صِفَةُ العُمْرَةِ
උම්රා ඉටු කිරීමේ ක්‍රමය
කර්තෘ
අබ්දුල් අzසීස් බින් අබ්දුල්ලාහ් බින් බාzස්
උම්රා ඉටු කිරීමේ ක්‍රමය
සියලු ප්‍රශංසා ඒකීය වූ අල්ලාහ් සතු ය.
මෙය උම්රාහි වන්දනා කටයුතු පිළිබඳ කෙටි විශ්ලේෂණයකි.
පාඨකයාට ඒ ගැන පැහැදිලි කිරීමක්:
උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන්නා අදාළ සීමා මායිම් වෙත ළඟා වූ විට, ස්නානය කොට පිරිසිදු වීම සතුටුදායක ය. කාන්තාව ද ඇය ඔසප් තත්ත්වයේ පසු වූවත් පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු ලේ වහනය වන තත්ත්වයේ පසු වූවත් එලෙස ක්‍රියා කරනු ඇත. එහෙත් ඇය පිරිසිදු වී ස්නානය කරන තෙක් දේව ගෘහය තවාෆ් කිරීමෙන් වැළකී සිටිය යුතු ය.
පිරිමියා ඔහුගේ ශරීරයට සුවඳ විළවුන් ගල්වා ගනියි. එහෙත් ඉහ්රාම් ඇඳුමට එය ගැල්වීමෙන් ඔහු වැළකී සිටිය යුතු ය. අදාළ සීමා මායිම් තුළ ස්නානය කර ගැනීමට පහසුකමක් නොලැබුණේ නම්, එහි වරදක් නැත. එහෙත් මක්කාවට ළඟා වී තවාෆ් ඉටු කිරීමට පෙර පහසුකමක් ඇත්නම් ස්නානය කර ගැනීම සතුටුදායක ය.
මසා නිම කළ සියලු ම ඇඳුම්වලින් පිරිමියා දුරස් වෙයි. යටි සළුවක් හා උඩු සළුවක් පමණක් පැලඳ ගනියි. ඒ දෙක පිරිසිදු සුදුවන් දෙකක් වීම සතුටුදායක ය.
කාන්තාව වනාහි (නිකාබ් බුර්කා හා අත් වැසුම්වලින් තොර විය යුතු අතර පිටස්තර පිරිමින් ඉදිරියේ ඇගේ මුහුණ සහ අත් වෙනත් ඇදුමකින් ආවරණය කර ගත හැකි ය.) ඇගේ සාමාන්‍ය සුපුරුදු ඇඳුමෙන් ඉහ්රාම් ඇඳුම සකසා ගන්නීය. එහි අලංකාරයක් හෝ ආකර්ෂණයක් හෝ නොතිබිය යුතු ය.
පසු ව වන්දනාව තුළට පිවිසෙන බවට හදවතින් අධිෂ්ඨාන කර ගෙන මුවින්:
ﵟ لَبَّيْكَ عُمْرَةً ﵞ
“ලබ්බෙයික උම්රතන්”
තේරුම: (උම්රා ඉටු කිරීමේ අදිටනින් මම ඔබ ඉදිරියේ පෙනී සිටිමි) නැතහොත්;
ﵟ اللَّهُمَّ لَبَّيْكَ عُمْرَةً ﵞ
“අල්ලාහුම්ම ලබ්බෙයික උම්රතන්”
තේරුම: “(දෙවිඳුනි, උම්රා ඉටු කිරීමේ අදිටනින් මම ඔබ ඉදිරියේ පෙනී සිටිමි.) යැයි පැවසිය යුතු යි.
රෝගී තත්ත්වය හේතුවෙන් හෝ සතුරු උවදුරු හේතුවෙන් තමන්ට එම වන්දනාව ඉටු කිරීමට අපොහොසත් වනු ඇතැ යි ඉහ්රාමය පැලඳගන්නාට බියක් හටගත්තේ නම්, ඔහු ඉහ්රාම් හි චේතනාව තබන අවස්ථාවේ ම පහත සඳහන් පරිදි කොන්දේසි පනවා ගැනීම ආගමානුකූල කරුණකි.
