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදාන උදා කරත්වා!

 

 

***

පටුන

 

පෙරවදන 2

පළමුවන පරිච්ඡේදය: 4

"අකීදා" හෙවත් විශ්වාස පද්ධතිය හා සම්බන්ධ කරුණු 4

පළමු විමර්ශනය: ඉස්ලාම් යන්නෙහි අර්ථය හා එහි කුළුනු: 4

"තව්හීද්" හෙවත් දේවත්වය ඒකීයකරණයේ වැදගත්කම: 5

‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යන පළමු ෂහාදාවේ අර්ථය: 7

ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත) යන සාක්ෂි ප්‍රකාශයේ කොන්දේසි මෙසේ ය. 8

සාක්ෂියේ ප්‍රකාශය වන මුහම්මදුර් රසූලුල්ලාහ් (මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන්ය) යන්නෙහි අරුත වන්නේ: 10

දෙවන විමර්ශණය: ඊමාන් හෙවත් විශ්වාසයේ අර්ථය හා මූලිකාංග: 12

1. උත්තරීතර අල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීම තුළ කරුණු තුනක් ඇතුළත් වේ: 14

1- ඔහුගේ පරමාධිපත්‍යය පිළිබඳ විශ්වාසය: 14

2- ඔහුගේ දේවත්වය විශ්වාස කිරීම: 17

3. නාමයන් සහ ගුණාංගයන් පිළිබඳ විශ්වාස කිරීම: 20

2) මලක්වරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාසය: 31

3) දේව පුස්තක පිළිබඳ විශ්වාසය: 33

4) ධර්ම දූතවරුන් පිළිබඳ විශ්වාසය: 34

5- අවසාන දිනය පිළිබඳ විශ්වාසය: 36

පළමුවැන්න: යළි අවදි කිරීම ගැන විශ්වාසය. 36

දෙවැන්න: විනිශ්චය හා ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය: 36

තුන්වැන්න: ස්වර්ගය හා නිරය පිළිබඳ විශ්වාස කිරීම. 37

6) හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම. 38

තෙවැනි විමර්ශනය: අල් ඉහ්සාන්: 40

සිව්වන විමර්ශනය: අහ්ලුස් සුන්නා වල් ජමාඅත් වරුන්ගේ ප්‍රතිපත්තිවල සාරාංශය: 41

දෙවන පරිච්ඡේදය: නැමඳුම හා බැඳුණු කරුණු. 43

පළමු විමර්ශනය: පිරිසිදුකම: 43

පළමුව: ජල වර්ග: 44

දෙවනුව: නජාසා (අපවිත්‍රතාවය): 44

තුන්වැන්න: කිලිටි තත්ත්වයේ පසුවන්නාට තහනම් වන කරුණු: 48

හතරවැන්න: ශාරීරික අවශ්‍යතා සපුරා ගැනීමේදී පිළිපැදිය යුතු සදාචාර ධර්ම. 51

පස්වනුව : ජලෙයන් හා ගල් ගැට හෝ ඊට සමාන දෑ භාවිත කරමින් පිරිසිදු කිරීම පිළිබඳ නීති : 52

හයවැන්න- වුළුඃ හා බැඳුණු නීති: 53

හත්වැන්න: මේස් සපත්තු සහ හම් උර මත පිරිමැදීමේ නීති: 56

අටවැන්න: තයම්මුම්හි නීති රීති: 59

නවවැන්න: ඔසප් තත්ත්වය හා දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය පිළිබඳ නීති රීති. 63