ﵟ فَإِنْ حَبَسَنِي حَابِسٌ فَمَحِلِّي حَيْثُ حَبَسْتَنِي ﵞ
“ෆඉන් හබසනී හාබිසුන් ෆමහල්ලී හය්සු හබස්තනී”
තේරුම: “යම් බාධකයක් මට බාධා කළේ නම්, මට බාධා ඇති වූ ස්ථානයේ ම මම ඉහ්රාමයෙන් මිදෙමි.” එය ළුබාආ බින්ති සුබෙයිර් (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකට අනුව ය.
පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ තල්බියාව පවසයි. එනම්:
ﵟ لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ ﵞ
“ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්. ඉන්නල් හම්ද, වන්නිඃමත, ලක වල් මුල්ක් ලාෂරීක ලක්.”
තේරුම: (යා අල්ලාහ් (ඔබ ඉදිරියේ) පෙනී සිටින්නෙමි, ඔබේ ආරාධනය පිළිගෙන (ඔබ ඉදිරියේ) පෙනී සිටින්නෙමි, ඔබට සමාන වෙන කිසිවෙක් හෝ කිසිවක් නැත. (ඔබ ඉදිරියේ) පෙනී සිටින්නෙමි. සැබැවින් ම සියලු ප්‍රශංසා, ආශීර්වාද ඔබ සතු ය. ආධිපත්‍යය ද ඔබ සතු ය. ඔබට සමාන කිසිවෙක් හෝ කිසිවක් නැත.
අල්-මස්ජිදුල් හරාම් දේවස්ථානය වෙත ළඟා වූ විට, එහි පිවිසෙන අවස්ථාවේ තම දකුණු කකුල ඉදිරියෙන් තබා මෙසේ පැවසිය යුතු ය:
ﵟ بِسْمِ اللَّهِ وَالصَّلَاةُ وَالسَّلَامُ عَلَى رَسُولِ اللَّهِ أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ وَبِوَجْهِهِ الْكَرِيمِ وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ ﵞ
“බිස්මිල්ලාහි වස්සලාතු වස්සලාමු අලා රසූලිල්ලාහි, අඌදු බිල්ලාහිල් අළීම්, ව බිවජ්හිහිල් කරිම්, ව සුල්තානිහිල් කදීම්, මිනෂ් ෂයිතානි ර්රජීම්, අල්ලාහුම්මෆ්තහ් ලී අබ්වාබ රහ්මතික.”
(අල්ලාහ්ගේ නාමයෙන්, ශාන්තිය හා සමාදානය අල්ලාහ්ගේ දූතයාණන් වෙත හිමි වේවා! සර්ව බලධාරී අල්ලාහ්ගේ නාමයෙන්, සදා පවතින ඔහුගේ ගරුත්වයේ නාමයෙන් හා ඔහුගේ ආධිපත්‍යයේ නාමයෙන්, පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් සිදු විය හැකි හානියෙන් මම ආරක්ෂාව පතමි. අහෝ දෙවිඳුනි, ඔබේ ආශිර්වාදයේ දොරටු මා වෙනුවෙන් විවෘත කරනු මැනව!)
කඃබාව වෙත ළඟා වීමත් සමඟ, තල්බියා පැවසීම නතර කරයි. පසු ව හජරුල් අස්වද් වෙත ගොස් ඒ වෙත මුහුණ ලා එය තම දකුණතින් ස්පර්ශ කොට පහසුකමක් ඇත්නම් එය සිප ගනියි. එහි දී තදබදය ඇති කරමින් මිනිසුන්ට හිංසා ඇති නොකළ යුතු ය. එය ස්පර්ශ කරන අවස්ථාවේ:
ﵟ بِسْمِ اللَّهِ وَاللَّهُ أَكْبَرُ ﵞ
“බිස්මිල්ලාහි වල්ලාහු අක්බර්”
තේරුම: (අල්ලාහ්ගේ නාමයෙන්, අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය) යැයි පවසයි.
සිප ගැනීමට දුෂ්කර නම්, ඔහුගේ අතින් හෝ සැරයටියකින් හෝ එවැනි යම් දෙයකින් එය ස්පර්ශ කොට එම ස්පර්ශ කළ දෙය සිප ගනියි. එසේ එය ස්පර්ශ කිරීමටත් දුෂ්කර වී නම් ඒ වෙත සංඥා කර (අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය) යැයි පවසයි. එසේ සංඥා කරන දෙය සිප ගැනීම අවශ්‍ය වන්නේ නැත.
තවාෆ් සිදු කරන්නා සුළු හා මහා කිලිටිවලින් පිරිසිදු වී සිටීම ඔහුගේ තවාෆ් වලංගුවීමට ඇති කොන්දේසියකි. මක් නිසා ද යත් තවාෆය සලාතය හා සමාන වන බැවිනි. එහෙත් එහි දී කතා කිරීමට අවසරය ඇත.
කඃබාව තම වම් දෙසට පිහිටුවා ගනිමින් සත් වටයක් තවාෆ් කරයි. 'රුක්නුල් යමානී' නම් කොනට සමාන්තර ව පැමිණි විට, පහසුකමක් ඇත්නම් තම දකුණතින් එය ස්පර්ශ කර:
ﵟ بِسْمِ اللَّهِ وَاللَّهُ أَكْبَرُ ﵞ
“බිස්මිල්ලාහි වල්ලාහු අක්බර්”
තේරුම: (අල්ලාහ්ගේ නාමයෙනි, අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය) යනුවෙන් පවසයි. එය සිප ගත යුතු නැත. එය ස්පර්ශ කිරීමට දුෂ්කර නම් එය අත්හැර දමා ඔහුගේ තවාෆය අඛණ්ඩ ව පවත්වාගෙන යයි. ඒ වෙත සංඥා කළ යුතු නැති අතර තක්බීර් පැවසිය යුතු ද නැත. මක් නිසා ද යත් ඒ ගැන සඳහන ප්‍රකාශයක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් වාර්තා කර නැති බැවිනි.
'හජරුල් අස්වද්' නම් කළු ගල වනාහි, එයට සමාන්තර ව පැමිණි සෑම අවස්ථාවක ම ඉහත අප පෙර සඳහන් කළ පරිදි එය ස්පර්ශ කරයි. එය සිප ගනියි. එසේ නැතහොත් ඒ වෙත සංඥා කර තක්බීර් පවසයි. විශේෂයෙන් පිරිමින් 'තවාෆුල් කුදූම්' (සම්ප්‍රාප්ත වීමේ තවාෆය) හි පළමු වට තුනෙහි රම්ල් ක්‍රමයට සක්මන් කිරීම සතුටුදායක ය. -එනම් පියවර ලඟින් ලඟ තබමින් යුහුසුලු ව ගමන් කිරීම ය.-
එමෙන් ම, 'තවාෆුල් කුදූම්' හි සියලු ම වටවල ඉල්තිබාඃ ක්‍රමයට අනුව උඩු සළුව සකසා ගැනීම සතුටුදායක ය. ඉල්තිබාඃ යනු: ඔහුගේ උඩු සළුවේ මැද දකුණු කිහිල්ලට යටින් තබා එහි කෙළවරවල් දෙක ඔහුගේ වම් උරහිස මත තැබීම ය.
සියලු ම වටවල දී තමන්ට පහසුකම් ඇත්නම්, අධික වශයෙන් දික්ර් කිරීම හා ප්‍රාර්ථනා කිරීම සතුටුදායක ය.
තවාෆ්හි විශේෂ ප්‍රාර්ථනාවක් හෝ විශේෂ දික්රයක් හෝ නැත. එහෙත් තමන්ට පහසු දික්රයන් හා ප්‍රාර්ථනාවන් යොදා ගනිමින් ප්‍රාර්ථනා කළ හැකි ය. අල්ලාහ් ව මෙනෙහි කළ හැකි ය. එම කොන් දෙක අතර මෙසේ පවසයි:
ﵟ …رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ حَسَنَةٗ وَقِنَا عَذَابَ ٱلنَّارِ ٢٠١ﵞ [البقرة:201]
“රබ්බනා ආතිනා ෆිද්දුන්යා හසනතන් වෆිල් ආහිරති හසනතන් වකිනා අදාබන්නාර්” (අල්-බකරා: 201)
තේරුම: (අපගේ පරමාධිපතියාණනි, මෙලොවෙහි යහපත ද පරලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව! තවද නිරයේ වේදනාවෙන් අප ආරක්ෂා කරනු මැනව!)
සෑම වටයක ම මෙසේ අනුගමනය කෙරේ. මක් නිසා ද යත් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සඳහන් කර ඇති බැවිනි.