දෙවන විමර්ශනය: සලාතය: 65

පළමුව: අදාන් හා ඉකාමත් පිළිබඳ නීති රීති: 66

දෙවැන්න: සලාතයේ ස්ථානය සහ එහි මහිමය: 71

තුන්වැන්න: සලාතයේ කොන්දේසි: 74

සිව්වැන්න: සලාතයේ අර්කාන් (මූලිකාංග) 76

පස්වැන්න: සලාතයේ වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු: 83

සයවැන්න : සලාතයේ සුන්නාවන් හෙවත් අමතර කරුණූ 85

සත්වැන්න: සලාතය ඉටු කරන ආකාරය 89

අටවැන්න: සලාතයේ මක්රූහාත් (පිළිකුල් සහගත දෑ) 97

නවැවන්න: සලාතය අවලංගු කරවන කරුණු: 98

දසවැන්න: සුජූදුස් සහ්වු (යම් අතපසුවීමක් සිදු වීම හේතුවෙන් කෙරෙන සුජූද්) 99

එකොළොස්වැන්න: සලාතය ඉටුකිරීමට තහනම් වේලාවන්: 101

දොළොස්වැන්න: සමූහ සලාතය: 102

දහතුන් වැන්න: සලාතුල් හඃවුෆ් හෙවත් බියමුසු අවස්ථාවේ සලාතය: 106

බියකරු අවස්ථාවේ සලාතය ඉටු කරන ආකාරය: 107

දහහතර වැන්න: ජුමුආ සලාතය: 109

පස්වනුව : ජුමුආ දිනයේ සතුටුදායක ක්‍රියාවන්: 112

ජුමුආ සලාතය අත්පත් කර ගැනීම: 113

පහළොස් වැන්න: නිදහසට කරුණු ඇති උදවියගේ සලාතය: 113

දහසය වැන්න: ඊද් හෙවත් උත්සව දෙකෙහි සලාතය: 118

දහ හත්වැන්න: ක්හුසූෆ් (ග්‍රහණ) සලාතය: 121

දහඅට වැන්න: 'සලාතුල් ඉස්තිස්කා' හෙවත් වර්ෂාව පතා කරනු ලබන සලාතය: 124

දහනව වන කරුණ: 'අල්-ජනාසා' හෙවත් මරණ කටයුතු සම්බන්ධ නීති රීති. 126

තුන්වන විමසුම: සකාත්: 131

1- සකාතය සහ එහි ස්ථාවරය පිළිබඳ හැඳින්වීම: 131

2- සකාත් අනිවාර්යය වීම සඳහා තිබිය යුතු කොන්දේසි: 133

3- සකාත් අනිවාර්යය වන සම්පත්: 134

සිව්වැනි විමර්ශනය: උපවාසය: 151

රමළාන් උපවාසය අනිවාර්ය වීමේ කොන්දේසි: 152

පස්වන විමර්ශනය: හජ් සහ උම්රා 163

හජ් සහ උම්රා අනිවාර්යය වීම සඳහා තිබිය යුතු කොන්දේසි: 165

ඉහ්රාම් සීමා මාඉම්: 167

ඉහ්රාම් තත්ත්වයට පිවිසීම: 170

උම්රා: 176

අල්-හජ්: 182

තුන්වන පරිච්ඡේදය: 185

ගනුදෙනු හා සම්බන්ධ කරුණු. 185

***

 


මෙය අහ්මද් විසින් ඔහුගේ ‘මුස්නද්’ හි හදීස් අංක (6072) යටතේ ද, තිර්මිදි විසින් හදීස් අංක (1535) යටතේ ද වාර්තා කර ඇති අතර, ඉමාම් තිර්මිදි තුමා එය ‘හසන්’ හදීසයක් බව පවසයි.

[3 ] බුහාරි තුමා විසින් 'අල් අදබුල් මුෆ්රද්'හි හදිස් අංක 716 යටතේ ද, අහ්මද් තුමා විසින් 'අල් මුස්නාද්'හි හදීස් අංක 19606 යටතේ ද වාර්තා වී ඇති අතර අල්-ලියා මුක් මක්දසී විසින් 'අල් අහදීස් අල් මුඛ්තාරා'හි හදීස් අංක (1/150) යටතේ ද වාර්තා වී ඇත. 'සහීහ් අල් ජාමිආ අල් සගීර්'හි අල්බානි තුමා විසින් අංක 3731 යටතේ මෙහි නිවැරදි භාවය තහවුරු කර ඇත.

මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක (121) යටතේ හා අහ්මද් තුමා විසින් මස්නද්හි හදීස් අංක (10434) යටතේ වාර්තා කර ඇත.

(මදී): එය වර්ණයක් නොමැති සිහින් දියරයකි. තුරුල් කර ගැනීමේ දී හෝ සංසර්ගය සිහිපත් කිරීමේදී හෝ එය කාමුක ආශාවක් ඇතිවීමේදී හෝ කාමුක ලෙස බැලීමේදී හෝ වෙනත් අවස්ථාවලදී පිටවෙයි.  එය බිංදු ලෙස පිටවිය හැකි අතර, ඇතැම් විට දැනීමකින් තොරව පිටවිය හැක. (වදි): එය බරක් උසුලන විට හෝ මූත්‍රා කිරීමෙන් පසු හෝ පිටවන සුදු පැහැති ඝන දියරයකි.

මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක 224 යටතේ වාර්තා කොට ඇත.

මෙය මාලික් තුමා ‘අල් මුවත්තඃ’හි අංක (680, 219) යටතේ ද, අද් දාරිමි අංක (312) යටතේ ද අබ්දුර් රස්සාක් ‘අල් මුසන්නෆ්’හි අංක (1328) යටත‌ේද වාර්තා කර ඇති අතර ‘ඉර්වා  අල් ගලීල්’හි අංක (122) යටතේ ඉමාම් අල්බානි තුමා විසින් මෙය සහීහ් හදීසයක් ලෙස තහවුරු කොට ඇත.

අන්නසාඊ, හදීස් අංක (12808) යටතේ සහ අහ්මද් හදීස් අංක (15423) යටතේ වාර්තා කර ඇති අතර ඉර්වාඉල් ගලීල් හි අල්බානී තුමා විසින් අංක (121) යටතේ එහි නිරවද්‍යතාව තහවුරු කර ඇත.

මෙය ඉබ්නු මාජා විසින් හදීස් අංක (594) යටතේ ද ඉබ්නු හිබ්බාන් විසින් හදීස් අංක (799) යටතේ ද වාර්තා කර ඇති අතර අල්බානි තුමා ‘ළඊෆ් සුනන් අත් තිර්මිදී’හි අංක (146) යටතේ මෙය දුර්වල හදීසයක් බවට තහවුරු කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (142) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (122) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (7288) හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (6066) යටතේ වාර්තා කර ඇත.

ගරු අෂ්-ෂෙයික් අබ්දුල් අසීස් බින් බාස් (රහිමහුල්ලාහ්) තුමා ඔහුගේ 'මජ්මූඃ ෆතාවා' (29/141) හි මෙසේ සඳහන් කර ඇත: (ජාබිර් තුමා විසින් වාර්තා කරන ලදුව ශක්තිමත් වාර්තා දාමයක් තුළින් අල්-බයිහකී තුමා ඊට අමතරව "අල්ලදී වඅද්තා"(ඔබ ඔහුට පොරොන්දු දුන් දෑ) යන වචනයට පසු "ඉන්නක ලා තුක්ලිෆුල් මීආද්" (ඔබ පොරොන්දුව කඩ නොකරන්නෙහිය) යනුවෙන් ප්‍රකාශ කර ඇත.  

මෙය තිර්මිදි තුමා විසින් හදීස් අංක (2635) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (82).

මෙය තිර්මිදි තුමා විසින් හදීස් අංක (265) වාර්තා කර ඇති අතර, එය ‘හසන් සහීහ් ගරීබ්’ ගණයට අයත් බව තිර්මිදි තුමා පවසයි. ඉමාම් අල්බානී ‘සහීහ් අත් තර්ගීබ් වත් තර්හීබ්’ නම් කෘතියෙහි මෙය සහීහ් හදීසයක් බවට තහවුරු කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1117) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (6251) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (884) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (756) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (872) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි (793) හා මුස්ලිම් (398) විසින් වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා හදීස් අංක (812) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (490) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (498) යටතේ වාර්තා කර ඇත. 

මෙය ඉමාම් බුහාරි තුමා විසින් හදීස් අංක (724) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (398) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (797) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (402) යටතේ වාර්තා කොට ඇත.

මෙය තිර්මිදි විසින් හදීස් අංක (839) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (6008) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා හදීස් අංක (1110) යටතේ වාර්තා කර ඇත.

. බුහාරි තුමා විසින් හදීස් අංක 835 යටතේ මෙය වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (743) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (399) යටතේ වාර්තා කර ඇත.

මෙය තිර්මිදි තුමා විසින් හදීස් අංක (266) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් හදීස් අංක (588) යටතේ වාර්තා කර ඇත.

අබූ දාවුද් තුමා විසින් හදීස් අංක (5168) යටතේ වාර්තා කර ඇත.

මෙය තිර්මිදි තුමා විසින් හදීස් අංක (284) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (1484) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා හදීස් අංක (609) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (602) යටතේ  වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා හදීස් අංක (4130) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (842) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (865) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (934) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (851) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1081) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (693) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1012) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (894) යටතේ වාර්තා කර ඇත.

මෙය අබූ දාවුද් තුමා (3201) විසින් ද තිර්මිදි තුමා (1024) විසින් ද වාර්තා කර ඇති අතර ඉමාම් තිර්මිදි තුමා එය ‘හසන් සහීහ්’ ගණයට අයත් හදීසයක් බව පවසයි.

මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (962) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (8) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (111) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉබ්නු මාජා හදීස් අංක (1792) සහ අත්තිර්මිදී හදීස් අංක (63, 631) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි හදීස් අංක (1402) හා මුස්ලිම් හදීස් අංක (2287) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා හදීස් අංක 1432, යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක 984 යටතේ මෙය වාර්තා කර ඇත.

මෙය අබූ දාවුද් හදීස් අංක (1609), ඉබ්නු මාජා හදී් අංක (1827) යටතේ වාර්තා කර ඇති අතර සහීහ් අබූ දාවුද්හි හදීස් අංක (1609) වාර්තා වී ඇත. මෙය අල්බානි තුමා සහීහ් හදීසයක් ලෙස තහවුරු කොට ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1907) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා හදීස් අංක (1810) හා මුස්ලිම් තුමා හදීස් අංක (1086) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1909) යටතේ වාර්තා කර ඇත.

අහ්මද් තුමා හදීස් අංක (26457) යටතේ ද, අබූ දාවුද් තුමා හදීස් අංක (2454) යටතේ ද අන්නසාඊ තුමා හදීස් අංක (2331) යටතේ ද වාර්තා කර ඇති අතර මෙහි පද පෙළ ඔහු සතු වූවකි.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (6669) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (2709) යටතේ වාර්තා කර ඇත.

අබූ දාවුද් හදීස් අංක (2380), අත්-තිර්මිදී හදීස් අංක (719), ඉබ්නු මාජා හදීස් අංක (676) යටතේ මෙය වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා හදීස් අංක (1849) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1846) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් තුමා විසින් හදීස් අංක 1134 යටතේ වාර්තා කර ඇත. 

මෙය අහ්මද් තුමා විසින් හදීස් අංක (25198) යටතේ ද, ඉබ්නු මාජා තුමා විසින් හදීස් අංක (2901) යටතේ හා ඉමාම් නසාඊ තුමා විසින් හදීස් අංක (2627) යටතේ වාර්තා කොට ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1862) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1341) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1531) යටතේ වාර්තා කොට ඇත.

මෙය මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1211) යටතේ වාර්තා කර ඇත .

මෙය බුහාරි තුමා හදීස් අංක (1549) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත, අංකය (1218).

මෙය තිර්මිදි විසින් හදීස් අංක (487) යටතේ වාර්තා කර ඇති අතර එය ‘හසන් ගරීබ්’ ඝනයේ හදීසයක් බවද පවසයි. අල්බානි තුමා විසින් මෙය හසන් ලෙස තහවුරු කර ඇත.

මුග්නි අල් මුහ්තාජ්: 2/22 බලන්න.

හාෂියා ඉබ්නු ආබිදීන් (1/42).

බලන්න: අල්-මජ්මූඃ (1/ 50).

'ෂුෆ්ආ' යනු, මුදල් හුවමාරුවක් මගින් වෙනත් අයෙකුට යන තම හවුල්කරුගේ කොටස ලබා ගැනීමට හවුල්කරුට ඇති අයිතියයි. (පැහැදිලි කිරීම: හවුල්කරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් ඒකාබද්ධව දේපළ හිමිකරගෙන සිටී. ඉන් එක් හවුල්කරුවෙකු තම කොටස තෙවන පාර්ශවයකට (හවුල්කරුවෙකුට නොව) විකිණීමට කැමති නම්, තෙවන පාර්ශවයට පිරිනමන මිලටම එම කොටස මිලදී ගැනීමට අනෙක් හවුල්කරුට අයිතිය තිබේ. මෙම අයිතිය තෙවන පාර්ශවයකට ඒකාබද්ධව හිමි දේපළ අත්පත් කර ගැනීමෙන් වළක්වයි.)

අල්-ඊනා ව්‍යාපාරය යනු: පුද්ගලයෙකු වෙනත් පුද්ගලයෙකුට භාණ්ඩයක් කල් දීමේ මිලකට විකුණා, එය ඔහුට භාර දී, පසුව එම මිල අත්පිට නොලැබීමට පෙර, එම මිලට වඩා අඩු වටිනාකමට මුදලින් මිලදී ගැනීමයි.

මෙය බුහාරි තුමා විසින් හදීස් අංක 8 යටතේ වාර්තා කර ඇත.