හත්වන වටය පහසුකමක් ඇත්නම් 'හජරුල් අස්වද්' ගල ස්පර්ෂ කිරීමෙන් එය සිප ගැනීමෙන් හෝ ඉහත විස්තර කළ පරිදි තක්බීර් පවසා ඒ වෙත සංඥා කිරීමෙන් හෝ අවසන් කර ගනී. තවාෆය අවසන් කර ගත් පසු ව තම සළුව ඇඳ ගනියි. එය ඔහුගේ උරහිස මත තබා එහි කොන් දෙක ඔහුගේ පපු දෙසට පිහිටන සේ පැලඳ ගනියි.
පසු ව පහසුකමක් ඇත්නම්, මකාම් ඉබ්රාහීමයට පසුපසින් සිට රකආත් දෙකක් ඉටු කරයි. ඒ සඳහා ඉඩපහසුකම් නොලැබුණේ නම්, මස්ජිදයේ කවර හෝ ස්ථානයක ඒ දෙක ඉටු කරයි. ඒ දෙකෙහි සූරා අල්-ෆාතිහාවට පසු පළමු රකආතයේ 'කුල් යා අය්යුහල් කාෆිරූන්' හා දෙවන රකආතයේ 'කුල් හුවල්ලාහු අහද්' යන සූරාවන් පාරායනය කරයි. එය වඩාත් උතුම් වේ. ඒ දෙක හැර වෙනත් දෑ පාරායනය කළ ද එහි වරදක් නැත. රකආත් දෙක අවසන් කිරීමෙන් පසු ව ඔහු කළු ගල දෙසට යොමු වෙයි.
පසු ව සෆා කන්ද දෙසට පිටත් ව ගොස් එහි නැග ගනියි. එසේ නැතහොත් ඒ අසල සිට ගනී. පහසුකමක් ඇත්තේ නම් නැග ගැනීම උතුම් ය. උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේ ය.:
﴿إِنَّ ٱلصَّفَا وَٱلمَروَةَ مِن شَعَآئِرِ ٱللَّهِ..﴾ [البقرة: 158]
(සැබැවින් ම සෆා හා මර්වා -කඳු දෙක- අල්ලාහ්ගේ සංකේත අතුරිනි...) (අල්-බකරා: 158)
කිබ්ලා දෙසට හැරී අල්ලාහ්ට ප්‍රශංසා කරමින් හා ඔහුට තක්බීර් පවසමින් පහත සඳහන් අයුරින් ප්‍රාර්ථනා කිරීම සතුටුදායක ය.
ﵟ لَا إِلَـٰهَ إِلَّا اللَّهُ وَاللَّهُ أَكْبَرُ لَا إِلَـٰهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ لَا إِلَـٰهَ إِلَّا اللَّهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ.ﵞ
“ලා ඉලාහ අල්ලාහ් වල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුමුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්, ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහ්, අන්ජZස වඃදහ්, වනසර අබ්දහ්, වහZසමල් අහ්Zසාබ වහ්දහ්.”
තේරුම: (අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔහු ඒකීය ය. ඔහුට සමාන කිසිවෙක් හෝ කිසිවක් නැත. සර්ව රාජ්‍යය ඔහු සතු ය. සියලු පැසසුම් ද ඔහු සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරියා ය. අල්ලාහ් හැර නැමදුම් ලැබීමට සුදුසු වෙනත් දෙවියෙක් නැත. ඔහුගේ ප්‍රතිඥාව ඔහු සැබෑ කළේය. ඔහුගේ ගැත්තාට ඔහු උපකාර කළේය. ඔහු තනි ව ම සියලු සේනාවන් පාරාජයට පත් කළේය.)
පසු ව ඉන් බැස මර්වා දෙසට ගමන් කරයි. එහි ආරම්භක සංඥාව වෙත ළඟා වෙත් ම දෙවන සංඥාව දක්වා පිරිමි පාර්ශ්වය මද වේගයකින් ගමන් කරති.
කාන්තාව වනාහි, එසේ මද වේගයකින් ගමන් කිරීම ඇයට ආගමානුකූල කර නැත. මක් නිසා ද යත් එය ඇගේ 'අවුරා' (අනිවාර්යයෙන් ප්‍රදර්ශනය නොකළ යුතු අඟපසඟ) දිස් වීමට ඉඩ ඇති වන බැවිනි. පසු ව ඔහු ගමන් කරමින් මර්වා කන්දට නැග ගනියි. එසේ නැතහොත් ඒ අසල සිට ගනියි. එහෙත් පහසුකමක් ඇත්නම් එහි නැග ගැනීම වඩාත් උතුම් ය. 'සෆා' කන්දේ දී පැවසූ හා සිදු කළ ආකාරයෙන් ම මර්වා කන්දේ ද පවසයි; සිදු කරයි. පසු ව ඉන් බැස සෆා කන්ද වෙත ළඟා වන තුරු ගමන් කරන මාර්ගයේ ගමන් කරයි. වේගයෙන් ගමන් කළ යුතු ස්ථානයේ වේගයෙන් ගමන් කරයි. මෙසේ එය වට හතක් ලෙස සිදු කරයි. මෙහි දී යෑම එක් වටයක් ලෙසත් නැවත පැමිණීම තවත් වටයක් ලෙසත් සැලකේ. විශේෂයෙන් ම යම් අවශ්‍යතාවක් ඇති වූ විටෙක යම් වාහනයක නැග සඊ කරන්නේ නම් එහි වරදක් නැත.
සඊ කිරීමේ දී පහසුකම් අනුව වැඩි වශයෙන් ප්‍රාර්ථනා කිරීම හා දික්ර් කිරීමත් සුළු හා මහා කිලිටිවලින් පිරිසිදු ව සිටීමත් සතුටුදායක ය. පිරිසිදු නැති තත්ත්වයක සඊ සිදු කිරීම ද වලංගු වන්නේය.
සඊ සම්පූර්ණ කළ පසු ව පිරිමියා හිස මුඩු කර ගනී. එසේ නැතහොත් හිසකෙස් කොටකර ගනියි. හිස මුඩු කර ගැනීම වඩාත් යෝග්‍ය ය. ඔහු මක්කාව වෙත පැමිණි කාලය හජ් වන්දනා කාලයට සමීප ව පිහිටියේ නම්, එහි දී හිස කෙස් කොට කර ගැනීම වඩාත් යෝග්‍ය ය. මක් නිසා ද යත් හජ් හි ඔහුගේ ඉතිරි හිසකෙස් මුඩු කළ හැකි බැවිනි. එහෙත් කාන්තාව ගැන සැලකීමේ දී ඇගේ හිසකෙස් එකට ළං කර තබා ඉන් ඇගිලි පුරුකක තරම් ප්‍රමාණයක් හෝ ඊට අඩුවෙන් හෝ කපා ඉවත් කරන්නීය. මෙසේ ඉහ්රාම් ඇඳගත් තැනැත්තා සඳහන් කළ පරිදි සිදු කළ විටෙක ඔහුගේ උම්රාව සම්පූර්ණ වේ. සියලු ප්‍රශංසා අල්ලාහ් සතු ය. ඉහ්රාම් පැලඳීමෙන් ඔහුට තහනම් වූ සියලු කටයුතු මින් පසු ඔහුට වලංගු වනු ඇත.
අල්ලාහ් අපටත්, අපගේ සහෝදර සෙසු මුස්ලිම්වරුන්ටත් දහම පිළිබඳ නිවැරදි අවබෝධය හා එහි ස්ථාවරත්වයත් ලබා දෙන සේක් වා! අප සියලු දෙනාගේ කටයුතු පිළිගන්නා සේක් වා! සැබැවින් ම සුවිශුද්ධයාණන් වන ඔහු මහත් පරිත්‍යාගශීලී ය. අතිගෞරවනීය ය.
ශාන්තිය හා සමාදානය අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හටත්, එතුමාණන්ගේ පවුලේ සාමාජිකයන්, හිතමිතුරන් හා ලොව අවසන් දිනය දක්වා දැහැමි ලෙස කටයුතු කරන අනුගාමිකයින් හටත් හිමි වේවා.
මෙය හිජ්රි 13/2/1416 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද උම්රාහි පිළිවෙත් පිළිබඳ සාකච්ඡා කෙරෙන සංක්ෂිප්ත හැඳින්වීමකි. උපුටා ගැනීම (මජ්මූඋ ෆතාවා වමකාලාතිෂ් ෂෙයික් ඉබ්නු බාzස් -ෂෙයික් ඉබ්නු බාzස්තුමාගේ ප්‍රකාශ හා තීන්දු සංග්‍රහය- 17/425)